Gossip

ආමාශයේ තිබූ නොදිරවූ ඇපල් කැබල්ලෙන් හෙළිවූ රුචිරගේ මරණය

ද්විත්ව මරණයක අබිරහසක් හෙළි කිරීමට මියගිය එක් පුද්ගලයෙකුගේ කුඩා අන්ත්‍රයේ වූ ඇපල් කැබැල්ලකට හැකි වූයේ යැයි පැවසුවහොත් ඔබේ හිතේ ඒ පිළිබඳව සැකයක්, කුකුසක් ඇතිවනවා නොඅනුමානය. මන්ද ද්විත්ව මරණයක් කෙසේ සිදුවීදැයි ඇපල් කැබැල්ලකින් පවසන්නේ කෙසේද යන්න ගැටලු සහගත බැවිනි. එහෙත් දක්ෂ අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුට එය එතරම් බරපතළ ගැටලුවක් නොවේ.
මියගොස් තිබෙන්නේ අවුරුදු තුනක ගැහැනු දරුවකු හා අවුරුදු හතරක පිරිමි දරුවෙකි.
සිද්ධිය ​වෙන අවස්ථාවේ දරුවන් දෙදෙනා සිටියේ නිවසේ තනිවමය. මෙහි කිසිවෙකුටත් සිතා ගැනීමට නොහැකි කාරණාව වූයේ ගැහැනු දරුවා රිය අනතුරකින් මියගොස් ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර පිරිමි දරුවා දරුණු කැපුම් තුවාලයක් සහිතව නිවස තුළ මියගොස් තිබීමය.
සිද්ධිය පිළිබඳව අසල්වැසියෙකු විසින් පොලිසියට පැමිණිලි කරනු ලැබුවේ දෙමාපියන්ට ඒ සඳහා සිහිකල්පනාවක් හෝ නොතිබූ බැවිණි.
පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කළේය. එහිදී හෙළි වූ කරුණු අනුව කතාව මෙසේය.
දේමිත හා මනීෂා විවාහ වූයේ මීට වසර අටකට පමණ පෙර ය. එහෙත් ඔවුන්ට දරුවන් නැති සොවින් වසර හතරක පමණ කාලයක් ගත කිරීමට සිදුවිය.
වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම යාග හෝම බලිතොවිල් ආදී සාම්ප්‍රදායික සත්කාරයන් මගින් ද ඒ සඳහා ප්‍රතිකාර ලැබූහ. කුමන ප්‍රතිකාරය සාර්ථක වී දැයි කිව නොහැකි නමුත් විවාහයෙන් සිව් වසරකට පසු දේමිත හා මනීෂාට දාව ලොකු පුතු රුචිර උපන්නේය. ඉන් වසරකට පසු දෙවැනි දරුවා චාරුකී උපන්නා ය.
එහෙත් ඇය උපදින්නට සිටිය දී මනීෂා ගර්භාෂ පිළිකාවකින් පෙළෙන බව වෛද්‍යවරුන් සොයාගත් අතර දරුවා ද සමග පිළිකාව තබාගැනීමෙන් දෙදෙනාම අනතුරට ලක්විය හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. එහෙත් දරුගැබ ඉවත් කිරීමට අකමැති වූ මනීෂා දරුවාට වැඩෙන්නට ඉඩ හැරියේ දරුවන් පිළිබඳ උපන් මහත් ලෝභකම නිසාම ය.
කෙසේ වුවද ඇය සාර්ථක වූවා ය. චාරුකීට කිසිදු උපද්‍රවයකින් තොරව උපත දුන් ඇය ඉන්පසු ගර්භාෂය සැත්කමකින් ඉවත් කර ගත්තාය. දැන් අැයට පිළිකාවෙන් අනතුරක් නැත. ඉන්පසුව ඇයගේ වගකීම වූයේ තමන්ට ලැබුණ දියණියත් පුතණුවනුත් හොඳින් රැකබලා ගැනීමය.
දරුවෝ දෙදෙනා හොඳින් වැඩුණහ. ඔවුන්ට වයස අවුරුදු තුන හා දෙක වගේ ​ගෙවන විට ආර්ථික අපහසුතා දැනෙන්නට විය. තව ටික දවසකින් ලොකු පුතා පෙරපාසලට යැවිය යුතුය. තවත් වසරකින් දියණිය ද පෙරපාසල් යැවිය යුතුය. දරුවන් දෙදෙනකු රැකබලා ගැනීමට, ඔවුන්ට ඉගැන්වීමට, අනෙකුත් අවශ්‍යතා සපරාලීමට නම් දැන් පියා පමණක් රැකියාවක් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැත. ඒ සඳහා මවට ද දායකත්වයක් දීමට සිදුවනු ඇත. මනීෂා රැකියාවකට යාමට නම් දරුවන් බලාගැනීමට මෙහෙකාරියක අවශ්‍යය.
