Gossip

මගේ චූටි මිනිපිරීව තුරුල් කරගෙන පුටුවක වාඩිවෙලා හොඳටම ඇඬුවා- අදටත් මම මොකටද ඇඬුවේ කියලා දන්නේ නෑ – කුසුම් රේණු

ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු කියන්නේ කවුරුත් ආදරය කරන කලා ශිල්පීන් දෙපළක්. ඉතින් මොවුන්ගේ බාල දුව පසුගියදා යුග දිවියට එළඹුණා.  තමන් බොහෝ සේ ආදරය කළ චූටි දුව ගෙදරින් යද්දි කුසුම් ට දැණුනු දේ පුවත්පතක් සමග එක්වී කියලා තිබුණේ මේ විදියට.

කුසුම්ගෙයි, ශ්‍රියන්තගෙයි පොඩි දෝණි, තාරුකීගේ විවාහ උත්සවයත් පසුගියදා සැමරුවා නේද?
ඔව්… තාරුකී දුවගේ විවාහය සිද්ධ වුණේ ෂෙහාන් පුතා එක්කයි. එයා කුලියාපිටිය ශාන්ත පෙරේරා සහ ශ්‍යාමලී පෙරේරා දෙපලගේ එකම පුතා. එයාලට තව දුවෙක් ඉන්නවා. ඒ දුවත් විවාහකයි. පුතාගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මේක මීට අවුරුදු ගාණකට උඩදී කරපු යෝජිත විවාහයක්. කොහොමටත් වසර පහකට හයකට උඩදී කරපු යෝජනාවක්. අපේ චූටි දුව පුංචි නිසා එයාගේ කලවයස හරියනකම් විවාහය කල් දැම්මා. හැබැයි ඒ දෙපලගේ ඇසුර තිබුණා. කාලයක් ගියාට පස්සේ තමයි මේ අවුරුද්දේ ජනවාරි හතරවැනිදා දරු දෙන්නගේ විවාහය සිද්ධ වුණේ.

විවාහ උත්සව කිහිපයක්ම ගත්තා නේද? ඒකට විශේෂත්වයක් තියෙනවද?
තාරුකී දූ බැඳපු පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණේ ජනවාරි 04 වැනිදා. ඉතින් එදාම තමයි විවාහ උත්සවය ගත්තේ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී තමයි දරු දෙන්නගේ විවාහය සිද්ධ වුණේ. එතනදී විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. කාදිනල් මැල්කම් රංජිත් පියතුමා තමයි මේ දෙන්නගේ දේව මෙහෙය පැවැත්වූයේ. එමෙන්ම දෙදෙනාගේ විවාහය සිදුකළේත් කාදිනල්තුමා. ඒක සුවිශේෂී සිදුවීමක් වුණා. ඊට පස්සේ රාත්‍රී භෝජනයට කිංග්ස්බරි හෝටලයට පිටත් වුණා. එදා රාත්‍රියේදී බොහෝ කලාකරුවන්, කලාකාරිනියන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් වගේම සියලු දෙනාම අපිත් එක්ක අපේ සතුට සමරන්න ඇවිත් හිටියා.

ඊට පස්සේ හත්වැනිදා හිල්ටන් හෝටලයේ තවත් උත්සවයක් පැවැත්වූවා. ඉතින්… චූටි දුව කිංග්ස්බරි හෝටලයෙත් හිටියා. හිල්ටන් හෝටලයෙත් හිටියා. හැබැයි සිය වතාවක් විතර බොරුවටත් එක්ක එයා අපිට කෝල් කරනවා. අම්මා මගේ අර ගවුම ගේන්න, අම්මා මගේ සපත්තු දෙක ගේන්න කියනවා. ඉතින් මගෙයි ශ්‍රියන්තගෙයි වැඩේම හෝටල්වලට ගිය එකයි. ඊට පස්සේ දහවැනිදා වෙන්නප්පුව ගංගාර හෝටලයේ ඒ පුතාගේ පැත්තෙන් උත්සවයක් තිබ්බා.

