Gossip

ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳ කතාව දැන් නැවත වරක් වඩා ප්‍රබල ලෙස කරළියට පැමිණ ඇති ආකාරයක් පෙනේ. එවැනි තත්ත්වයක් මතුව ඇත්තේ එරට කොංග්‍රසයට නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පසුගිය 6 වැනි දින පැවති මැතිවරණයෙන් අනතුරුවය.

මෙම මැතිවරණයේදී කොංග්‍රසයේ මන්ත්‍රි මණ්ඩල දෙකෙන් එකක් වන පහළ මන්ත්‍රි මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේදී ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්‍ෂයට හිමි වූයේ පරාජයයි. එහි වැඩි බලයක් දිනා ගැනීමට ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් වන ඩිමොක්‍රටික් පක්‍ෂයට හැකි විය. (මෙයට පෙර පැවති මැතිවරණයේදී එහි ජය හිමි වූයේ රිපබ්ලිකන් පක්‍ෂයටයි). කෙසේ නමුත් ඉහළ මන්ත්‍රි මණ්ඩලය හෙවත් සෙනෙට් මන්ත්‍රි මණ්ඩලයේදී ට්‍රම්ප්ගේ පක්‍ෂයට තවදුරටත් සිය බහුතරය රැක ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඇමෙරිකාවේ සෑම වසර දෙකකට වරක්ම මේ ආකාරයෙන් කොංග්‍රස් මැතිවරණ පැවැත්වෙයි. සෑම ජනාධිපතිවරණයක් සමඟමද මෙවැනි මැතිවරණයක් පැවැත්වෙන අතර එයින් වසර දෙකකට පසු නැවතත් එවැන්නක් පවත්වනු ලැබේ. මෙම දෙවැනි මැතිවරණය හැඳින්වෙන්නේ වාර මැද මැතිවරණය වශයෙනි. එය ජනාධිපතිවරයාගේ (වසර හතරක් වන) ධුර කාලය මැදදී පැවැත්වෙන්නක් වන බැවිනි.

මෙම මැතිවරණය බොහෝ විට ජනාධිපතිවරයාගේ එතෙක් ක්‍රියාකාරිත්වය ජනතාව කෙතෙක් දුරට අනුමත කරනවාද යන්න මැනගත හැකි අවස්ථාවක් ලෙස සැලකෙයි. ප්‍රතිඵල නිකුත්ව තිබූ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ ආසන 422න් 223ක ජය හිමි කර ගැනීමට ඩිමොක්‍රටික් පක්‍ෂය සමත්ව තිබූ අතර රිපබ්ලිකන් පක්‍ෂයට හිමිව ඇත්තේ ආසන 199ක් පමණි. දැන් මැතිවරණයෙන් මේ ලැබී ඇති ප්‍රතිඵලය අනුව ඉදිරියේදී ට්‍රම්ප්ගේ කටයුතුවලට නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් කිසියම් පීඩනයක් එල්ල වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. ඔහුට සිය ප්‍රතිපත්ති, තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී කලින් තරම් නිදහසක් දැන් නොලැබෙනු ඇත. දෝෂාභියෝගය පිළිබඳ කතාවද නැවත වරක් කරළියට පැමිණ ඇත්තේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය තුළ ඔහුගේ ප්‍රතිවාදීන්ගේ බලය වැඩි වීමත් සමඟය.

පසුගිය කාලයේද මෙම දෝෂාභියෝග කතාව විවිධ අවස්ථාවල මතු වී ආවත් ට්‍රම්ප්ට එය එතරම් ලොකු අභියෝගයක් නොවුණේ කොංග්‍රසය තුළ ඔහුගේ පක්ෂය බලවත්ව සිටි නිසාය. (2016 වසරේ පැවැති කොංග්‍රස් මැතිවරණයේදී ඉහත කී මන්ත්‍රි මණ්ඩල දෙකේම බලය හිමි වූයේ රිපබ්ලිකන් පක්‍ෂයටයි.) නමුත් දැන් තත්ත්වය කණපිට හැරී ඇති නිසා ඔහුගේ පැත්තෙන් බැලූ විට තරමක් අනතුරුදායක වාතාවරණයක් මතු වී තිබේ.

