Gossip

ගින්න නිසා එළියට පැනගන්න බැරිව තුන්දෙනාම නාන කාමරයේ ජල කරාමය විවෘත කරෙගන ඉඳලා – ගැබිණි වෛද්‍යවරියට මරු කැඳවමින් පැතුරුණු ගින්න තවමත් අභිරහසක්

දෙහිවල බෙල්ලන්විල ප්‍රදේශයේ වෛද්‍ය යුවළක් වාසය කරන නිවසේ ගැබිණි වෛද්‍යවරියකට මරු කැඳවමින් ඊයේ ඇතිවූ ගින්න නිසා එම දෙමහල් නිවසම ගිනිබත්වූ අතර මෙම ගිනිගැනීම කවරාකාරයෙන් සිද්ධ වූයේද යන්න තවම අභිරහසක්ව පවතිනවා.

ගින්න හටගන්නා අවස්ථාවේ පහළ මාලයේ සිටි වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මව ඉහළ මහලේ සිට වෛද්‍ය පුතුට සහ ලේලියට කතාකොට ඉක්මණින් නිවසින් පැනගැනීම සඳහා පහළට පැමිණෙන ලෙස කියා තිබෙන නමුත් ඔවුන්ට ගින්න මැදින් ඒමට නොහැකි ලෙස ගින්න පැතිරී තිබී ඇති අතර එම අවස්ථාවේ පුතා මවට ඉහළ මාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බවද මවගේ සාක්ෂි වලින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් අසනීප තත්වයෙන් පසුවූ මවට දුමාරය මැදින් ඉහළ මාලයට යැමට නොහැකිවූ බවත් ඒ නිසා ඇය නිවසින් පිටතට පැමිණීමට වෙනත් තැනක් සොයාගෙන ඇය ගින්නට හසුවීමෙන් බේරි ඇති බවටත් වාර්තා වනවා.

වෛද්‍ය යුවළ හා දරුවා ඉහළ නානකාමරයක සිරවී සිට ඇති අතර එළියට පැමිණි මව අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලද්දී සිද්ධිය ගැන පොලිසිය දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

බොරලැස්ගමුව පොලිසිය වහා ක්‍රියාත්මකවී දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයටද සිද්ධිය දැනුම් දී ඇති අතර පොලිස් කණ්ඩායමක් සිද්ධිය වෙමින් පවතින තැනට පිටත් කර එවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වනවිට ගිනි නිවන ඒකකයද පැමිණ සිටි අතර ගිනි නිවන නිලධාරින් හා පොලිසිය එක්ව බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

යාබද නිවසේ කොන්ක්‍රීට් බැමිවලට ඉනිමං තබා වෛද්‍ය යුවළ පදිංචි දෙමහල් නිවසේ වහලට නැගගත් ඔවුන්ට වහලයේ සෙවිලි තහඩු කඩා නිවෙස පරික්ෂා කරද්දී වෛද්‍ය යුවළ සහ දරුවා නාන කාමරයේ වැටී සිටිනු දැක ඇති අතර වායු ආඝ්‍රානය නිසා වෛද්‍ය යුවළ සහ දරුවා ඒ වන සිහි විසඥව එම ස්ථානයේ වැටී සිටි බවත් මහත් ආයාසයක් දරා නිවසට වහලෙන් බැස පළමුව දරුවා පිටතට ගෙන ගිලන් රථයෙන් රෝහලට යවා ඇති අතර ඉන්පසුව පිටතට ගත් වෛද්‍ය යුවළ බොරලැස්ගමුව පොලිසියේ ජීප් රථයෙන් රෝහලට යවා තිබෙනවා.

වෛද්‍ය යුවළ සහ දරුවා නාන කාමරයේ වැටී සිටියදී එතැන ජල කරාමය විවත කරගෙන සිටිනු දුටු බවද පොලිසිය පවසනවා.

නිවසේ පහත මාලයේ සාලයේ හටගත් ගින්න ඉහළ මාලයට පැතිර ගොස් ඇති බව පෙනී ගොස් තිබෙන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එයින් නිවසේ සියලු දේපළ විනාශ වී තිබීමත් බිත්තිවලට පවා බරපතළ හානි සිදුවීමත් ගැටලුකාරීය.

මියගොස් ඇත්තේ හොරණ මූලික රෝහලේ හිටපු වෛද්‍යවරියකවූ 32 හැවිරිදි විදර්ශනී ඩයස් මහත්මියයි.

මියයන විට ඇය පස්මස් ගැබිනියක වූ බවද පැවසෙනවා. ඇගේ සැමියා වන ජයවර්ධනපුර රෝහලේ අක්ෂි වෛද්‍ය 36 හැවිරිදි අනුරංග ඩයස් මහතා සහ සිව් හැවිරිදි පුත්‍රයා අසාධ්‍ය තත්වයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.

ගින්න හටගත් අවස්ථාවේ වෛද්‍යවරයාගේ 63 හැවිරිදි මවද නිවසේ සිට ඇති නමුත් ඇයට කිසිදු අනතුරක් සිදුවී නැහැ.

මියගිය වෛද්‍යවරිය සහ තුවාල ලබා සිටින ඇගේ අක්ෂි වෛද්‍ය සැමියා මෙම නිවසට යාබදව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ චිකිත්සාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවද පැවසෙනවා.

ගින්නට හේතුව සොයා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද කැඳවීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!