Gossip

“අනේ මම නරක ගෑණියෙක් කියලා හිතන්න එපා අයියේ. මම එහෙම කෙනෙක් නෙමේ. මම බොරු කියනවානම් අපේ ගෙදර ඇවිත් බලන්න.”

ඇය විවාහක එක් දරු මවක්ය. රූ සපුවෙන්ද ඇය පිරිපුන්ය.
ඒත් ඇගේ ජීවිතය කඳුළින් පිරී ගොසිනි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඇගේ තරුණ සැමියා මත්කුඩුවලට ඇබ්බැහි වීමය. ඇය මට හමුවන්නේ ඔය අතරය.
“එයා මට කියන්නේ කොහෙන් හරි සල්ලි හොයාගෙන වරෙන් කියලා. ඉතින් මම කොහෙන් හොයන්නද? මෙහෙම එන්නැතිව.”
ඒ නිසා කෙසේ හෝ මුදල් උපයාගන්නට ඇය සූදානම් ය. නැතහොත් ඇයට සැමියාගෙන් විසුමක් නොවන්නේය. කුඩු ගහන්න සල්ලි නොදුන්නොත් ඔහු ඇය මරාගෙන කයි. පහරදෙයි. ඇය නිරුවත් කරයි.
දසවද දෙයි. මේ සියල්ලෙන්ම බේරි ඔහුට මත්ද්‍රව්‍ය ලබාගැනීමට මුදල් සොයාදෙන්නට ඇය කිසිවකු සමඟ පැයක් දෙකක් ගත කරන්නීය.
කොටින්ම කිවහොත් ඇය ගණිකාවකි. ඒත් ඇය ගණිකාවක් ලෙස හඳුන්වා දෙන්නට මගේ සිත ඉඩ නොදෙයි.
“කරන්න වෙන කිසිම දෙයක් නැහැ අයියේ… ඒ නිසයි අදත් මෙහෙම ආවේ.”
නුගේගොඩ සුපිරි වෙළෙඳසල අසල රැඳුණු ඇය මා දුටුවේ කාර්යාලයට යන්නට රථයක් එනතුරු බලා සිටින කෙල්ලක ලෙසිනි.
පිරිපුන් රූ සපුවකින් හෙබි ඇය දෙස වරක් දෙවරක් නොව කිහිපවරක්ම බලා සිටින්නට සිත්දෙයි.
ඇය මා වෙත සිනහවක් පෑවේ ඔය අතරය. එය අදහාගත නොහැකි වූවත් මම ඊට වශීවූයෙමි. සෙමින් ඇගේ ළඟට කිට්ටු වූ මම ඇය සමඟ කතාබස් කළෙමි.
“අද ඔෆිස් යන වාහනේ කැඩිලා. තව ටිකකින් ඒවි” ඇය මට මුලින්ම කීවේ එවැන්නකි.
“යමු මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.”
කිසිත් නොදත් මම ඇය මගේ වාහනයට ගොඩ කරගත්තෙමි.
“අද ඔෆීස් යන්නම ඕනද?”
“නැතුව…”
“අද නිවාඩුවක් දාන්න”
“අපෝ බැහැ. නිවාඩු සේරම ඉවරයි.”
අපේ කතාබහ ඇරඹුණේ එලෙසිනි. නුගේගොඩ පහුකොට කිරුලපණට එද්දී ඇය මා සමඟ බොහෝ කුළුපග වූවාය. මගේ මොටෝරිය තිඹිරිගස්යාය පාරේ අවන්හලක් ඉදිරියේ නතර කෙරුණේ ඉන් පසුවය.
“එන්න”
“කොහේද”
ඇය කිසිත් නොදන්නියක් සේ විමතියෙන් විමසුවාය.
“මොනවහරි බොන්න.”
මොටෝරියෙන් බැසගත් අපි අවන්හලට ගොඩ වැදුණෙමු. එතැන සිටි සේවකයන් මා හොඳීන් දන්නා හඳුනන බැවින් අපට කිසි අපහසුතාවක් නොවිණි. ඔවුන් සූදානම් කර දුන් කාමරයට ඇතුළු වීමට අපට හැකිවිණි.
