Gossip

බිම දාලා පාගලා බෙල්ලත් මිරිකුවානේ.. දැන් ඇති – සනත් ජයසූරියගෙන් ඉල්ලීමක්

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙනවා.

අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා වුණා.

එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව පසුගියදා චෝදනා එල්ල වුණා.

ඔවුන් තිදෙනා පසුගිය ජූනි මාසයේදී එංගලන්තයේ “ඩරම්” නගරයේ, ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් වීථියක සැරිසරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

පසුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට පියවර ගත්තා.

එහිදී එක් ක්‍රීඩකයෙක් ට රුපියල් මිලියන 10 බැගින් දඩයක්, සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා වසරක් තහනමක් සහ දේශීය තරග සඳහා 6 මසක තහනමක් පැනවූ බව එවක වාර්තා වී තිබුණා.

මෙවන් පසුබිමක එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවීම ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති, මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ,

“මම හිතන්නේ ඒ අයට සමාවක් දෙන්න ඕනේ. ඒ තුන්දෙනාම පාඩමක් ඉගෙන ගත්තා. දක්ෂතා පෙන්නලා තියෙනවා. ක්‍රීඩකයෙක් හදන්න අමාරුයි. නැති කරන්න ලේසියි. ඒ නිසා මේ අයව ආරක්ෂා කරගන්න ඕනේ. වැරදි කරාම දඬුවම් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒ අය හැදෙන්න ඕනේ. කොහොම වුණත් තීරණය ගන්නේ ක්‍රිකට් බෝඩ් එක.”

දෙරණ 24 නාලිකාවේ විකාශය වු “BIG FOCUS” වැඩසටහන සමඟ එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

මෙම වැඩසටහනට එක්වී සිටි මෙරට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පැවසුවේ,

“ඒ අය කළ වැඩේ වැරදියි කියලා පිළිගත්තා. ඒකට දඬුවම් විඳිමින් ඉන්නේ. LPL එකත් ගහන්න දුන්නා. ඒකෙදිත් ඒ අය විනය පෙන්නුවා. දක්ෂතා පෙන්නුවා. ඒ නිසා දැන් ඇති. අවස්ථාවක් දිය යුතුයි. මේ අය ආවොත් ආයෙත් මෙහෙම වෙයි කියලා කිව්වට එහෙම වෙන්නේ නෑ. පසුගිය කාලයේ එම ක්‍රීඩකයින්ව බිම දාලා පාගලා බෙල්ලත් මිරිකුවානේ.. දැන් ඇති.”

ක්‍රීඩකයෙකුට කිසිදු අවස්ථාවක් හෝ තත්ත්වයක් පහසුවෙන් නොලැබෙන බවද ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය වැඩිදුරටත් පැවසුවා.

එසේම කුමන තත්ත්වයක් මත වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් අතහැර නොදමන ලෙසද ඔහු එහිදී නවක ක්‍රීඩකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක පිතිකරු සනත් ජයසූරිය,

“ලෙජන්ඩ්ස් තරගාවලිය තියෙනවා ඕමානයේ. මම හිතුව ට්‍රේන් කරන්න ඕන ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. මොකද ඒවගේ තැනකට ගියාම එතන තරගය ගොඩක් ලොකුයි. මොකද අර පරණ ක්‍රිකටර්ස් ලා වුණත් ගියපාර, අපට එතැනට ගියාම තමයි තේරුණේ, මේ තරම් තරගයක් තියෙනවා ද කියලා. මේ පාරත් එහෙමයි. ඒ හින්දා මම කිව්වා තව පොඩ්ඩක් ට්‍රේන් කරලා ෆිට් එකේ යන්න ඕන, අපට ගොඩක් අමාරු වෙන්නේ කකුල්වල. මගේ දණහිසෙන් බාගයක් දාලා තියෙන්නේ. හැබැයි ඉතින් එතනට ගියාම ඒවා මතක් වෙන්නේ නෑ. අපට ඕනකම තියෙනවා, මට වුවමනාවක් තියෙනවා මේක කරන්න ඕන කියල. අර ඒකයි මම හැමතිස්සෙම කියන්නේ තමන්ට වුවමනාව තියෙන්න ඕන, අවශ්‍යතාව තියෙන්න ඕන. තමන් රටට ආදරයෙන් මම මේක කරනවා, දැන් ආදරේ හින්දනේ භානුකට කියන්නේ “යන්න එපා කියලා.” අන්න ඒක තමයි මම ආස දකින්න.”