ඔවුන් ඒ සඳහා මෙහෙකාරියක සොයාගත්ත ද මාස කීපයකට පසු ඇය හිටි ගමන් සේවය අත්හැරියාය. දැන් ප්‍රශ්නය බරපතළ ය. ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ඔවුහු සේවා මුර වෙනස් කර ගත්හ. ඒ අනුව දහවල් කාලයේ දී පියා වූ දේමිත රැකියාවට යාමටත් මනීෂා රාත්‍රි සේවා මුරයක් තෝරා ගැනීමටත් තීරණය කළහ. පියා පස්වරු 4.15ට නිවසට පැමිණෙන අතර මව පස්වරු පහට සේවයට වාර්තා කිරීම සඳහා නිවසෙන් පස්වරු හතරට පිටත් වේ. විනාඩි පහළොවක විස්සක පමණ කාලයක් දරුවන් දෙදෙනා සිටින්නේ තනිවම ය.
ඒ කාලය තුළ ඔවුන් අනතුරකට ලක්වීම වැළැක්වීම සඳහා මනීෂා නිවසින් පිටවීමට පෙර දරුවන්ට පානයට අවශ්‍ය ජලය පමණක් සපයා නිවසට ජලය සපයන ප්‍රධාන කරාමය වසා දමන්නීය. බිත්තිවල විදුලි පේනු ආරක්ෂිත වැසුම් යොදා ආවරණය කරන්නීය. උස් ස්ථානවලට දරුවන්ට ළඟා විය නොහැකි ලෙස බාධක යොදන්නීය. මෙසේ තමන් දෙදෙනා නැති සුළු මොහොත පවා දරුවන් සියලු දේවල්වලින් ආරක්ෂිතව තැබීමට මනීෂාත් දේමිතත් සැලකිලිමත් වූහ.
සිද්ධිය වූ දිනයේ මනීෂා සුපුරුදු පරිදි දරුවන්ට බිස්කට් කා කිරි බොන්නට දී රාජකාරිය සඳහා පිටත්ව ගියාය. යන්නට පෙර දේමිතට දුරකථන ඇමතුමක් ලබාදී සියලු විස්තර පැවසුවාය. දේමිත නිවසට පැමිණෙමින් සිටින බව තහවුරු කරගත් විට ඇයට සැනසුමක් දැනිණ.
මනීෂා පිටව ගොස් විනාඩි විස්සකට පමණ පසු දේමිත නිවස බලා ආවේය.
දේමිතගේ නිවස පිහිටා තිබෙන්නේ මහා මාර්ගයක් අයිනේම තරමක් ජනාකීර්ණ ප්‍රදේශයකය.
නිවස ආසන්නයේම ප්‍රධාන මාර්ගයේ මිනිසුන් එක පොදියට පොරකමින් කුමක්දෝ බලමින් සිටිනු, සමහර කාන්තාවන් අඬන්නට ආසන්න ලෙසින් දුක් ගැනවිලි කියනු දේමිත දුටුවේය.
ඔහු සිය මෝටර් රථය මහ මග අයිනෙන් නවතා බැසගොස් කුමක් සිදුවී තිබේ දැයි විපරම් කර බැලුවේය.
ඔහු දුටු සමහරු හිසේ අත ගසාගෙන දේමිත ඔයා ආවා දැයි විමසා පසෙකට වූහ.
තවත් සමහරු මුහුණ වසාගෙන සිටියේ සිදුව ඇති දේ දේමිත කෙසේ දරාගනු ඇත්දැයි සිතා ගැනීමට නොහැකිව ය.
සැබවින්ම සිදුව ඇති දේ කෙසේ නම් අදහා ගන්නද? නවතන ලද මෝටර් රථයකි.
එය ඉදිරිපසින් ලේ විලක් මැද සිය දියණිය වැටී සිටී. මෙය සිදුවූයේ කෙසේ ද?
කිසිම දිනක දියණිය හෝ පුතු තමන් හෝ මනීෂා නැති වෙලාවට නිවසින් පිටතට පැමිණෙන්නේ නැත.
ඔහු තවත් ළංවී මුහුණට එබී බැලුවේ ඒ සිය දියණිය චාරුකීමදැයි සැක හැර දැනගනු පිණිස ය. එහෙත් ඔහු යළිත් හිස එසවූයේ නැත.
