Gossip

ජීවත්වෙන්න විදිහක් නැතිව කනත්තක මීනී වලවල් කපපු ලංකාවේ පාපන්දු ක්‍රීඩකයා

ජාතික කණ්ඩායමක පාපන්දු ක්‍රීඩකයකු වීම යනු ක්‍රීඩකයකුට සිහිනයකි. එම කණ්ඩායමේ නායකයකු දක්වා පැමිණීම යනු ඔහුගේ අනාගතය ලෝකයේ ඉහලින්ම සිටින පුද්ගලයන් දක්වා ඔසවා තබන්නකි. නමුත් ඒ ලෝකයේ වෙනත් රටවලය. ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. මේ ලංකාවේ පාපන්දු කණ්ඩායමේ නායකයෙක්ව සිටියත් පසුව රැකියාවට මිනී වලක් කපන්න වුණු චන්නගේ කතාවයි.

මිනීමල්වලින් සැරසී හුන් දඩල්ල කනත්ත මද්දහනේ හිරු එළියෙන් නැහැවී තිබුණේය. කනත්ත ඉදිරියෙන් ඇත්තේ පීත්ත පටියක් සේ දිවෙන ගාලු පාරය. පාරේ ඉම මහ මුහුදය. රළ පහරින් කැළැතී ඝෝෂා දෙන සයුරු දියවර සේ චන්නගේ සිතුවිලි කැළැතෙන්නට විය.

සොහොන් බිමෙහි කිසිවකු නොවූවද පෙළට ඇති සොහොන් කොත් යට අඩි පහක් ‍පොළොව කුහරයක කවරකු හෝ සදාකාලිකව සැතපෙන බව දැනී චන්නට දැනුණේ ශෝකයකි. සියල්ලන් හැර දමා ගිය බිම් කඩේ තමා තනිවුවද කනත්තට අල්ලපු වැටේ වූ පාපන්දු ක්‍රීඩාංගණයේ අසිරිය නෙත ගැටෙද්දී චන්නට තනිකමක් නොදැනේ.

පාපන්දුව වෙනුවට උදැල්ල අතට ගත් චන්න තමන්ට පැවැරුණු මුල්ම රාජකාරිය ඉටුකිරීමට පටන් ගත්තේය. කාත් කව්රුවත් නැතිව මියගිය මහලු මිනිසකුට අවසන් වරට නිදන්නට, චන්න සිය දෑතේ විරිය ගෙන මිනී වළක් කපන්නට ගත්තේ හදවත ගිනි ගනිද්දීය. පුංචි පැලක තනිව සිටින මව්පියන් චන්නට සිහිපත් වූයේ නොදැනුවත්වමය.

“කාගේ හරි තාත්තා කෙනෙක් නේද?” හදවත කොඳුරද්දී චන්න වැර යොදා මිනී වළ කණින්නට විය. කලකින් වැසි නොලද පසෙහි වූයේ දැඩි බවකි. ගැඹුරට කණින්නට අවැසි වුව තද පස හා ගැටීම චන්නට එතරම් හුරු නොවීය. පාපන්දුව නිරතුරුව රැඳුනු දෑත මෙන්ම පිටිය පුරා පන්දුව රැගෙන ගිය ඔහුගේ පාද වලද වූයේ දුහුවිලි පිරි පස් තට්ටුය.

දහදිය පිස දමමින් සිය රාජකාරියේ නිරත වුවද චන්නගේ දෑස් විටින් විට යොමු වූයේ ඇස් පෙනෙන මානයේ වූ පිටියටය. මොනතරම් දාහයක් දැනුණද හදවතින් ක්‍රීඩා පිටියේ තනිවී සිටි චන්නට දහවල උණුසුම නොදැනුණේය.

නිතර දෙවේ‍ලේ තම පය ගැටුණු පාපන්දු ක්‍රීඩා පිටියේ උණුසුම චන්නට ගෙන ආවේ සියුම් වේදනාවකි. සිය සගයින් සමග කලක් ස්පර්ශ කළ ‍පොළොවේ මතක දැන් ඇස්පනාපිටම වැසී ගොසින්ය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගාලු ටවුමේ පිට්ටනිය සින්න වූ පසු පාපන්දු ක්‍රීඩා පිටිය ගාල්ලේ දඩල්ල සොහොන් බිම ආසන්නයට විසි වූයේ ඉබේටමය. පුරුදු පිටියේ උණුහුම තම දෙපයට නොදැනුණද, දඩල්‍ලේ ඉදිවූ පාපන්දු ක්‍රීඩා පිටියද චන්නට හුරුපුරුදු තැනක් වූයේය. ජීවත් වීම සඳහා රැකියාවක් සොයා ආගමන, තම සුපුරුදු ක්‍රීඩා පිටිය ඉදිරියේම වීම චන්නගේ දෛවයය. තමන් මහත් සේ ආදරය කළ ක්‍රීඩා පිටිය ඉදිරිපස ඇති සොහොන් බිමේ ජීවත් වීම සඳහා මිනී වළවල් කැපීමට සිදුවේ යැයි චන්න කිසිදා නොසිතුවේය.