“කිසිම ක්‍රීඩකයෙකුට හැමදෙයක්ම පිඟානක තියලා අතට දීල නෑ. මේ ක්‍රීඩාවේ ක්‍රීඩා කරනකොට දුක කියන එකට, මානසිකව වැටෙන දේවල්වලට සමහරක් දේවල් අපිට ලැබෙන්නේ නැති දේවල් ගොඩාක් වැඩියි. ඒකත් එක්ක තමයි තමන්ගේ ඔළුව හදාගෙන ගහන්න ඕන. මම දවස අවසානයේ හිතන්නේ මම මොනවා කරත් මම මේක අතහැරලා යන්නේ නෑ, මම ගහනවා මගේ රට වෙනුවෙන් මම කාලයක් සෙල්ලම් කරොත් හොඳට මගේ ඉන්න ප්‍රේක්ෂකයෝ මගේ ඉන්න රටේ ජනතාව. මාව ආදරයෙන් වැළඳ ගනීවී. මම කොහේ ගියත් අන්න ඒක හිතනවා. මේ ක්‍රීඩකයන්ට ගොඩක් කෙණෙහිලිකම් වෙලා ඇති. අසාධාරණකම් වෙලා ඇති, තමන්ට දුක හිතෙන දේවල් වෙලා ඇති, තමන්ට ක්‍රීඩාව එපා වෙන දේවල් වෙලා ඇති. අවුරුදු 10 ක් 15ක් ගහනකොට එහෙම වෙනවා. හැබැයි ඒ හැමදෙයක්ම තමන්ගේ එක අත්දැකීමක් කියල හිතලා තමන් යන්න ඕනේ තමන්ගේ ගෝල් එකට. ලකුණු 10,000 ද ? එක්දින කඩුලු කීයද. ? ටෙස්ට් කඩුලු කීයද ? තමන්ට ඒක කරන්න ඕන ද. ? තමන්ට රට වෙනුවෙන් කොච්චර තරග ජයග්‍රහණය කරලා දෙන්න පුළුවන්ද අන්න ඒවා තමයි හිතන්න ඕන.”

“ලෝකේ ඉන්න අනිත් රටවල් දන්නවා මේ ප්ලේයර් මැච් විනින් ප්ලේයර් කෙනෙක් කියලා. එතැනට යන්න ගොඩක් අමාරුයි. හරි ඉක්මනට අපිට කඩාගෙන වැටෙන්න පුළුවන්. හපෝ වැඩක් නෑ මම අරහේ යන්න පුළුවන් මට මේ රටට යන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි වැඩේ. අමාරුයි හැබැයි ඒ අමාරුකම් එක්ක අපි යන්න ඕන. අපේ රටවල්වල හැම දෙයක්ම ලේසියෙන් හම්බවෙන්නේ නෑ. ගොඩාක් අමාරුවෙන් තමයි දේවල් හම්බවෙන්නේ. අපි මාතර ඉඳල කොළඹ ඇවිල්ලා ඉන්න තැනක්වත් නැතුව තමයි අපි ක්‍රිකට් ගැහුවේ. හැබැයි දැන් එහෙම නෙවෙයි. තමන් හිතුවොත් තමන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියල එච්චරයි. ”

“අවුරුදු 20ක් රිටයර් වෙලත් පාරේ දැක්කොත් ඒ ප්‍රේක්ෂකයෝ ඒ විදියටම සලකනවා. අන්න ඒක තමයි තියෙන්න ඕන. මොකද ඒ අපි රට වෙනුවෙන් කරපු දේට. මොන ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් දාලා යන්න එපා. ගහන්න ලංකාවට ක්‍රිකට්. ලංකාවට ක්‍රිකට් ගැහුවොත් කවදාවත් වරදින්නේ නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!