Gossip

“කවුද මැරුණේ කියලා මං මුර භටයෙකුගෙන් ඇහුවා, ජනාධිපතිතුමා මියගියා කියලා ඔහු කිව්වා” – මරණය සිහිනෙන් දුටු ජනපති

ඇමරිකාවේ අසහාය ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ය.
ලොව විද්වත්හු බොහොමයක් ලින්කන් ජනාධිපතිවරයා එරට ජනප්‍රියම සහ හොඳම ජනාධිපතිවරයා ලෙස හඳුන්වති.
ඔහු ඝාතනය වී 2015 අප්‍රේල් මස 12 වෙනිදාට වසර 150 කි.
ඇමෙරිකාවේ කෙන්ටකිහි උපත ලද ලින්කන්ගේ මව මිය යද්දී ඔහුට වයස අවුරුදු 9කි.
පියා තෝමස් ලින්කන් ගොවියකු හා වඩු කාර්මිකයෙක් විය. ඔහු දෙවැනි වරට විවාහ වුයේ නැන්සි සමඟය.
මේ කුඩම්මා ලින්කන් ඉතා ආදරයෙන් බලා කියා ගත්තාය. ලින්කන් ද ඇයට දැඩි ආදරයක් දැක්වීය. කුඩා කල සිටම ලින්කන් අතට හසුවන සෑම පොතක් ම කියෙව්වේය.
“මං විධිමත් අධ්‍යාපනයක් ලැබුවේ අවුරුද්දයි. ඉන් පසු බොහෝ දෙනකුගෙන් ඉගෙන ගත්තා.” මේ ලින්කන් නිතර කී දෙයකි.
ලින්කන් කුඩා කලදී ඔහුගේ පියා ගොවිපොළක් හිමි ධනවතෙක් බවට පත්විය. කල් ගතවෙද්දී දේපළ අහිමිවීම නිසා ඔහුට කෙන්ටකි ප්‍රදේශයෙන් ඉන්දියානා ප්‍රාන්තයට ඒමට සිදුවිය. මේ කාලයේදී ලින්කන් බොහෝ දුරට තනිවම ඉගෙන ගත්තේය.
ඔහු කුඩා කල සිටම සතුන්ට මෙන්ම අනුන්ට හිංසා කිරීම පිළිකෙව් කළේය.
මුලදී ලිපිකරුවකු වූ ලින්කන් විවාහ වෙද්දී නීතිඥයකුව සිටියේය. ඔහු විවාහ වුයේ මේරී ටොඩ් සමඟය. ඔහුට දරුවන් දෙදෙනෙකි. ඔහු දරුවන්ට ද දැඩි ලෙස ආදරය කළේය.
ජනාධිපති වීමට පෙර ඔහු හමුදා නිලධාරියකු ලෙස ද සේවය කළේය.
ලින්කන්ගේ දේශපාලන ජීවිතය ආරම්භ වූයේ 1846 දී ය. ඉන්පසු අතරමගදී යළිත් ඔහු සාර්ථක නීතිඥවරයෙකු ලෙස ද කටයුතු කළේය.
ඔහු යළි දේශපාලනයට පිවිසියේ 1854 දීය. එකල ඇමෙරිකාව පුරා ඔඩු දුවා තිබු වහල්භාවයට විරුද්ධව ලින්කන් දැඩි හඬක් නැගීය. ඔහු වහල්භාවයට වෛර කළේය. වාසි අවාසි නොතකා ලින්කන් වහල්භාවයට විරුද්ධ විය. දිගින් දිගටම ඒ වෙනුවෙන් සටන් කළේය.
1860 දී ජනාධිපතිවරණයට නාම යෝජනා ලද ලින්කන්ගේ ප්‍රධාන සටන් පාඨය වුයේ ද වහල්භාවය තුරන් කිරීමයි.
එම වසරේ නොවැම්බර් 06 වැනිදා ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ 16 වැනි ජනාධිපතිවරයා ලෙස පත්විය.
ඔහු එරට ප්‍රථම රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරයා ද විය. 1861 දී ඇමෙරිකානු සිවිල් යුද්ධය ආරම්භ විය.