එහෙත් දෛවය මිනිසා සමග සරදම් කරන්නේ නොකියාමය. චන්නටද අද ඒ ‍පොදු ධර්මතාවය ඉදිරියේ පෙනී සිටින්නට සිදුව ඇත. මඳකට කැපූ මිනී වළින් මතුපිටට ආ චන්න උදැල්ල පසෙක තබා නැවතත් ක්‍රීඩාංගණය දෙස බැලුවේ හදවත ප්‍රීතියෙන් ඉතිරෙද්දීය. ‍පොඩි එවුන් කීප දෙනෙකු ක්‍රීඩාංගණය තුළ පාපන්දුවක් සමග එහෙට මෙහෙට දිව යන අයුරු දකිද්දී තමාගේද ලෙයද උණුසුම් වන බව චන්නට දැනුණේය.

මිනී වළ දෙපස ගොඩ ගැසුණු පස් අතර එහෙට මෙහෙට පනිමින් පස් කැටියක් සමග දඟ කල චන්න ඉදිරියට පැන පස් කැටියට පා පහරක් දුන්නේ ගෝලයට විදින පා පන්දුව පරිද්දෙනි. පස් කැටිය බිඳී විසිරෙද්දී චන්නට සිය බලා‍පොරොත්තු බිඳී විසිරුණු ආකාරය සිහිපත් වූයේය.

දකුණු පළාතට කීර්තියක් අත්කර දෙමින්, මුලින්ම රන් පදක්කම් තුනක් දිනාගත් ආකාරය චන්නගේ දෑස් ඉදිරිපිට මැවෙන්නට වූයේ නොදැනීමය. පාපන්දු ක්‍රීඩකයෙක් වීමේ ආශාවෙන් පෙළුණු තම කුඩා විය දුක් කම්කටොළුවලින් පිරී තිබුණද තම සිහිනය මුදුන් පමුණුවා ගැනීම සඳහා ගත් වෙහෙස කොතරම් සුන්දර දැයි චන්නට යළි යළිත් සිහිපත් වූයේය.

පාපන්දුවෙන් සිය ජීවිතයේ ඉසුරු සොයන්නට නොහැකි වුව ලංකාව නමින් තමන් දුන් රන් සිහිවටන කිසිදා නොමියෙන වග ඔහු දැන සිටියේය.

“මං තියපු රෙකෝඩ් කවදා හරි මිනිස්සු මතක් කරාවි”

හදවතට දිරි දෙමින් චන්න තමන්ටම කොඳුරා ගත්තේය. ක්‍රීඩාංගණය දෙස බැලූ ඇස් ඉවතට ගත්, චන්න යළිත් මිනී වළට බැස්සේ එහි ගැඹුර පිරික්සීමට මෙනි. ගැඹුරට කැපුනු වළ තුළ එහෙට මෙහෙට ඇවිදිමින් මිනී වළෙහි දිග පළල බැලූ චන්න සිය රාජකාරිය නිවැරදිව වී දැයි නැවතත් පරීක්ෂා කරන්න වූයේ තම පළමු රාජකාරියේ කිසිදු පළුද්දක් ඇති නොවීමටය.

“මල්ලියෙ උඩට වරෙන් ඕක ඇතුළේ හිටිය මදෑ”
චන්න සමග අනියම් කම්කරුවෙකු ලෙස සේවයේ යෙදෙමින් දඩල්ල සුසාන භූමියේ සිටි සගයෙකු කෑගැසුවේ දහවල කෑම විවේකයද ගෙවී ගොස් බොහෝ වේලාවක් ගතව තිබූ බැවිනි.

අලුත කැපූ මිනී වළෙන් ගොඩ ආ චන්න ඇඟපුරා වූ පස් පිසදමමින් සොහොන් ගෙය වෙත දිව ගියේ කඩිනමිනි.