සිහිසුන් වූ දේමිත චාරුකීගේ මුහුණ මත ඇද වැටුණේය. කිසිවෙකු ඔහු ඉවතටගෙන මුහුණට දිය පොදක් ඉස පියවි සිහියට ගත්තේය.
සිහි එළවා ගත් ඔහු අසල්වැසියෙකුගේ ද සහය ඇතිව වහාම දියණිය ද සමග තමන්ගේම මෝටර් රථයෙන් රෝහල වෙත ගියේය. කලබලයට ඔහුට පුතා ගැන සෙවීමට ද නොහැකි විය. එසේම සිද්ධිය සම්බන්ධයෙන් මනීෂාට දැනට කිසිවක් කියන්නේ නැතැයි හෙතෙම තීරණය කළේය.
රෝහලට ඇතුළත් කරන විටත් චාරුකීට සිහිය තිබුණ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණ. එහෙත් ඇයට ජීවත් වීමට වරම් තිබුණේ රෝහල්ගත කර විනාඩි පහළොවක විස්සක පමණ කාලයක් පමණි. ඇය ජීවිතය හැරගිය පුවත අසා දේමිත සිහිසුන් විය. අසල්වැසියෝ ඔහුව ද රැගෙන නිවසට පැමිණියහ. නිවසට පැමිණි ඔවුන්ට මුහුණ දීමට සිදුවූයේ ඊටත් වඩා බරපතළ ප්‍රශ්නයකටය. ඔවුන් එන විට නිවසේ ඉදිරිපස දොර හැර දමා තිබිණ. නිවසට ඇතුළු වූ ඔවුහු දේමිත අසුනක් මත හිඳුවා රුචිර පුතු සොයා විසිත්ත කාමරයට කර එබී බැලූහ.
මෙය නම් අදහා ගත නොහැකි ය. දේමිතගේ පුත් රුචිර ලේ විලක් මැද වැටී සිටියේය. ඔහුගේ උදරයෙන් ලේ ගලා තිබූ අතර ඔහු මියගොස් ඇති බව ඇඟ සීතලව දරදඬු වී තිබූ ආකාරයෙන් කාටත් වැටහිණ. දැන් මේක දේමිතට කියන්නේ කෙසේද? බොහෝ අපහසුවෙන් ඔවුහු මේ ආරංචිය දේමිතට පැවසූහ. දේමිතට කිසිවක් කර කියාගත නොහැකි විය. ඔහු පිස්සුවෙන් මෙන් හඬා වැලපෙන්නට විය. අසල්වැසි මනීෂා සේවය කළ ස්ථානයට ගොස් ගෙදර කරදරයක් බව පමණක් පවසා ඇයව ද නිවසට කැඳවාගෙන පැමිණි අතර පොලිසියට ද දැනුම් දෙනු ලැබිණ.
පොලිසිය චාරුකීගේ අනතුර ගැන ඒ ​වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර අනතුරට පාදක වූ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබිණ.
රියැදුරුගේ කට උත්තරය අනුව අනතුරට පත් දියණිය ඉතාමත්ම වේගයෙන් පාරට දුවගෙන විත් ඇති අතර වාහනය සෙමින් පැමිණියත් ඇයගේ ගැටීම වළක්වා ගැනීමට නොහැකි වී ඇත. ඒ ඇය ක්ෂණයෙන් හා වේගයෙක් පාරට පැන ඇති නිසා ය. රියැදුරුගේ කට උත්තරය හා ඇගේ තුවාල අනුව මෙය රිය අනතුරක් ම බව තහවුරු කරගැනීම අපහසු නැත.
එහෙත් ඇය මෙතරම් වේගයෙන් පාරට දිව්වේ ඇයි?
ඇය කිසිවෙකුට බයේ දිව්වා ද? නැත්නම් තමන් පසුපස පන්නන අයෙකුගෙන් බේරීමට දිව්වා ද?
රුචිරගේ මරණය සිදුව ඇති ආකාරය අනුව පොලිසියට එවැනි ප්‍රශ්න රැසක් මතු විය.
එහෙත් කිසිවෙකු නිවසට ඇතුළු වූ බවට වෙනත් කිසිම සාක්ෂියක් හමුවූයේ නැත. නිවසේ කිසිවක් ඇද දමා තිබුණේ ද නැත.
රුචිර වැටී සිටි ස්ථානයට ආසන්නයෙන් ලේ තැවරුණ පිහියක් වැටී තිබිණ. ඒ ආසන්නයේ තැනින් තැන කිසිවෙකුගේ පාදයට පෑගී එහෙ මෙහේ යද්දි තැවරුණා යැයි සැක කළ හැකි ලේ පැල්ලම් දක්නට ලැබුණ අතර නාන කාමරයේ ද ලේ පැල්ලම් විය.
