Gossip

“ජනතාව බය කරන්න එපා කියලා පොලිසියෙන් අනතුරු ඇඟෙව්වා.” කොරෝනා වෛරසය ආසාදනය වී අවසන් ගමන් ගිය වෛද්‍යවරයා ලෝකයටම කළ අනතුරු ඇඟවීම

ප්‍රථම කොවිඩ් රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ 2019 නොවැම්බර් 17 වැනි දින වූහාන් ප්‍රදේශයේදී හඳුනාගන්නා ලද 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ 2019 වසරේ නොවැම්බරයයි. ඒ වන විට චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය අද මෙන් ලෝක ප්‍රසිද්ධ නගරයක් වූයේ නැත. එහෙත් එහි එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙමින් තිබිණි. වූහාන් නාගරික රෝහලේ වෛද්‍ය ලී වෙන්ග්ලියෑන්ග් තමන් වෙත පැමිණෙන අක්ෂි රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියේය. එදිනත් ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අතර උණ සහ කැස්ස, හන්දිපත් වේදනාව සහිත වූ රෝගීන් කිහිපදෙනෙක් විය. ඔවුන් පැමිණියේ තම අක්ෂි වෛද්‍යවරයා වෙත වුවද ඔවුන් පෙළමෙන් සිටි උණ රෝගී තත්ත්වය වෛද්‍ය ලී ගේ අවධානයට ලක් විය. මෙවැනි රෝග ලක්ෂණ සතු වූ රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවත්, උණ සහ කැස්ස වැනි රෝග ලක්ෂණ ප්‍රදේශයේ මිනිසුන් අතර සුලබ වෙමින් පවතින බවත් වෛද්‍ය ලී හට අවබෝධ විය.

දිනක් ඔහු තම මිතුරන් පිරිසක් සමග කතාබහ කරමින් සිටියදී තමා හඳුනාගත් මේ රෝග ලක්ෂණ සම්බන්ධව පවසා සිටියේය. එහෙත් එය කිසිවකුගේ අවධානයට හසුවූයේ නොමැති බව වෛද්‍ය ලී වටහා ගත්තේය. එහෙත් ඔහු උත්සාහය අත්හැර දැමුවේ නැත. හඳුනා නොගත් රෝගයක් පැතිරෙමින් තිබෙන බවත්, එයින් ආරක්ෂා වීමට වහාම කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ලී තමාට හමු වන වැඩිදෙනාට පවසා සිටියේය. එහෙත් එයින් වූයේ ජනතාව බියපත් වීමක් බව දිනක් ඔහු හමුවට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් පවසා සිටියෙන් වෛද්‍ය ලී තම අනතුරු ඇඟවීම නවතා දැමුවේය. ඒ වන විට දෙසැම්බරය උදා වී අවසන්ය.

වූහාන් නගරය පුරා ක්‍රම ක්‍රමයෙන් උණ රෝගීන් පිරී යන්නට විය. ඒ සමගම අතරින්පතර මරණ ද වාර්තා වන්නට විය. එකම රෝග ලක්ෂණ සහිත රෝගීන් වැල නොකැඩී රෝහල් වෙත වාර්තා කරන්නට වූයෙන් චීන බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු වන්නට විය. හඳුනා නොගත් රෝගයක් වුහාන් නගරය පුරා පැතිර යමින් පවතින බවත්, එය ඉතා ශීඝ්‍රයෙන් මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ වන බවත් වටහා ගැනීමට බලධාරීන්ට හැකි විය. එහෙත් ඒ වන විට රෝගය බෝ වීම පාලනය කළ නොහැකි තරමට ව්‍යාප්ත වෙමින් පැවතිණි.

නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් – 19 රෝගයේ ආරම්භය මෙසේ සටහන් කළ හැකිය. මේ වන විට චීනය රෝගය පාලනය කර අවසන් යැයි ප්‍රකාශ කර තිබෙන අතර භීම සමයකට මුහුණ දෙමින් සිටින්නේ ලෝකයේ සෙසු රටවල්ය. චීනය විසින් සිදු කරන ලද පසු විමසීම් අනුව ප්‍රථම කොවිඩ් රෝගියා ලෙස වාර්තා වී ඇත්තේ 2019 නොවැම්බර් 17වැනි දින වූහාන් ප්‍රදේශයේදී හඳුනාගන්නා ලද 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. රෝගීන් සිය ගණනින් වාර්තා වුවද 2020 ජනවාරි මාසය වන තෙක් මෙය වංසගත තත්ත්වයකට පත්වන බව කිසිවකුත් පිළිගත්තේ නැත. ජනවාරි මාසයෙන් පසු එය ඉතා වේගයෙන් ජනතාව අතර පැතිර යෑම කිසිවකුටත් පාලනය කර ගැනීමට හැකියාව ලැබුණේ ද නැත.

ඒ වන විට චීන බලධාරීන් සැක පහළ කර සිටියේ පැතිර යන හරිහැටි හඳුනා නොගත් වයිරසය වූහාන් නගරයේ පිහිටා ඇති හුනෑන් මත්ස්‍ය තොග වෙළෙඳපොළෙන් පැතිරී ගොස් ඇති බවයි. කෙසේ වුවද චීනය පසුකාලීනව මේ මතය සම්බන්ධව දෙගිඩියාවෙන් කතා කළ අතර වයිරසයේ පැතිර යෑම සම්බන්ධව ඔවුහු නිශ්චිත අදහසක් මේ දක්වා පළ කර නොමැත. ඔවුන් වරක් ප්‍රසිද්ධියේ පවසා සිටියේ වයිරසය පැතිරයෑම චීනයෙන් පමණක් සිදුවයේ යැයි පැවසිය නොහැකි බවයි.

ජනවාරි මස මැද වන විට වයිරසය වූහාන් නගරයෙන් හුබෙයි ප්‍රාන්තයටද, ඉන්පසු චීනයේ අනෙකුත් ප්‍රදේශ දක්වාද පැතිර යමින් ජීවිත විනාශ කර දමන්නට විය. අවාසනාවකට මෙන් ජනවාරි මාසයේදී චීන නව වසර උදාව යෙදී තිබූ අතර මේ හේතුවෙන් නිවාඩු ලැබූ චීන ජනතාව චීනයේ සෙසු ප්‍රදේශ පුරා මෙන්ම ලෝකය පුරා ද සංචාරය කරමින් සිටියහ. නොදැනුවත්වම මේ අතරින් බොහෝ දෙනා වයිරසය ලොව පුරා පරිවහනය කළහ. එමගින් සිදුවූ හානිය කොතරම් ද යත් එක් අවස්ථාවකදී චීන බලධාරීන් තහවුරු කර පවසා තිබුණේ ජනවාරි 20 වැනිදා වන විට රෝගය වැලඳුණු සංඛ්‍යාව 140ක් හෝ ආසන්න සංඛ්‍යාවක් බවයි. මේ අතරින් දෙදෙනකු පමණක් බෙයිජිං සහ ශැංහයිවලින් වාර්තා වන බවත් සෙසු සියලු දෙනා වූහාන්වල බවත් ඔවුහු තහවුරු කර පවසා සිටියහ. එහෙත් ඉන් සුළු වේලාවකට පසු චීන බලධාරීන් පවසා සිටියේ රෝගය ආසාදනය වූ සංඛ්‍යාව 6000ද ඉක්මවන බවයි.

