Gossip

“ඉදිරි දෙසතිය රටට තීරණාත්මකයි, දකුණු කොරියාවේ වගේ 31 වැනි රෝගියා ලංකාවේ කොහෙන් මතුවේවිද..” – වෛද්‍ය නවීන් සොයිසා

ඉදිරි සතිදෙක අපේ රටට තීරණාත්මකයි. දකුණු කොරියාවේ වගේ 31 වැනි රෝගියා ලංකාවේ කොහෙන් මතුවේවිද කියා ගැටලුවක් තියෙනවා යනුවෙන් වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවැසීය.
හෙතෙම මේ බව පැවැසුවේ කොවිඩ් – 19 වයිරසය මෙරට පැතිරයෑම පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමිනි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“දකුණු කොරියාවේ 31 වැනි රෝගියා ලෙස වාර්තා වුණ කාන්තාව දේවස්ථානයකට සහ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වීමෙන් අනතුරුවයි එරටින් රෝගීන් වාර්තා වීම වැඩිවුණෙ. අපේ රටේ පසුගිය 23දා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ඇතැම් ප්‍රදේශවල ජනතාව හැසිරීම පිළිබඳ ප්‍රතිඵල දැනගන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් 07දා වනවිට. විශේෂයෙන් කොළඹ මැනිං වෙළෙඳපොළේ දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ ජනතාව හැසිරුණේ දුරස්ථභාවයකින් පාලනයකින් තොරවයි. ඒ නිසා ඉදිරි සති දෙක අපේ රටට තීරණාත්මකයි.
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය වගේ ඉතාලිය ඇතුළු රටවල්වල පළමු සති දෙකේ වාර්තා වුණ රෝගීන් ප්‍රමාණයට වඩා අපේ රටේ පළමු සති දෙක තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය වැඩියි. නමුත් අපිට සතුටු වෙන්න පුළුවන් අපේ රටේ ඒ රටවල්වල නොගත් ක්‍රියාමාර්ග ගත්තා. ගුවන්තොටුපොළ වැහුවා, වරාය ඇතුළුවීම, පිටවීම තහනම් කළා. ඇඳිරි නීතිය පැනෙව්වා. දිස්ත්‍රික් අතර ගමනාගමනය සීමා කළා. නිරෝධායනය ඇරැඹුවා. ඒවා වැදගත් පියවර. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඉදිරියේදී රෝගීන් වාර්තා වෙන්නේ නැහැ කියලා.
මේ වනවිට රෝගීන් වාර්තා වීමේ අඩුවක් තියෙනවා. ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. ඒ වුණාට පනවා ඇති කොන්දේසි ලිහිල් කිරීම නොකර ඒ තීරණ නිශ්චිත කාලසීමාවක් පවත්වාගෙන යා යුතුයි.
මේ රෝගය රටපුරා ව්‍යාප්ත කරනවාද එහෙම නැත්නම් අඩුකර ගන්නවාද කියන තීරණය සියලු පුරවැසියන්ට තියෙනවා. සාමාන්‍ය සංචරණය රටේ සිදුවුණොත් මසක් ඇතුළත එක් රෝගියෙක්ට තවත් රෝගීන් 500ක් පමණ බිහිකරන්න පුළුවන්. සංචරණය සියයට පනහට අඩු කළොත් එක් රෝගියෙක්ට මසක් ඇතුළත තවත් රෝගීන් 15ක් පමණ බිහි කරන්න පුළුවන්. සංචරණය සියයට හැත්තෑපහට අඩුකළොත් එය දෙකයි දශම පහ දක්වා අඩුකර ගත හැකියි.
ග්‍රාම නිලධාරීන්, ප්‍රදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගෙන ගෙයින් ගෙට ගොස් ජනතාවගේ අතටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදී සංචරණය සීමා කරන්න යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.
අනුරාධපුරය, කරාපිටිය, මහනුවර, ශ්‍රී ජ’පුර වෛද්‍ය පීඨයේ කොරෝනා වයිරසය අසාදනය වී ඇති බවට සිදුකරන පරීක්ෂණය සිදුකරනවා. මේ වනවිට දැඩි සත්කාර ඒකක අපි සූදානමින් ඉන්නේ ඕනෑම මොහොතක රෝගීන් වැඩි වුණොත් මුහුණ දෙන්න. අපි සාකච්ඡා කරමින් ඉන්නේ දැඩි සත්කාර ඒකක කොපමණ ප්‍රමාණයක් අපට අවශ්‍යද කියා. ඒ නිසා තමයි ඉරණවිල, මුල්ලේරියාව, කොතලාවල, හෝමාගම වගේ රෝහල් සූදානම් කරන්නේ සෞඛ්‍යමය ගැටලුවලට විසඳුමක් දෙන්න…”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!