ට්‍රම්ප්ට අදාළව පසුගිය කාලයේ ඔහුගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ලවූ ප්‍රධාන චෝදනා දෙකක් විය. එකක් නම් 2016 ජනාධිපතිවරණයේදී ඔහුගේ ප්‍රතිවාදී අපේක්‍ෂිකා වූ ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් පරාජය කිරීම සඳහා රුසියාව වක්‍රාකාරයෙන් උදවු කළාය යන්නයි. අනෙක නම් ඔහු කලකට පෙර විවිධාකාරයේ බදු වංචා සහ මූල්‍ය වංචාවල නිරත වී ඇතැයි යන්නයි. ඔහුගේ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස විවිධ පාර්ශ්වවලින් කෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වුවද දැන් කාලයක් තිස්සේම ඔහු විවිධ හේතු දක්වමින් එය කල් දමමින් සිටියි. කෙසේ හෝ වේවා, මේ අතරින් පළමු කාරණය, එනම් රුසියානු මැදිහත් වීම සම්බන්ධයෙන් දැනටත් පුළුල් විමර්ශනයක් පැවැත්වෙමින් තිබේ.

ට්‍රම්ප් මෙම විමර්ශනය යටපත් කිරීම සඳහා විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවට ද නිතර චෝදනා එල්ල වෙයි. යම් හෙයකින් මෙම විමර්ශනය අවසානයේ රුසියානු මැදිහත් වීමක් වූ බව ඔප්පු වුවහොත් සහ ට්‍රම්ප් පාර්ශ්වය එයට සම්බන්ධ බව තහවුරු වුවහොත් එය ට්‍රම්ප් හමුවේ විශාල අභියෝගයක් මතු කරනු ඇත.

ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමේ අනතුර මේ නිසා බොහෝ දුරට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කොංග්‍රසයේ පහළ මන්ත්‍රි මණ්ඩලය තුළ දැන් බහුතරය ඔහුගේ ප්‍රතිවාදීන් නිසා තත්ත්වය වඩාත් බරපතළ වනු ඇත. මෙවැනි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස දැනටමත් ඩිමොක්‍රටික් පක්‍ෂයේ දැඩි මතධාරීන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි.

මේ අතර ඉහතකී අනෙක් චෝදනාව වන බදු වංචා සම්බන්ධ චෝදනාව සම්බන්ධයෙන්ද විශාල පීඩනයක් ඉදිරියේදී ට්‍රම්ප් වෙත එල්ල වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙතෙක් කල් ඔහු බදු වාර්තා ඉදිරිපත් කිරීම මඟ හරිමින් සිටියත් ඉදිරියේදී එය කළ හැකි වේවිද යන්න සැක සහිතය. යම් හෙයකින් ඔහුට බදු වාර්තා ඉදිරිපත් කිරීමට සිදු වුවහොත් සහ ඒවායේ ගැටලු සහගත තැන් සොයාගතහොත් එයද දෝෂාභියෝග තර්ජනය වඩාත් ඉහළ දමන්නක් වනු ඇත. මේ අතර ඇතැම් නිරීක්‍ෂකයන් පෙන්වා දෙන්නේ ක්‍ෂණිකව මෙවැනි දෝෂාභියෝගයක් නොගෙනාවත් ඔහුට එරෙහිව කෙරෙන විමර්ශන පෙරට වඩා තියුණු වනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු විය හැකි බවයි.

තමා ඉදිරියේ දැන් මතු වී ඇති මෙම අනතුර ගැන ට්‍රම්ප් හොඳින් අවබෝධ කරගෙන සිටින බව පෙනේ. 6 වැනිදා පැවැති මැතිවරණයෙන් පසු ඔහු විසින් කරන ලද ප්‍රධානම කටයුත්තක් වූයේ එතෙක් නීතිපතිවරයා ලෙස සිටි ජෙෆ් සෙෂන්ස් සේවයෙන් ඉවත් කිරීමයි.