මනාලියගේ ඇඳුම් පැලඳුම් විතරක් නෙමේ… බොහෝ දෙනාගේ ඇඳුම් පැලඳුම් නිර්මාණය කළේ කුසුම් අක්කාගේ වැඩිමහල් දියණිය නේද?
ඔව්… ඒක ඇත්ත. ඒක ඇත්තටම මගේ ජීවිතේ සුවිශේෂී වුණු තවත් සිදුවීමක් වුණා. ඒ ඇඳුම් නිර්මාණය කළේ මගේ ලොකු දුව නිපුණි මෙන්ඩිස්. එයා නංගිගේ ඇඳුම් විතරක් නෙමේ. මගේ ඇඳුම්, ශ්‍රියන්තගේ ඇඳුම්, අපේ නෑදෑයින් බොහෝ දෙනකුගේ ඇඳුම් ඩිසයින් කළා. චූටි දුවගේ විවාහයේදී වැඩි බරක් කරට ගත්තේ මගේ ලොකු දුව.

දුවලා දෙන්නෙක් හදපු අම්මා, තාත්තා අද ගෙදර තනිවෙලා..?
ඔව්… ඒක ඇත්ත. ඇත්තටම තනිකමක් තියෙනවා. පාළුවක් දැනෙනවා. හැබැයි ඒක ලෝක ස්වභාවය. මම හැම තිස්සෙම මගේ ආගමට අනුව ජීවත් වෙන කෙනෙක්. ඇලීම, බැඳීම, ජීවිතයට අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. අපි පුළුවන් තරම් ඒ දේවල් අත්හරින්න පුරුදු වෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. මගේ ලොකු දුව විවාහ වෙලා බොරලැස්ගමුවේ පදිංචි වෙලා ඉන්නවා. දැන් මට චූටි මිණිපිරියක් ඉන්නවා. එයා තමයි ගැබ්‍රියෙලා. මේ අවුරුද්දේ එයා බිෂොප් විද්‍යාලයේදී අධ්‍යාපනය පටන් ගත්තා. එයාලගේ ජීවිතය අද සුන්දරයි. ඊට අමතරව චූටි දුවටත් අද හොඳ පුතෙක් ලැබිලා ඉන්නවා. ඒවගේම මායි ශ්‍රියන්තයි වගේ ආදරණීය මව්පිය දෙපලක් එයාට ලැබුණා. ඒ නිසා චූටි දුවත් හොඳ ජීවිතයක් ගත කරනවා. මේ දේවල් ගැන හිතද්දී මට දුක හිතෙන්නේ නෑ. හැම මව්පියෙක්ටම වගේම මටයි, ශ්‍රියන්තටයි අද තනිකමක් දැනෙනවා.

ඒ වුණාට චූටි දුව ගෙදරින් යද්දි අම්මා කෙනෙක් විදිහට දුකක් හිතෙනවා නේද?
ඔව්… අනිවාර්යෙන්ම. චූටි දුව එදා හෝටලයෙන් පිටත් වෙද්දී අපේ ඥාති පරපුරම ඇඬුවා. මගේ ලොකු අයියාගේ ඉඳලා මගේ නෑනලා පවා හැම කෙනෙක්ම එදා ඇඬුවා. මගේ චූටි දුව තමයි නෑදෑයින් අතරේ බැඳීම ඇති කරන්නේ. එයා නෑදෑයින්ට හරි ආදරෙයි. ඒ විතරක් නෙමේ චූටි දුවයි, මගේ ලොකු දුවයි තුරුලු වෙලා ඇතිතරම් ඇඬුවා. ඒ දේ බලාගෙන ඉන්න බෑ. ඇස්වලට කඳුළු එනවා. විනාඩි ගාණක් ඒ දෙන්නා තුරුලු ‍වෙලා ඇඬුවා. හැබැයි ඒ හැමවෙලේම මම ඇඬුවේ නෑ. මගේ චූටි මිනිපිරී ගැබ්‍රියෙලා තුරුලු කරගෙන මම පුටුවකට වෙලා මේ හැම දෙයක්ම බලාගෙන හිටියා. මගේ ලොකු අයියා පවා හොඳටම ඇඬුවා. මේ හැමෝම චූටි දූවගේ නික්ම යාමත් එක්ක හඬා වැළපුණා.