මෙලෙස රෝගය චීනය පුරා පැතිර යන විට එහි තර්ජනය නිරායාසයෙන්ම ලෝකයේ සසු රටවලටද පැතිර ගිය අතර 2020 ජනවාරි 30 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මුල්වරට මේ රෝගය සමස්ත ලෝකයට තර්ජනයක් විය හැකි බව ප්‍රකාශයට පත් කර සිටියේය. එසේ වුවද වයිරසය ලෝකය පුරා පැතිර යෑම වැළැක්වීමට කිසිවකුට හැකියාවක් ලැබුණේ නැත. 2020 මාර්තු 14 වයිරසයේ නව ව්‍යප්තියේ කේන්ද්‍රස්ථානය යුරෝපය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මාර්තු 15වැනිදා වන විට 169000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී තිබූ අතර මරණ සංඛ්‍යාව 6500කට ආසන්න අගයක විය.

වයිසරයේ පැතිර යෑම චීනයේ වූහාන් නගරයේ සිට ආරම්භ වූ බව තහවුරු වී ඇති නමුදු වයිරසය මිනිසුන් අතරට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත අදහසක් කිසිවකුත් විසින් දක්වා නොමැත. හූනෑන් මත්ස්‍ය වෙළෙඳපොළ හරහා මිනිසුන්ට ව්‍යප්ත වූ බව බටහිර මතය වුවද චීනය එය නිල වශයෙන් පිළිගෙන නැත. මේ අතර ජීව විද්‍යාත්මක අවි සම්බන්ධවද විවිධ රටවලට ඇඟිල්ල දිගු වුවද චීනය තවමත් ඒ සම්බන්ධව මත පළ කිරීම් විනා කිසිවකුට ඇඟිල්ල දිගු කිරීමක් කර නැත. නගරයේදී නිපදවන ලද ජීව විද්‍යාත්මක අවියක් වැරදීමකින් සමාජ ගත වීම හේතුවෙන් මේ වයිරසය මිනිසුන් අතර පැතිර ගිය බවට මතයක්ද බටහිරි මාධ්‍යයන් හි කතාබහ වුවද චීනයේ පාර්ශ්වයෙන් ඒ සම්බන්ධයෙන්ද නිශ්චිත ප්‍රතිචාරක් ලැබී නැත.

රෝගය පැතිරීමේ උච්චතම අවස්ථාවේදී වයිරසයට ගොදුරු වුණු වෛද්‍ය ලී වෙන්ග්ලියෑන්ග් ද වයිරසයට ගොදුරුව මරු වැලඳ ගත්තේය. ඊට පෙර ඔහුගේ පූර්ව දැනුම්දීම් නොසලකා හැරීම සම්බන්ධව බලධාරීන් ඔහුගෙන් සමාව අයැදි බව සඳහන්ය.

කොරෝනා වයිරස හෙවත් අන්වීක්ෂයකින් බැලූ විට ඔටුන්නක හැඩය ගන්නා, සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන වයිරස අතර අලුත්ම වයිරසය වන කෝවිඩ් – 19 මේ වන විට මුළු ලෝවම තමාට නතු කරගෙන අවසන්ය. වෙනදාට සුළු දේටත් මිසයිල එල්ල කරමින් ලොවම බිමට සමතලා කර දමන බවට තර්ජනය කරන ලෝක බලවතුන් අද කෝවිඩ් – 19 හමුවේ අසරණව සිටිති. තවත් දින කිහිපයකින් හෝ සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් කෝවිඩ් – 19 පාලනය කර ගැනීමට මිනිසා සමත් වනු නොඅනුමානය. එහෙත් එදා වූහාන් නගරයේ උණ රෝග ලක්ෂණ පෙන්වූ මිනිසුන් අතර පැතිර ගිය වයිරසය මුළු ලොවටම මෙතරම් හානියක් සිදු කරනු ඇතැයි කිසිවකු හෝ එදා නොසිතන්ට ඇති බව නම් විශ්වාසය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

A memorial for whistleblower Li Wenliang sits on UCLA’s campus in Southern California last month. Chinese authorities are now apologizing for the reprimand that the doctor received after warning of the coronavirus.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!