“අයියෙ ‍පොඩි උන් දෙන්නාව ඉස්කෝලෙන් ගන්න ඕන. මං ඉක්මනින් එන්නම්.”
ගුරුවරයෙකු ලෙස සේවය කරන තම මිතුරෙකු වූ කුමාර ටික දිනක් පාවිච්චි කිරීමට දුන් මෝටර් බයිසිකලයේ නැගුණු චන්න කිතුලම්පිටිය ආනන්ද විදුහලින් පහ වසරේ ඉගෙනුම ලබන ‍පොඩි දුව බයිසිකලයට නංවා ගත්තේය. රිපන් බාලිකාවේ හය වසරේ ඉගෙනුම ලබන ලොකු දූ මග බලමින් සිටින බව දැනගත් චන්න බයිසිකලයේ වේගය වැඩි කළේ දරුවන් දෙදෙනා හැකි ඉක්මනින් අම්බලන්වත්තේ කුලී නිවසට ඇරලවා නැවත රාජකාරියට යාමටය.

පාන්දර පින්න වැටෙන්නටත් පෙර පිබිදී දරුවන්ද පාසල්වලට ඇරලවා හතේ කනිසම වැදීමටත් පෙර අනියම් මුරකරුවෙකු ලෙස අත්සන් තැබිමට ගාල්ල නගර සභාවට පැමිණෙන චන්න ජාත්‍යන්තර ක්‍රීඩාපිටිවලදී පාපන්දුවෙන් රටක් නැළවූවකු බව දන්නේ අතළොස්සකි. සිය වෘත්තියෙන් කෝටි ගණන් හරි හම්බ කිරීමට හැකියාව නැතිබව දැන් චන්න හොඳාකාරයෙන්ම දන්නේය.

විදේශයන්හි පාපන්දු ක්‍රීඩකයින් වෙනුවෙන් කෝටි ගණනින් ලන්සු තැබෙන ආකාරය දකින විටදී චන්නට දැනෙන්නේ වේදනාවකි. පාපන්දු ක්‍රීඩාවට උමතු වූවන් සිටින ලොවක ලංකාවේ චන්න මිනී වළවල් කපන්නේ බඩ ගින්දර නිවා ගැනීමටය. ඒ සිරි ලංකාවේ හැටිය. කෝටි දෙසීයට තුන්සීයට ජාත්‍යන්තරය තුළ ලන්සු තබන රොනල්ඩෝලා, ලයනල් මෙසීලා, දකිද්දී නම් ගාල්ලේ චන්නට බ්‍රසීලය හෝ ආජන්ටිනාව තම මව්රට වූයේ නම් කොතරම් අගනේදැයි සිතෙන්නට ඇත. එහෙත් යථාර්ථයෙන් මිදීමට ඔහුට හැකියාවක් නැත්තේය.

ගාල්ලේ දඩල්ල සොහොන් බිමේ අලුතින් මිනී වළවල් කපමින් තණ කොළ සුද්ද කරමින් චන්න මේ සටන් වැදුනේ ලොකුම රකුසා වූ බඩගින්නට එරෙහිවය.

“උඹට දුක නැද්ද මල්ලියෙ? විටෙක දන්නා හඳුනන මිත්‍රයෙකු හෝ රසිකයෙකු මගතොටදී හමුවී විමසද්දී චන්න හිනැහෙන්නේය. පාපන්දුවෙන් බඩගිනි නිවීමට නොහැකි බව ඔහු දන්නේය. තමා එනතුරා අම්බලන්වත්තේ කුලී නිවසේ මග බලන දයාබර බිරිඳ මෙන්ම සිඟිති දියණියන් තිදෙනාව බඩගින්නේ තැබිමට චන්නට කිසිසේත්ම හැකියාවක් නැත. කුලී වැඩ කරන පියා මෙන්ම මවගේ ජීවිතයටද නැගණියගේ අනාගතයටද මහ මෙරක සිහින ගොඩ ගසන්නට චන්නට නොහැක්කේද එහෙයිනි.

දිනකට රුපියල් දහසක් ගැනීමට චන්න අතේ කරගැට එනතුරා පාළු සොහොන් බිමේ මිනී වළවල් කපන්නේ සැමියෙකුගේ පියෙකුගේ මෙන්ම පුතකුගේද යුතුකම් ඉටුකිරීමටය. සිඟිති දරු පැටවුන් මෙන්ම තරුණ පිරිස්ද තමන් කැපූ වළක නිදන්නට එද්දී චන්නගේ හිතට අස්වැසුමක් නම් නැත.

“සෙල්ලම් කරන්න ලැබෙන දවස්වලට ඔයා කුලී වැඩ කරන්න එපා. අපි නිසා ඔයාගෙ හීනෙ නැතිවෙනවා නේද? බඩගින්දර දැනුණද ඒවා සඟවන බිරිඳගේ දයාබර වදන් අස්සේ ඇති කඳුළු ගංගාව චන්න නොදැක්කා සේ සිටින්නේ වාවාගත නොහැකි දුකකින්ය.