චූටි දුව කුසුම් අක්කා ළඟට ඇවිත් වඳිද්දීවත් ඇඬුණේ නැද්ද?
මගේ චූටි දුව මගේ ළඟට ආවා. ඒ වෙලාවේ මම එයාව ඉඹලා අඬන්න එපා පුතේ.. අඬන්න එපා.. ඔයාට සතුටින් ඉන්න පුළුවන්. හොඳ අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි ලැබිලා තියෙනවා. ඒ නිසා සතුටින් ඉන්න. සතුටින් යන්න. කියලා.. එයාගේ හිත හැදුවා. හැබැයි මගේ චූටි දුව කාර් එකටත් නැගලා ටික දෙනෙක් හෝටලෙන් ගියාට පස්සේ තමයි මම හොඳටම ඇඬුවේ. මගේ චූටි මිනිපිරීව තුරුල් කරගෙන හොටෙල් එකේ ඈත කෙළවරක පුටුවක වාඩිවෙලා හොඳටම ඇඬුවා. අදටත් මම මොකටද ඇඬුවේ.. ඇයි ඇඬුවේ කියලා දන්නේ නෑ.. හැබැයි මගේ ඒ කඳුළු ශ්‍රියන්ත දැක්කේ නෑ. මගේ ඒ කඳුළු මගේ දරුවෝ දැක්කේ නෑ. චූටි ගැබ්‍රියෙලා එයාගේ චූටි අත්වලින් මගේ කඳුළු පිස්සා. මම හිතන්නේ හැම අම්මා කෙනෙක්ගේම ඇස්වලින් ගලාගෙන යන කඳුළු වෙන්න ඇති.

එදා රෑ ගෙදරට ආවම මුළු ගේම පාළුවට තියෙන්න ඇති නේද? අවුරුදු විසිගාණක් චූටි දුව හිටපු ගෙදර එදා තනිවෙන්නත් ඇති නේද?
ඔව්.. ඒක ඇත්ත. මගේ චූටි දූ කවමදාකවත් ගෙදරින් පිට රැයක් ගත කරලා නෑ. අපි ටුවර් එකකට ගියත් එයා මාත් එක්කයි ඉන්නේ. අපි ටුවර් එකක් ගියත් මාමලා නැන්දලා අපේ ගෙදරට ඇවිත් එයාව බලාගන්නවා මිසක් එයා කොහේවත් නතර වෙලා තිබිලා නෑ. එයා අපේ ගෙදර ඇතුළෙම අපිත් එක්ක කැරකි කැරකි අපේ ඇඟේ දැවටි දැවටි හිටිය දරුවා. එයාගේ අක්කි එහෙම නෙමේ. ලොකු දූ උසස් අධ්‍යාපනයට විදෙස්ගත වුණා. ඒ නිසා අක්කි අපෙන් ඈත්වෙලා හිටියා. ඒත්… චූටි දුව එහෙම නෑ. පවුලේ බඩ පිස්සී. අක්කිට වඩා නංගී අවුරුදු හතක් බාලයි. අක්කී නංගිව තුරුලු කරගෙන, කවපු පොවපු කාලයක් තිබ්බා. ඉස්කෝලෙදී පොඩි පන්තියේ නංගී ඉගෙනගනිද්දී ලොකු දුව චූටි දුවට ඉන්ටර්වල් එකේදී පන්තියට ගිහින් කෑම කවලත් තියෙනවා. ඉතින්… එහෙම ආදරෙන් හිටපු පුංචි කෙල්ලගේ නික්ම යාම ඇත්තටම පාළුවක්. එදා රැය අපි දෙන්නට හරි පාළුයි.