“මම නම් ජීවිතේට මෙහෙම ඇවිත් නැහැ.”
ලැජ්ජා සහගත ලෙසින් ඇය මා ඉදිරියේ එසේ කියන්නට වූවාය. ඒත් ටික මොහොතකින් ඇය කවුදැයි මම හඳුනාගත්තේ කඩා වැටෙන කඳුළු පිසදමමින් කී කතාවෙන් පසුවය.
“මම මෙහෙම ආවට මම නරක කෙල්ලෙක් නෙමෙයි අයියේ… එහෙම ගෑනියෙක් කියලා හිතන්නවත් එපා”
ඇගේ වයස අවුරුදු විසි තුනකි. ඇය විවාහ දිවියට එළැඹ ඇත්තේ වයස අවුරුදු දහඅටෙනි. කොළඹ සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඇයට ඔහු හමුවන්නේ බස් රථයක ගමන් කරද්දීය.
“එයා මට බස් ටිකට් එකේ ෆෝන් නොම්බරය ලියලා මගේ ඇඟට දැම්මා. මම ඒකට කතා කළා. පස්සේ දවසක ටවුන්හෝල් එකේදී අපි හමු වුණා. ඒක ආදරයකට පෙරළුණා.”
“එයා හරි හැන්ඩ්සම්…….. කොලේජ් එකට තමයි ගිහින් තිබුණේ. ඒ වෙනකොටත්… මොබයිල් කොම්පැණියේ සේල්ස් රෙප් කෙනෙක් හැටියටයි එයා වැඩ කළේ. අපි කාටත් හොරා හමුවුුණා. අන්තිමේ දී මම එයත් එක්ක පැනලා ගියා.”
කොළඹ තිඹිරිගස්යායේ කාමරයක දෙදෙනා නතරවූයේ විවාහය ද ලියාපදිංචි කිරීමෙන් අනතුරුවය. මෙලෙස වසර දෙකක්ම ගෙවී ගියේ ආදරය සෙනෙහස මැදින්ය.
“ඒත් හිටිහැටියේ එයාගේ රස්සාව නැතිවුණා. මට කිව්වේ ඔෆිස් එකේ බොස් එක්ක තිබුණ ආරවුලක් කියලයි.
මම එයා කියන දේවල් විශ්වාස කළා. රස්සාව නැතිවෙලත් යාළුවො එක්ක රවුම් ගැහැව්වා. රෑ වෙලා ගෙදර එන්න පටන් ගත්තා. රෑට කන්න බුරියානි හරි, ෆ‍්‍රයිඩ් රයිස් හරි පැකට් දෙකක් අරගෙන එනවා. මට තේරුම් ගියා මෙයා මොනවා හරි බොනවා කියලා. පස්සේ මම එයාට නින්ද ගිය වෙලාවක පර්ස් එක අරගෙන බැලුවා.
ඒකේ හීනියට නවල නවල ඊයම් කොළකෑලි දෙක තුනක් තිබ්බා. මම ඒවා ඇරලා බැලුවා. සුදුපාට පවුඩර් ටිකක්. නහයට ළං කරත් සුවඳක් දැනුණේ නැහැ. මම දැනගත්තා මේ පවුඩර් නෙවෙයි ‘කුඩු’ තමයි කියලා. එහෙනම් මෙයා ‘කුඩු’ බොනවා. මට මගේ ජීවිතේම එපා වුණා. මම දැනගත්තා වැඩිකල් යන්නට කලියෙන් ලොකු කරදරයක වැටෙනවා කියලා.”
ඇය සිතූ දේ නිවැරදිය. ඉන් පසු ඇගේ ජීවිතයට කණකොකා හැඬුවේ වරක් දෙවරක් නොවේ. වරෙක ඇගේ සැමියා පොලිසියට කොටු විය.