ඔහු වෙනුවට තමාට වඩාත් විශ්වාසදායක කෙනකු එම ධුරයට පත්කර ගැනීමට ඔහු සූදානම් වෙමින් සිටින බවටද තොරතුරු වාර්තා වී තිබිණි. ජනාධිපතිවරයා මෙවැනි පියවරක් ගත්තේද ඉදිරියේදී තමාට එල්ල විය හැකි ඉහතකී අභියෝග ගැන කල්පනා කිරීම නිසා බව පෙනේ. රුසියානු මැදිහත් වීම සම්බන්ධයෙන් දැනටමත් සිදු කෙරෙන විමර්ශන නතර කිරීමට හෝ එම විමර්ශන භාරව සිටින නිලධාරීන් මාරු කිරීමට හෝ ඔහු කටයුතු කරනු ඇති බවටද ඩිමොක්‍රටික් නායකයෝ සැක පළ කරමින් සිටිති.

මේ අතර මෙවර මැතිවරණයේදී ට්‍රම්ප්ගේ පක්‍ෂයට පසුබෑමක් හිමි වූයේ මන්ද යන්න සම්බන්ධයෙන්ද විවිධ අදහස්, විශ්ලේෂණ ඉදිරිපත් වෙමින් තිබේ.

මේ වනවිට ඇමෙරිකානු ආර්ථිකය පෙරට වඩා ශක්තිමත් වෙමින් ඇති අතර විරැකියාව වැනි තත්ත්වයන්ද සමනය වෙමින් ඇත. එසේ තිබියදීත් රිපබ්ලිකන් පක්‍ෂයට පරාජයක් අත් වූයේ මන්ද යන්න ගැන බොහෝ දෙනා අවධානය යොමු කරමින් සිටිති. එක් අතකින් මෙය එතරම් විශේෂ තත්ත්වයක් නොවන්නේ බොහෝ අවස්ථාවල වාරමැද මැතිවරණවලදී බලයේ සිටින පක්‍ෂය පරාජයට පත් වීමේ ප්‍රවණතාවක් එහි පවතින බැවිනි. කෙසේ නමුත් ඩිමොක්‍රටික් පක්‍ෂයේ කැපී පෙනෙන නායිකාවක වන නැන්සි පෙලෝසි පවසා තිබුණේ ඔවුන්ගේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සහන වෙනුවෙන් පෙනී සිටීමට තමුන් දුන් පොරොන්දුව බවයි.

මෙයට කලකට පෙර බැරක් ඔබාමා ජනාධිපතිව සිටි කාලයේ ‘ඔබාමා කෙයාර්’ යනුවෙන් හැඳින්වුණු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟුණු අතර එය ජනතාවගේ සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් බොහෝ සහන ලබාදුන් වැඩපිළිවෙළක් විය.

නමුත් ට්‍රම්ප් සූදනම් වූයේ මෙම වැඩපිළිවෙළේ සමහර අංග නතර කිරීමටය. මෙම පසුබිම තුළ තමුන් මෙම සහන වැඩපිළිවෙළ රැකගැනීමට කටයුතු කරනවාය යන්න ඩිමොක්‍රටික් පක්‍ෂයේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත්විය. මෙය ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල වාසියක් හිමි කරදී ඇති බව පෙලෝසිගේ කතාවෙන් පෙනේ. ඖෂධ මිල ඉහළ යෑම, සෞඛ්‍ය රක්‍ෂණ පහසුකම් හිඟකම ආදිය දැන් කාලයක් තිස්සේම ඇමෙරිකානු ජනතාව පෙළමින් ඇති ගැටලු බව රහසක් නොවේ.

කෙසේ හෝ වේවා, මැතිවරණය අවසන් වීමත් සමග දැන් කාගේත් අවධානය යොමු වී ඇත්තේ ඉදිරියේදී ට්‍රම්ප් සහ කොංග්‍රසයේ ප්‍රතිවාදීන් අතර ගැටුම කවරාකාරයෙන් ඉදිරියට යනු ඇත්ද යන්න සම්බන්ධවය.

නිහාල් පීරිස්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!