මෙය ඝාතනයක් ද? එසේ නම් ඒ කවුරුන් විසින් කළ ඝාතනයක් ද?
හේතුව කුමක් ද? කිසිවෙකුටත් කිසිවක් සිතාගත නොහැකිය. දේමිතලාට සතුරන් යැයි කිව හැකි කිසිවෙක් නොවීය.
ජනාකීර්ණ තැනක පිහිටි මේ නිවසට දහවල් කාලයේ මෙලෙස ඇතුළු වූ සොරා කවුද? සොරකමට ආවා නම් ඇයි දරුවා ඝාතනය කර කිසිවක් නොගෙන ආපසු ගියේ? සියල්ලට විසඳුම් ලබාගැනීමට නම් දරුවන් දෙදෙනාම මිය ගිය ආකාරය නිශ්චිතව සොයාගත යුතුය.
ඒ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුමය. සරත්චන්ද්‍ර කොඩිකාර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා වෙත මේ පරික්ෂණය පැමිණියේම එහි විශේෂත්වයක් තිබූ නිසා ය. ඒ පරීක්ෂණය ඉතා සියුම්ව විසඳාගත යුතු නිසා ය.
මුලින් ම දියණියගේ සිරුර බාහිරින් පරීක්ෂා කළ අතර සිරුරේ තිබූ තුවාල රිය අනතුර හා සැසඳින. සිරුර කපා පරික්ෂා කිරීමේ දී ඇගේ ආමාශයේ නොදිර වූ ඇපල් කැබලි තිබෙනු දැකිය හැකි විය. එහෙත් මනීෂා නිවසින් පිටවීමට පෙර ඔවුන්ට ඇපල් ලබා දී තිබුණේ නැත. එහෙත් මේ මරණය රිය අනතුර හේතුවෙන් හිසට සිදුවූ තුවාලවලින් අධික ලෙස රුධිරය පිටවීම නිසා සිදුව ඇති බව තවදුරටත් කරන ලද පරීක්ෂණවල දී තහවුරු විය.
දෙවනුව රුචිරගේ සිරුර පරික්ෂා කරනු ලැබිණ. ඔහුගේ උදරයේ දරුණු කැපුම් තුවාලයක් තිබූ අතර එය කුඩා අන්ත්‍රය දක්වා ගමන් කර තිබිණ. සිරුර කපා පරීක්ෂා කිරීමේදී රුචිරගේ ආමාශයේ ද ඇපල් කැබලි තිබෙනු දැකිය හැකි විය. එසේ ම රුචිරගේ කුඩා අන්ත්‍රයේ ඉතා කුඩා කිසියම් ද්‍රව්‍යයක් දැකිය හැකි විය. එය පිටතට ගෙන කරන ලද අන්වීක්ෂීය පරීක්ෂණයේද දී ඇපල් කැබැල්ලක් බව තහවුරු විය. එහෙත් කුඩා අන්ත්‍රයට මෙවැනි ඇපල් කැබැල්ලක් ඇතුළු වූයේ කෙසේද?
සාමාන්‍යයෙන් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය අනුව මුඛයට ගන්නා ආහාරයක් දත්වලින් සැපීමෙන් ඉතා කුඩා කොටස්වලට කැඩී ඇඹරීමට ලක් වේ. ඉන්පසු අන්නස්‍රෝතය ඔස්සේ ආමාශ්‍ය දක්වා ගමන් කරන ආහාරය එහිදී ආමාශ යුෂ සමග එක්ව ආමලසය බවට පත්වේ. එහිදී ආමාශයික යුෂ මගින් මූලික වශයෙන් ප්‍රෝටීන ජීර්ණය ආරම්භ වේ. ඉන්පසු ආහාරය කුඩා අන්ත්‍රය දක්වා ගමන් කරනු ලැබේ. කුඩා අන්ත්‍රයට පිවිසීමට පෙර ග්‍රසනිය නමැති යූ හැඩැති කොටසට පිවිසෙන ආහාරය මතට අග්න්‍යසයික යුෂ එක්වේ.