සිවිල් යුද්ධයේ ජයග්‍රාහක නියමුවා වූයේ ඒබ්‍රහම් ලින්කන්ය. ඇමෙරිකානු සම්භවයක් සහිත අපි‍්‍රකානුවන්ගේ අයිතිවාසිකම් රැකදීම සඳහා ද ලින්කන් කටයුතු කළේය. මේ සියල්ලෙහිම ප්‍රතිඵලයක් ලෙස 1864 දී පැවති ජනාධිපතිවරණයේ දී ලින්කන් දෙවැනි වරටත් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා බවට පත් විය.
1865 අප්‍රේල් 14 වැනිදා මහ සිකුරාදා දිනයකි. එදින උදෑසන ලින්කන් අවදි වුයේ සතුටු සිතිනි.
උදෑසන පුවත්පත්වල පළවුයේ ලින්කන් ජනාධිපතිවරයා සහ ආර්යාවත් නාට්‍ය දර්ශනය සඳහා සහභාගී වන බවයි. නමුත් හවස් වෙද්දී ජනාධිපති ආර්යාව ගමනට අදිමදි කළාය.
“මටත් ඇඟට මහන්සියි. ඒත් මගේ හිතට විවේකයක් ඕනේ. මේ හැන්දෑව හිනාවෙලා ගත කරන්න අපි රඟහලට යමු.”
ඉන්පසුව ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයාගේ ඉල්ලීමට එකඟ වුවාය.
ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකවරයා විලියම් ය. ඔහු ජනාධිපතිවරයාගෙන් අයැද සිටියේ ජීවිත තර්ජන ඇති නිසා රඟහලට නොයන ලෙසය.
“ජනාධිපතිතුමනි, එහෙනම් මාත් ඔබතුමාගේ ආරක්ෂාවට එන්නම්.” විලියම් ඉල්ලා සිටියේය. එහෙත් ලින්කන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ රඟහලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා වෙන් කළ කුටියට වෙනම ආරක්ෂක භටයකු යොදවන බව දත් නිසාය.
ජනාධිපති යුවළ, මේජර් හෙන්රි සහ ඔහුගේ පෙම්වතිය රඟහලේ ඉහළ මාලයේ වූ කුටියේ අසුන් ගත්හ.
කුටියේ ආරක්ෂකයා වූයේ ජෝන් පාකර් නමැති පොලිස් භටයෙකි. අන්ත බේබද්දෙකු වූ ඔහු මඳ වේලාවක් යත්ම කුටිය අසලින් ඉවත්ව ගියේ සුරාසලකටය.
කුටියට පිවිසෙන දොර වසා තිබුණ ද අඟුළු දා නොතිබිණි.
නාටකයේ රසවත් බව නිසාදෝ ජනාධිපතිවරයා සිනාසෙමින් සිටියේය. සතුට වැඩිකමට ඔහු ආර්යාව ළං කරගෙන ඇගේ අතින් අල්ලා ගත්තේය.
මෙවිටම කුටියේ දොර විවර විය. දොරෙන් ඇතුළු වුයේ පිස්තෝලයක් අමෝරා ගත් පුද්ගලයෙකි. ගතවුයේ මොහොතකි. ඒ පුද්ගලයා තම අතෙහි වූ කැලිබර් වර්ගයේ තනි කානුවේ පිස්තෝලය ජනාධිපතිවරයාගේ හිස පිටුපසට එල්ල කර කොකා ගැස්සුවේය.
ජනාධිපතිවරයා ඉදිරියට කඩා වැටිණි. ආර්යාවගේ මුවෙන් පිටවූයේ මහා විලාපයකි. මේජර් හෙන්රි මේ මොහොතේ ඝාතකයා ඉදිරියට පැන්න ද ඔහුගේ අත ඉරා දමමින් ඝාතකයා වෙතින් එල්ල වූයේ දැඩි පිහි පහරකි.
පිස්තෝලය බිම දැමූ ඝාතකයා මීළඟට කළේ කුටියේ සඳළුතලයෙන් රඟහලේ වේදිකාවට පැනීමය.
මේ පැනීමේදී අසල එල්ලා තිබූ කොඩියක් ඔහුගේ පයේ පැටලීමෙන් ඔහුගේ පිම්ම සාර්ථක නොවීය. ඉන් ඔහුගේ කකුළක් බිඳී ගිය ද පිටුපස දොරකින් රඟහලෙන් පිටවී අශ්වයකු පිට නැඟී අඳුරේම ඔහු පලා ගියේය.
