Gossip

අවුරුදු 35ක් පොල් අතු මාලිගාවේ පුස්තකාලයක් කරන උක්කුං මාමා – Photos

තඹුත්තේගම නගරයේ සිට ගල්නෑව ජය මාවත ඔස්සේ කිලෝ මීටරයක් පමණ පැමිණි පසු රට මැද දුම්රිය මාර්ගය හමුවේ. ඉන් පැන මීටර් සියයක් පමණ ගිය තැන වම් පසින් සිමෙන්ති ගඩොල් ඇතිරූ අතුරු මාවතක් දිස්වේ. ප්‍රදේශවාසීන් එය තේක්කවත්ත පාර ලෙස හදුන්වති. ඉන් පිවිසී සැතපුම් තුනක් පමණ මඟ ගෙවූ විට සඳසිරිගම ගම හමුවේ. එය මහවැලිය පැමිණි පසු ජනාවාස වුවකි. එවක් පටන් මෙහි වෙසෙන අමුත්තෙකු සොයා මා මඟ ගෙවන්නට වීමි. හිරු ක්‍රමයෙන් අවරට යමින් තිබේ. කැදැලි කරා ඉගිල යන නේක සකුණ නාදද දැන් දැන් ඇසේ. පොල් අතු හෙවිලූ ගේ වටකොට මැටි පිළ බැදි සාම්ප්‍රදායික ගැමි නිවසක දසුන මා නෙත ගැටිනි. නිවසට පිවිසෙන අතුරු මාවතට ඔබ්බෙන් ඇති බිම් කඩක රැඳී පොඩ්ඩන් කිහිපදෙනෙකුගේ කෙලිකවට කතා ද මට දැන් හොඳින්ම ඇසේ.
මම දැන් අරමුණ වෙත පිවිස සිටිමි.
ඔහු නමින් ආර්.ඩී. විමලසිරි ය. ළමා ළපටීන්ට අනුව නම් උක්කුං මාමා ය. සැබැවින්ම ඔහු මේ අකාරුණික සමාජ වටපිටාව තුළ මිනිසත් බව මූර්තිමත් කරන්නෙකි.
ගහට කොළට, සතා සිව්පාවුනට වින කටින නොමිනිසුන් මැද සිය පණනල මෙන් පරිසරයට පෙම් බඳින්නෙකි.
ආත්මාර්ථයෙන් ඔඩු දිවූ මේ සමාජයේ කිසිදු නෑ සබඳකමක් නැති ළමා ළපටීන් කෙරෙහි උක්කුං මාමා තුළ ඇති ලැදියාව වරෙක සමහරෙකුට පුදුමයකි.
සඳසිරිගම ගම්මානයට වී අඩුලුහුඩු සපිරි දිවියක් ගෙවන විමලසිරි මහතාගේ දෙනෙත බොඳවී ඇත. එහෙත් ඔහුගේම ලෝකයක හුදකලා වූ උක්කුං මාමාගේ මනසේ කවර හෝ කැලඹීමක් ඇතැයි මට නොැගේ. හෙතෙම කිසිවෙකුගේ හෝ හව්හරණකින් තොරව, රුපියල් සත නොතකමින් තිස් වසක් මුළුල්ලේ ළමා ළපටීන් සදහා නේක ගහ කොලින් පිරි උයනක් හා පොල් අතු හෙවිලූ තම කුඩා නිවස තුළම නන්විධ පොත පතින් සරු වූ පුස්තකාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහු දන්නා හඳුනන ළමා ළපටීන්ගේ ලෝකයේ ආදරණීය වීරයෙක් වෙමිනි.
ඔහුට කියන්නට බොහෝ දේ ඇත. දුක, සතුට, ජයග්‍රහණ, පරාජයන් පිළිබඳ මතකයන් එහි අඩුවැඩිය වී තිබේ. ඔහුගේ හඬ නිර්ව්‍යාජය. උක්කුං මාමා ඔහුගේ පොල්අතු මාළිගාවේ පුස්තකාලය ගැන වගඵල කියන්නට විය.
