තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්, රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවද මා ළඟින්.
මෙම ගීතය අද තරුණ පරපුත් නිතරම මුමුනන ගීතයක්.
බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් රචනා කළ මෙම ගීතය 1980 දශකයේ මැද භාගයේ ලියවුණු ගීතයක්.
ගලප්පත්ති මහතාගේ අත්දැකීමක් ඇසුරෙන් ලියන ලද මෙම ගීතයේ ගැබ්වී තිබෙන්නේ ප්‍රේමයක් ගැනයි.
මේ එම ගීතයේ අරුත ගැන පුංචි සටහනක්…
මේ ගීය ලියෑවුණේ අසූගණන්වල මැද. ප්‍රේමය ගැන අත්දැකීමක්. හැබැයි මගේම අත්දැකීමක් කියා සම්පූර්ණයෙන්ම කියන්න බැහැ. කොටසක් මගේ අත්දැකීමක්. සත්‍ය හා කල්පිතයන් අතර අත්දැකීම් පෙළක් කියලා කිව්වොත් නිවැරැදියි.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්
මේ පෙම්වතා පළමු ප්‍රේමය ගැන හඬා වැටෙනවා. පෙම්වතිය ඔහු හැර ගිහින්. දැන් ඉතින් උරුම පාළුව, තනිකම විතරයි.
ඒ පුරුදු පාළුව සමඟ තනිවෙන්න ඔහුට වුවමනායි. ඒ නිසා ඇයගේ මතකය ඇගේ සුවඳ ඔහුට තවත් වුවමනා නෑ.
මේ පෙම්වතා ඇයට කියනවා ඒ ආදරයේ මිහිරි මතකයත් ඒ සුවඳත් අරගෙන යන්න කියලා.
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො..
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ..
මේ සරසවි ප්‍රේමයක්. ඒ බව ගීත රචකයා කෙළින්ම හඟවන්නේත් නැහැ. සිව් වසරක පෙම් ගීතය කියා කියන කොටසින් ඔහු ඒ බව හඟවනවා.
මේ පෙම්වතාගේ සරසවි ප්‍රේමය දැන් නතර වෙලා. ඇය අලුත් ලොවක කිරුළු පැළඳ සතුටින් ඉන්නවා. ඒ කියන්නේ ඔහුගෙන් වෙන් වූ ඈ වෙනකෙකු සමඟ අතිනත් අරන්. කරකාර බැඳලා.
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ…
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේදෝ…
මේ ප්‍රේමය නම් මායාවක්‌මයි. ඒක මගේ හදවතට රිදුම් දුන්නා. වියෝ වෙනතුරු සුන්දර ලෙස දුටු ප්‍රේමය දැන් මේ පරාජිත පෙම්වතාට පෙනෙන්නේ මායාවක් විදිහට. ඒත් ඔහු හැරගිය පෙම්වතිය කෙරෙහි සිත තුළ වෛරයක් ඇති කරගන්නේ නැහැ. ද්වේෂයකුත් නැහැ. ආදරය කළ හිතකින් කොහොමද වෛර කරන්නේ. කොහොම වුණත් මේ සිව් වසරක සරසවි ආදරය අද දුක්‌බර වූ සෝ ගීයක් වෙලා. ඈ අලුත් ලොවක කිරුළු පළඳලා. ඒත් තවමත් තනිකඩව ඉන්න පෙම්වතාගේ හිතට සැනසුමක් නැහැ.
ඇගේ ආදරණීය සුවඳ ඔහු සමඟ ඇතත් සැනසුම නම් පලා ගිහින්.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
සුවඳ මා ළඟින්…
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදො..
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ…
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ..
සෝ ගීයකි දුක්‌බර වූ
සැනසුම කොහි වේදො…