නරඹන්නන් මේ සිද්ධිය ගැන සිතුවේ නාට්‍යයේ ජවනිකාවක් ලෙසය.
එහෙත් ලින්කන් ආර්යාවගේ විලාප හඬත් සමඟ සැවොම කලබල වූහ. මේ සිදුවීම රඟහලේ මෙලෙස සිදුවෙද්දී ලින්කන් ජනාධිපතිවරයාගේ රාජ්‍ය ලේකම් විලියම් හෙන්රිගේ නිවෙසේ තවත් දෙයක් සිදුවෙමින් තිබිණි. ඒ විලියම් ඒ දිනවල හදිසි අනතුරකින් ඔත්පලව ලෙඩ ඇඳේ පසුවීමය.
වෛද්‍යවරයකු බෙහෙත් වගයක් ඒවා ඇතැයි පවසමින් පුද්ගලයෙක් ලේකම්වරයා සිටි කාමරයට ඇතුළුවීමට උත්සාහ කළේය. ඔහු කාමරයට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ කළ ලේකම්වරයාගේ පුතා තදබල පහරදීමකට ලක්විය.
බලෙන් කාමරයට ඇතුළු වූ පුද්ගලයා තියුණු ආයුධයකින් ලේකම්වරයාගේ ගෙල දෙවරක්ම කපා දැමීය. අනතුරුව ඔහු අඳුරට මුවා වී පලා ගියේය. නමුත් වාසනාවකට මෙන් ලේකම්වරයා ගෙල පැළඳ සිටි ලෝහ ගෙල ආවරණය නිසා මරණයෙන් බේරිණි.
මේ අතරවාරයේ රඟහලේ සිටි තරුණ වෛද්‍යවරයෙක් වෙඩි හඬ සහ ආර්යාවගේ කෑගැසීම අසා ජනාධිපතිවරයා සිටි කුටියට දිව ගියේය.
ඔහු යන විටත් අප්‍රාණිකව ඇද වැටී සිටි ජනාධිපතිවරයා අසීරුවෙන් හුස්ම ගනිමින් සිටියේය. වෛද්‍යවරයා වහාම තවත් අය හා එක්ව ජනාධිපතිවරයා රඟහල ඉදිරිපිට පිහිටි නිවෙසකට රැගෙන ගොස් ඇඳක සැතපවීය. ඒ වන විටත් ජනාධිපතිවරයා තව මොහොතකට වඩා ජීවත්ව නොසිටින බව වෛද්‍යවරයා හොඳින් දැන සිටියේය.
මේ වන විට සිද්ධිය ආරංචි වී ඒ අවට මහා ජනකායක් රැස්වුහ. ජනාධිපති ආර්යාව සහ පුත්‍රයා හඬමින් යහන ළඟ සිටිද්දී උප ජනාධිපති ඇන්ඩෲ ජොන්සන් ද කැබිනට් මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ සමීප හිතමිතුරෝද එතැන බලා සිටියහ.
වෙඩි තැබීමෙන් පැය 9කට පසු ජනාධිපතිවරයාගේ සිරුර ගරුසරු සහිතව ධවල මන්දිරයට ගෙන යනු ලැබිණ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශල්‍ය වෛද්‍යවරයා ජනාධිපතිවරයාගේ මොළය ඉවත් කරද්දී එහි රැඳී තිබු මුනිස්සම වෛද්‍යවරයාගේ ඇඟිලි අතරින් බේසමට වැටුණේ හඬ නංවමිනි.
“මේ වාගේ පුංචි දෙයක් ලෝක ඉතිහාසය වෙනස් කළ බව සමහර විට බොහෝ දෙනා තේරුම් ගන්න එක්ක නැහැ.” මුනිස්සම අතට ගත් වෛද්‍යවරයා පසුකාලයකදී ලියා තිබුණි.
මේ අතර වෛද්‍යවරයා වෙත තුණ්ඩුවක් ලියා යැවු ලින්කන් ආර්යාව වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට සදා සිහිවටනයක් ලෙස තබා ගැනීමට ජනාධිපතිවරයාගේ කෙස් රොදක් කපාදෙන ලෙසයි. ඒ ඉල්ලීම ඉටු විය.