චූටි දුවගේ නික්ම යාම ශ්‍රියන්ත විඳදරා ගත්තේ කොහොමද?
ලොකු දුවගේ විවාහය දවසේදී ශ්‍රියන්ත දුවට ලියුමක් ලියලා දුන්නා. ඒත් චූටි දුවට එහෙම ලියුමක් ශ්‍රියන්තගෙන් ලැබුණේ නෑ. චූටි දුව ගෙදරින් යනවා කියන එක ශ්‍රියන්ත හිතට ගන්න උත්සාහා නොගෙන හිටියා. ශ්‍රියන්ත එයාගෙම හිත රවටගෙන හිටියා කියලයි මට දැනුණේ. එයා මතක් වෙන වෙලාවට මාත් එක්ක කියනවා. චූටි දුව එයාගේ ඇඳුම් පැලඳුම්, බඩු පැක් කරගෙන අපේ ගෙදරින් ගියේ පහළොස්වැනිදා.
ඉතින්… පහළොස්වැනිදා දවසේ රෑ තමයි අපිට අපේ චූටි දුවගේ නික්ම යාම තදින්ම දැනුණේ. එදා රෑ මායි ශ්‍රියන්තයි මහ රෑ වෙනකම් ලොකු දුවගෙයි, චූටි දුවගෙයි පුංචි කාලේ ගැන බොහෝ දේවල් කියව කියවා හිටියා. ඇත්තම කියනවනම් අපිට චූටි දුවගේ නික්ම යාම තදින්ම දැනෙන පාළුවක්. ඒත්… දරුවන්ගේ සතුට වෙනුවෙන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මායි ශ්‍රියන්තයි ඒ පාළුවට ඒ තනිකමට හුරු වෙනවා.

අක්කා… මතකද, ශ්‍රියන්තයි ඔයයි ජීවිතේ පටන් ගත්තු ඒ මුල්ම කාලේ…?
ඔව්… ඒක කොහොම අමතක වෙන්නද? ශෙහාන් පුතාගේ තාත්තා ශෙහාන් පුතාට ලොකු සප්‍රයිස් එකක් දුන්නා. එයාට බෙන්ස් රථයක් තෑගි කළා. අපි එළියට එද්දී රැපින් කරපු වාහනයේ යතුර පුතාට තෑගි කළා. ඒ දෙන්නා හරි වාසනාවන්තයි. මායි ශ්‍රියන්තයි අපේ ජීවිත ගොඩනගා ගත්තේ තනියම. අපි දෙන්නා ජීවිතේ පටන්ගත්තේ බිංදුවෙන්. ශ්‍රියන්තගෙයි, මගෙයි සම්බන්ධයට අපේ ගෙවල් දෙකෙන්ම අකමැති වුණා. කොහොමහරි ඒ හැම කෙනෙක්ගේම අශිර්වාදයෙන් අපි විවාහ වුණා. අපි ජීවිතේ බොහෝ අභියෝගවලට මුහුණ දීපු දෙන්නෙක්. අපි දෙන්නා ජීවිතේ පටන් ගත්තු තැනට වඩා මගේ දුවයි පුතයි ජීවිතේ සෑහෙන ඉහළ තැනකිනුයි පටන් ගත්තේ. ඉතින්… හැම මව්පියෙක්ටම වගේම මටයි, ශ්‍රියන්තටයි අද තනිකමක් දැනෙනවා. හැබැයි දරුවන්ගේ සතුට දිහා බලලා දැනෙන සතුට ඊට වඩා වැඩියි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!