ඒ මත්කුඩු උරාබොමින් සිටිය දිය. ඒ නිසා දින පහළොවක් පමණ ඔහු ඇතුළට ගියේය. ඒ කාලය ඇයට දැනුණේ මහමෙරක් ලෙසටය. ජීවිතේට නොදත් නොගිය වැලිකඩට බණ්ධනාගාරයට ඇයට යන්නට සිදුවුණේ සැමියා නිසාය.
“ජෙලර් කෙනෙක් දවසක් මට කිව්වා මහත්තයාට උදව් කරන්නම් කියලා. පස්සේ මමත් එයා අතේ හුඟාක් දේවල් ඇතුළට යැව්වා.
දවසක් මෙන්න මේ මිනිහා මාව හොයාගෙන ගෙදර ආවා.”
“මම දැනගත්තා මිනිහා මොකටද එන්නේ කියලා. මම මිනිහට කැමති වුණේම නැහැ. එහෙනම් මහත්තයාට ඇතුළේ හුඟාක් කරදර වෙයි කියලා තර්ජනය කරලා මිනිහා එදා යන්න ගියා. එදායින් පස්සේ මම එයාව බලන්න ගියේ නැහැ.”
ඇප මත නිදහස්ව පැමිණි ඇගේ සැමියා හිටියටත් වඩා හොඳීන් කුඩුවලට ඇබ්බැහි වී සිටීම ඇයට පුදුමයක් ගෙන දුන්නාය. ඊට හේතුව වූයේ පිටතට වඩා හිරගේ ඇතුළේ ඕනෑ තරම් ‘කුඩු’ තිබීමය.
“අන්තිමට ඒකා කුඩ්ඩෙක්ම වුණා. “සික්” එක හැදිලා කඳුළු පෙරාගෙන පැත්තකට වෙලා ගැහි ගැහි හිටියා. මට මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඒත් කොහේ කියලා යන්නද? ගෙදරින් පැනලා ආපු මාව ආයෙත් ගෙදරින් ගනීද? අනෙක මේකා කුඩ්ඩෙක් කියලා දැනගත්තාම ගෙදර කට්ටිය මටත් ගහලා පන්නාවි.”
“මට කුඩු නැතිව ඉන්න බෑ. මම මැරෙයි. මට කොහෙන් හරි සල්ලි හොයලා දීපන්.”
“ඒකා ගෙදර ඉඳන් කෑ ගහන්න පටන්ගත්තා. එයාම මට කිව්වා එයාගේ ඔෆිස් එකේ යාළුවෙක්ට කතා කරලා කියන්න කියලා. ඒ යාළුවා ගෙදර ආවා.
මම ඇත්තම කිව්වා. එයා සල්ලි දුන්නම මෙයා කොහේ හරි ගිහින් කුඩු ගහලා එනවා. එතකම් මට ඒ යාළුවත් එක්ක ඉන්න වුණා.”
“ටිකෙන් ටික එයා මට ආදරය කරන්න පටන් ගත්තා. මටත් මේ ජීවිතේ එපා වෙලයි තිබුණේ. මමත් එයාට ළංවුණා. මහත්තයා ගෙදර ඉන්දැද්දිම අපි සතුටින් හිටියා. එයා ගෙදරම කුඩු ගැහුවා. යාළුවත් අපිත් එක්කම හිටියා. මම එයාගේ හොර ගෑනි වුණා.”
මෙලෙස ගෙවුණු ඇගේ ජීවිතය යළිත් අගාධයකට වැටෙන්නේ සැමියාගේ මිතුරා හිටිහැටියේ ඇය සොයා ඒම නතර කිරීම නිසයි. ඔය අතර ඇගේ සැමියා සිය මිතුරාට දුරකථනයෙන් තර්ජනය කරමින් කියා සිටින්නේ තම බිරිය සමඟ අනාචාරයේ හැසිරීම ගැන ඔහුගේ බිරියට දන්වන බැවින් එසේ නොකිරීමට නම් මුදල් අවශ්‍ය බවයි.