ජනාධිපතිවරයාගේ ඝාතනය සැලවීමත් සමඟ රට පුරා ජාතික කොඩි අඩකුඹු කෙරිණි. ව්‍යාපාර ස්ථාන වසා දැමිණි. ඇමෙරිකානු සිවිල් යුද්ධය හමාර වී ප්‍රීති ඝෝෂා නැගු ජනතාව ශෝකයෙන් හඬා වැටෙන්නට වුහ. සිවු දිනක් ධවල මන්දිරයේ තැබු දේහය දුම්රියෙන් ඉලිනොයිස් කරා ගෙන යනු ලැබිණි. දහස් ගණන් ජනතාව දුම්රිය මඟ දිගට අවසන් බුහුමන් දැක්වීමට පෙළ ගැසුණහ.
ජනාධිපති ඝාතකයා වූ ජෝන් බුක් ජනප්‍රිය නළුවෙකි. සිවිල් යුද්ධය හමාර වීමත් සමඟ ජනාධිපති, උප ජනාධිපති සහ රාජ්‍ය ලේකම් ඝාතන කුමන්ත්‍රණ දියත් විය.
ජෝන් බුක් සමඟ තවත් තිදෙනෙක් කුමන්ත්‍රණයට එක්වුහ. බුක් සොයා කළ මෙහෙයුම ඇමෙරිකානු ඉතිහාසයේ අපරාධකරුවකු හඹා ගිය විශාලතම මෙහෙයුමක් ලෙස සැලකේ.
දස දහසකින් යුත් හමුදාවක් ද රහස් පරීක්ෂකයෝ ද පොලිසිය ද මේ මෙහෙයුමට එක් වුහ.ජනාධිපතිවරයාට වෙඩි තබා වර්ජිනියා ප්‍රාන්තයට පලාගොස් අශ්ව ගාලක සැඟවී සිටියදී හමුදාව විසින් ජෝන් සොයා ගන්නා ලදී. ඒ ඝාතනය සිදුකර දින 12කට පසුවය. යටත්වීම ප්‍රතික්ෂේප කළ ඔහු වෙඩි වැදී මිය ගියේය.
“මං රට වෙනුවෙන් මැරුනු බව මගේ අම්මට කියන්න.” අවසාන මොහොතේ ජෝන් පවසා තිබිණි.
කුමන්ත්‍රණයට සහභාගී වූ බවට චෝදනා ලැබු තවත් කීපදෙනකු ද එල්ලා මරනු ලැබීය. කුමන්ත්‍රණයට සහභාගී වූ බවට චෝදනා ලැබු තවත් කීපදෙනෙක් ජිවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබ පසුව ජනාධිපති සමාව ලැබුහ.
ජනාධිපතිවරයා මියගිය පසු මේරී ලින්කන්ට ලොව නන්දෙසින් ශෝක පණිවුඩ ගලා ආවේය. ඉන් බොහොමයකට පෞද්ගලිකව පිළිතුරු යැවීමට ඇය උත්සාහ ගත්තාය.
සැමියාගේ අකල් මරණය ඇගේ හද කම්පනය කරවීම නිසා ඇය මානසික ආතතියට ලක්ව ප්‍රතිකාර පවා ලැබුවාය. මේ සෑම අවස්ථාවකම එකම පුතු රොබට් ලින්කන් ඇය සමඟ සිටියේය.
මේරී ලින්කන් ආර්යාව, ජනාධිපතිවරයා ඇය සමඟ පැවසු දෙයක් ඝාතනයෙන් දිනකට පසු පවුලේ හිතමිතුරන් හා ප්‍රකාශ කළාය.
ඒ ජනාධිපතිවරයා දුටු බව කී සිහිනයකි. “ධවල මන්දිරයේ සුදු කොඩි දමා මළ ගෙයක් තිබුණා. කවුද මැරුණේ කියා මං මුර භටයෙකුගෙන් ඇහුවා.
ජනාධිපතිතුමා මියගියා.” යැයි ඔහු මා හා පැවසුවා. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා ඝාතනයට දින කිහිපයකට පෙර මේරී ලින්කන් ආර්යාව සමඟ එසේ පවසා තිබු බව කියැවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!