“අවුරුදු තිහක් විතර තිස්සේ මේ පොත් පත් කියවපු අය මේවා පරිස්සම් කරලා ඒ විදිහටම ගෙනත් භාරදීලා තියෙනවා. ඉස්සර මේ පුස්තකාලේ පොත් කියවපු සමහර දරුවන්ගේ දරුවොත් මේ පුස්තකාලෙන්ම පොත් කියවන්න ආවා මට මතකයි. ඒක මට ලොකු සතුටක්. දැන් වෙලා තියෙන්නේ පහුගිය කාලේ වැස්සට වහලෙන් වතුර ඇවිල්ලා තිබ්බ පොත් පත් ගොඩක් තෙමුණා. ඒක නිසා සමහර පොත් විනාශ වුණා. ඒත් මොනවා කරන්ඩද හැමදේම විනාශ වෙනවනේ”
උක්කුං මාමාගේ පොල් අතු හෙවිලූ නිවසේ වහල මතින් අතෝරක් වැහිබිඳු ගලා ආ වගට සලකුණු ඇත. අමු ගඩොලින් බැඳි බිත්ති මත දුර්වර්ණ පැල්ලම් තැන තැන මතුවී ඇත. යහපත් හෙට දිනක ප්‍රාර්ථනා දළුලා ආ ගෙබිම මතම සමහර දිනකදී ඒ අපේක්ෂාවන් ගරා වැටුණු බවට එය හොඳ සලකුණකි. ජීවිතය ජීවත් කරවීම සදහා ගෙවත්තේ පසෙකට වන්නට බුලත් වගාවක් පවත්වාගෙන යන උක්කුං මාමා විටෙක පා පැදි අලුත්වැඩියාවේ ද නියැලෙන්නේ ලැබෙන කීයක් හෝ හෙට්ටු කිරීමකින් තොරව අත මිට මොලව ගනිමිනි.
කන්නයකට වරක් සිදුවන වී වගාව නිවසේ බත් පත සරි කරවයි. වෙල අද්දර උඩ පැළක උක්කුං මාමා විටෙක රැය පහන් කරනුයේ යාබද ඔරුගල යාය රක්ෂිතයෙන් ගම් වදින වල් අලි දෙතුන් දෙනෙකු හේතුවෙනි. වෙල් ඉම පිස හමන මද සුළඟ ඔහුට මහා සැනසීමකි. ගොක් කොළ සැරසිලි නිර්මාණ සඳහා ද ඔහුට ඇත්තේ හොඳ හැකියාවකි. ඔහු දන්නා ගොක්කොළ, පොල් කොළ සැරසිලි ගෙත්තම් කලාව ඉඩ ලද විටකදී දරුවන් අතර බෙදාදෙයි.
සිය ලෙයින් ජනිත වූ දරුවන් තිදෙනෙකු ද සිටින යන්තමින් පහේ පන්තියට පමණක් පාසල් ගොස් ඇති, එතරම් උස් නොවු කෙසඟ සිරුරකින් යුත් මේ අපූර්ව මිනිසා කිසිඳු ආත්ම ලාභයකින් තොරව ඔහුගේ නිවස ඉදිරිපිටට වන්නට පවත්වාගෙන යන තුරුලිය සෙවන ළමා උයන තවත් අපූර්ව තැනකි.