එමගින් මූලික වශයෙන් ලිපිඩ හා කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිෂ්ටය ජීර්ණය ඇරඹේ. එසේම ආමාශයේ දී ජීර්ණය ආරම්භ වූ ප්‍රෝටීන තවදුරටත් ජීර්ණය සිදුකෙරෙනු ඇත. ඒ නිසා කුඩා අන්ත්‍රයට පිවිසෙනුයේ විවිධ හෝමෝන හා යුෂ වර්ගවලින් පෝෂ්‍ය කොටස්වලට බිඳ හෙළන ලද ආහාරයන් මිස මුඛයට ගත් ආකාරයෙන්ම වූ ආහාර නොවේ. එවැනි ආහාරයක් කුඩා අන්ත්‍රයට ඇතුළු වෙන්නේ නම් ඒ ජීර්ණ පද්ධතියේ ගැටලුවක් නිසා විය යුතුය. එහෙත් රුචිරගේ සිරුරේ කුඩා අන්ත්‍රයේ ජීර්ණය වූ ආහාර කොටස් අනුව ඇපල් පමණක් ජීර්ණය නොවීමට හේතුවක් තිබිය නොහැකි බව වෛද්‍ය මතය විය.
එසේ නම් මේ ඇපල් කැබැල්ල කුඩා අන්ත්‍රයට එක්වූයේ කෙසේ ද? එය කුඩා අන්ත්‍රයට ඇතුළු විය යුත්තේ අනිවාර්යයෙන් ම ජීර්ණ පද්ධතියට පිටතිනි. තවදුරටත් කරන ලද පරීක්ෂාවේ දී රුචිරගේ උදරය කැපී තිබූ ස්ථානයට ආසන්නයෙන් මේ ඇපල් කැබැල්ල පැවති බව නිරීක්ෂණය විය. ඒ අනුව මෙය සිදුවූයේ කෙසේදැයි අධිකරණ වෛද්‍යවරයාට අදහසක් පහළ වූ නමුත් එය නිශ්චිත කරගැනීමට හේ නිවසේ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළේය. රුචිර වැටී සිටි ආකාරය හා පිහිය වැටී තිබූ ස්ථානය පිළිබඳ පොලිසිය ලබාගත් ඡායාරූප ද ඔහු නිරීක්ෂණය කළේය.
රුචිර වකුටු වී වැටී සිටි අතර ඔහුගේ උදරය ආසන්නයෙන්ම පිහිය වැටී තිබිණ. රුචිරගේ අතේ ද ලේ තැවරී තිබිණ. මේසය මත ඇපල් ගෙඩි කීපයක් තිබූ අතර ඉන් එකක් කැබලිවලට කපා තිබිණ. ලේ තැවරුණ පා සටහන් පරික්ෂා කිරීමේ දී එය කුඩා දරුවෙකුගේ පා සටහන් බවට නිගමනය කළ හැකි විය.
ඒ අනුව මව නිවසින් බැහැර ගිය අවස්ථාවේ රුචිර ඇපල් කපා නංගී සමග කෑමට ගෙන තිබූ අතර කිසියම් වැරදීමකින් රුචිර ලෙස්සා වැටී ඇති අතර ඔහුගේ අතේ තිබූ පිහිය උදරයේ ඇනෙන්නට ඇත. තියුණු ආයුධයකින් කැපීමේ දී එකවරම වේදනාව නොදැනෙන නිසා රුචිර පිහිය ඉවතට අදින්නට ඇත. ඔහුට වේදනාව දැනෙන්නට ඇත්තේ ඉන්පසුවය. එසේම පිහිය තුවාලයෙන් පිටතට ගනිද්දී පිටතට ලේ ගලා එන්නට ඇත. ලේ බිම දිගේ ගලාගෙන යද්දී කලබලයට පත් දියණිය කරන්නේ කුමක්දැයි නොදැන ඒ මේ අත දුවන්නට ඇත.
ඇය අයියා සේදීමට වතුර සොයා නාන කාමරයට ද යන්නට ඇත. එහි වතුර වසා තිබූ නිසා උදව් ඉල්ලා නිවසින් පිටතට පැමිණෙන්නට ඇති අතර තමන් ළඟින්ම ඇසුරු කරන පාරෙන් එහා පැත්තේ නිවසේ ජීවත් වූ ජනප්‍රියලාගේ නිවසට යන්නට පාර පනින්නට ද ඇත. කලබලයට පත්ව සිටි නිසා පාරේ ගමන් කරමින් තිබූ වාහනය ඇය දකින්නට ද නැත.
ඒ අනුව රුචිරගේ මරණය අනපේක්ෂිත අනතුරක් නිසා ඔහුගේ උදරය කැපී අධික ලෙස රුධිරය පිටවීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය වූ අතර චාරුකීගේ මරණය රිය අනතුර නිසා හිසට සිදුවූ දරුණු තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කරනු ලැබිණ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!