බෙලිඅත්ත නගරයේ පිහිටා තිබූ උපකාරක පන්තියක වහලය අද(08) උදෑසන කඩා වැටීම නිසා එම පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි ශිෂ්‍යයින් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කල බව බෙලිඅත්ත පොලීසිය පවසනවා.
තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු පහලොව හා දහසය වයසේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්දෙනෙක්.
බෙලිඅත්ත පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටා තිබූ සිව්මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ මෙම උපකාරක පන්තිය පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාව හා ඇතිවී තිබූ සුළං තත්ත්වයත් සමඟ ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී තිබේ.
වහලය කඩා වැටෙන අවස්ථාව වන විට උපකාරක පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හත්සිය පනහක පමණ පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.
තුවාල ලැබූ එක් සිසුවෙකු තංගල්ල මූලික රෝහලටත් තවත් හය දෙනෙකු බෙලිඅත්ත දිස්ත්‍රික් රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
බෙලිඅත්ත පොලිස් ස්ථානයේ උප පොලිස් පරික්ෂක ධර්මදාස හා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නන්දසිරි ගමගේ මහතා ඇතුළු නිළධාරින් මහත් පරිශ්‍රමයක් යොදා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බේරා ගැනීමට සමත් වී තිබෙනවා.
වහලය කඩා වැටුණු ගොඩනැඟිල්ල අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් වන අතර එය නිසි ප්‍රමිතියකට අනුව ඉදිනොකිරීම නිසා මෙසේ කඩාවැටීමට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගොඩනැඟිල්ලේ වහලය කඩා වැටීම නිසා එහි කොටස් අසල පිහිටි වෙළදසැල් මතට පතිත වීමෙන් එම වෙළදසැල්වලටද හානි සිදුව තිබෙනවා.