“එහෙම කියලත් එයා යාළුවාගෙන් සල්ලි කඩා ගත්තා. ඒත් ඒක හැමදාම කරන්න පුළුවන් වුණේ නැහැ. පස්සේ අතේ සතේ නැති වෙනකොට මෙයා මට ගහන්න පටන් ගත්තා කොහේ හරි ගිහින් සල්ලි අරන් වරෙන් කියලා. මම කොහෙන් හොයන්නද… මම බොරැල්ලේ ටවුන් එකේ නුගේගොඩ පැත්තේ කරක් ගැහුවා.”
ඇගේ කතාව ඇත්තෙන්ම පුදුමයකි. ජැන්ඩියට හැඳ පැළඳ පාරක් පාරක් ගානේ කරක් ගැසූ ඇගේ රූ සපුවට වශීවූ පිරිමින් ඇය පසුපස එන්නට පටන් ගෙන ඇත්තේ ඉන් පසුවය.
ඔවුන් ඇය හා මිතුරු වන්නේ ඇයට ආදරය කිරීමේ අදහසින් වුවද ඇයට ඒ අදහසින් පළක් නොවීය. ඇයට අවශ්‍ය මුදල් පමණකි. ඒ සැමියාගේ “කුඩු” මත නිවා දමන්නටය.
“අදත් මම ආවේ එහෙම කවුරු හරි හම්බවෙයි කියලා. එතකොට තමයි ඔයා මට කතාකළේ.”
ඇගේ දෙනෙත් කඳුළින් බරවී ඇත. ඇගේ කතාවෙන් විමතියට පත්වූ මම ඇය දෙස මොහොතක් බලා සිටියෙමි.
“අනේ මම… නරක ගෑනියෙක් කියලා හිතන්න එපා අයියේ. මම එහෙම කෙනෙක් නෙමේ. මම බොරු කියනවානම් අපේ ගෙදර ඇවිත් බලන්න.”
“නැහැ නැහැ මම… එහෙම හිතන්නේ නැහැ. මට ඔයා ගැන පුදුම හිතුණා ඒකයි මම ඔයා දිහා බලන් හිටියේ.”
ඇත්තෙන්ම ඇය ගැන දැඩි අනුකම්පාවක් මා සිත තුළ ඇති විණි. මෙතරම් ළාබාල වයසින් පාරට ඇදවැටුණු ඇයට තව වසර දෙක තුනක් යද්දි කුමකින් කුමක් වනු ඇත්දැයි මට සිතාගත නොහැකි විය.
“ඔය වැඩේ අතහැරලා ගාමන්ට් එකක රස්සාවක් වත් හොයාගෙන කරන්නකෝ.”
බැරිම තැන මම ඇයට කීවෙමි.
“නැහැ අයියේ. මම රට යනවා. මට මේ දුක විඳීන්න බැහැ. මට මිනිහා දාලා යන්නත් බැහැ. අයියට පුළුවන්නම් දන්න විශ්වාසවන්ත ඒජන්සියක් මට හොයලා දෙන්න පින් සිද්ධවෙයි.”
ඇය එසේ කියද්දී මට දැනුණේ සතුටකි. එළෙස හෝ ඇය වැටුණු අගාධයෙන් ගොඩ වන්නේ නම් එය කොතරම් හොඳදැයි මට සිතිණි. කෙසේ හෝ මා දන්නා හඳුනන මිතුරකුගේ මාර්ගයෙන් රට රැකියාවට යවන බවට පොරොන්දු වී මගේ ජංගම දුරකථන අංකයද ඇයට ලබා දුන්නේ මා සමඟ ගතකළ පැය දෙකතුනට සරිලන මුදලක් ද ඇය අත තබමිනි.
“පිං සිද්ධ වෙයි අයියේ”
පින් අතේ වැඩක් කළායැයි සිතූ නිසාදෝ කළ වැරැද්ද ගැන මම පසුතැවිලි නොවූයෙමි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!