උයනේ තැන තැන බැඳි ඔංචිල්ලා කිහිපයකි. ඒ ඔංචිල්ලා කලාව උක්කුං මාමාටම ආවේණික වූවකි. හැල්මේ අකුරක් දෙකක් කුරුටු ගාන්නට, බලි අඳින්නට හැදූ කුඩා පවුරකි. එවක අඩුම තරමින් පොඩ්ඩෝ දහපහලොස් දෙනෙක්වත් මේ උයන සිය රජදහන කොටගත් බව විමලසේන මහතා පවසයි. පොත් ප්‍රදර්ශණ,
විවිධ ළමා උත්සව, සැනකෙළි ආදිය සඳහා ද තෝතැන්නක් වී ඇති උයන තුළ අද ඇත්තේ සැබෑම නිහඬ බවකි. ළමා ළපටීන්ට නිදහසේ දෑත් දෙපා
දිගහැර ඔහේ කෙළිදෙලෙන් කාලය ගතකිරීමට කියාපු තැනැකැයි සිතෙන ‍මෙහි ඇති නිසල බවට පෙම් බඳින සකුණ රෑන් පමණක් තවමත් එහි තනි රකිමින් සිටිති.
උයනේ ගසක බැඳි පුවරුවක ඇති සටහන මේ විසල් සරුව පිත්තල ලෝකයේ අපමණක් දෙනෙකුට අතුල් පහරකි.
තුරුලිය සෙවන වු කලී … ආ මඟ මෙන්ම පෙර මඟද මුදල් ඉපැයීමට හෝ එකිනෙකා පරයා යන තරඟ සඳහා තෝතැන්නක් කොට නොගත යුත්තේය.
මෙය හැමවිටම සොබාදහමේත්, මානව සමාජයේත් යහ පැවැත්ම සදහා වු මාවත පෙන්වාදීම සදහාය…
“ගොඩක් වෙලාවට අද අපේ ළමයින්ට සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. දරුවෝ පොත් පත්වලට හිරවෙලා ඉන්නේ. මව්පියන්ගේ බලපෑම් නිසා ඒ අය ඉන්නේ පුදුම පීඩනයකින්.
සමහර වෙලාවට ළමයි ඇවිල්ලා කියනවා අපි සෙල්ලම් කරනවට අපේ අම්මලා කැමති නෑ මාමේ කියලා. දරුවෝ දෙමවිපියන්ගේ රන්ඩු සරුවල් නිසා කියාගන්න බැරි වේදනාවකින් ඉන්නේ. සමහර දරුවන්ට හැමදේම තියෙනවා. ඒත් ආදරය ලැබෙන්නේ නෑ”
උක්කුං මාමාගේ හඬ හැඟීම්බර වී ඇත. බොහෝතැන්හි වදනින් නොකිය හැකි වේදනාවන් උණුසුම් කදුළු වී දරුවන්ගේ දෙනෙතින් රූරා වැටෙනුයේ දරුවනට දරුවන් සේ සිතීමට ඉඩ නොහැරීම හේතුවෙනි. අතරින් පතර හමුවන උක්කුං මාමා වැනි නිර්ව්‍යාජ මිනිසුන් මේ අකාරුණික තරඟයේ කොටස්කරුවන් නොවී ගහ කොළට, සතා සිවුපාවුනට, ළමා ළපටීන්ට පෙම් බඳිමින් සැනසිල්ලේ දවස ගතකරන රහස කුමක් නම් විය හැකි ද ? එය බොහෝදෙනෙකුට නොවැටහෙන්නකි.
එහෙයින්ම මෙතෙක් සිදුව ඇත්තේ ඒ මිනිසත් බවට කෙනෙහිලිකම් කිරීම පමණක්ම යන්න සටහන් කොට තැබීමට සිදුවීම අභාග්‍යයකි. යන්තමින් මෝදුවී එන අමාවක සඳ උඩ පැළට මනාව දිස්වේ. තවත් වැඩි වේලාවක් නොයෑම මෝදුවන අඳුර මත නැගී එන සඳරැස් නේක රූ රටා මවනු ඇත. අරුණෝදය මෙන් දැනුදු උක්කුං මාමාගේ උද්යෝගයේ වෙනසක් නැත. මම යළි එන මං සෙවුවෙමි. ඔහුට යම් සහනයක් විය හැකිනම් 071 2312048 අමතා ඒ බව කිවහැකිය ඔබට.

උපුටා ගැනීම – රැස පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!