දෙවරක් නොසිතා ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පාපන්දු ක්‍රීඩකයා හා විවාහ වීමට තරම් සංවේදී වූ තම බිරිඳ කෙරෙහි චන්නගේ සිතේ ලියලන්නේ මහ මෙරක තරම් ආදරයකි. රන්, මුතු, මැණික් නැති ලොවක සියලු අඩුපාඩු විඳ දරා ගනිමින්, තමන්ට මග කියන බිරිඳ නම් චන්නට සිතූපැතූ සම්පත් දෙන සංඛයක් බඳුය.
“ගෑනියෙක් විදියට ඒකි පුදුම දුකක් විඳිනවා බං දරුවන්වත් හදාගෙන තියෙන දෙයක් කාලා අඩුපාඩුවක් නොකියා මාත් එක්ක ජීවත් වෙන එකම ඇති.”

සමීපතම මිතුරකු වූ කුමාර මුණ ගැසුණු විටකදී චන්න දුක මුදා හරින්නේ සිතේ බර සැහැල්ලු කර ගැනීමටය. පවුල් ජීවිතයේ බර කරපිට පැට වී තිබියදී වුව කොළඹ පැවැත්වෙන පාපන්දු තරගයකට තමන්ව යැවීමට තරම් බිරිඳ සංවේදී වීම චන්නට ගෙන දෙන්නේ මහත් අස්වැසිල්ලකි.

මිනී වළවල් කැපුවට චන්නගේ ඇඟේ සිටින පාපන්දු ක්‍රීඩකයා තවමත් ජව සම්පන්නය. තමන් පණ මෙන් ආදරය කරන පාපන්දු ක්‍රීඩාංගණය පෙනි පෙනී එහි ඉදිරිපස ඇති සොහොන් බිමේ මිනී වළවල් කැපීමට චන්නට නම් ඇත්තේ අපූරු දිරියකි. උදෑසන දහදිය වගුරමින් මිනී වළවල් කපන චන්න කෙටි නිවාඩුවක් දමා හවස පාපන්දු ක්‍රීඩාංගණයට දුවන්නේ තමන්ගේ ලෝකය සෙවීමටය.

චන්නට ශ්‍රී ලංකා පාපන්දු කණ්‌ඩායම නියෝජනය කිරීමට අවස්‌ථාව උදාවන්නේය 1998 වර්ෂයේ දීය.98 වර්ෂයේ දී බ්‍රිස්‌ටල් ප්‍රීඩම් කප් තරගාවලියට ක්‍රීඩා කළා. සාප් ක්‍රීඩා තරග හතරක්‌ ක්‍රීඩා කළා. ලෝක කුසලානය සඳහා මූලික සුදුසුකම් ලැබීමේ තරගාවලි තුනක්‌ ක්‍රීඩා කළා. ආසියානු පාපන්දු ශුරතාවය සඳහා සුදුසුකම් ලැබීමේ තරග හයක්‌ ක්‍රීඩා කළා. විදේශීය රටවල් 25 කට විතර ගිහින් තියෙනවා. 2009 සාප් තරගාවලියේ දී හොඳම ක්‍රීඩකයා වුණා. 2005 ලාහෝර් වලදී තිබූ ඒ.එස්‌.පී. ප්‍රසිඩන්ට්‌ කප් තරගාවලියේ දී මම ගෝල් අටක්‌ ගහලා හොඳම ක්‍රීඩකයා වුණා. පාපන්දු තරගවලදී තමන් හපන්කම් ගැන චන්න විස්‌තර කර තිබුනේ එලෙසය.

2012 වර්ෂය චන්නට ඉතා වැදගත් වර්ෂයකි. හේ පාපන්දු ක්‍රීඩාවෙන් තවත් කඩ ඉමක්‌ පසුකිරීමට ඒ වර්ෂයේ දී සමත් වූයේය. එම වර්ෂයේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්‌ඩායමේ නායකත්වයට චන්න පත්වන්නේය.

මගේ නායකත්වය යටතේ පලස්‌තීනයට ගිහින් තරග තුනක්‌ ක්‍රීඩා කළා. මැලේසියාවට ගියා. ඊට පස්‌සේ වසර එකහමාරක්‌ යනතුරු පාපන්දු සම්මේලනට කිසිදු සැලැස්‌මක්‌ තිබුණේ නැහැ. පාපන්දු තරග පැවැත්වුණේ නැහැ. අශ්වයාගේ කකුල කැඩුණාට පසු ඒ සතාගෙන් වැඩක්‌ නැහැ. ඒ නිසා මම හිතුවා මගේ කාලය අවසන් කියලා. එහෙම හිතල 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්‌ඩායමෙන් විශ්‍රාම ගියා යෑයි චන්න කීවේය.

විශ්‍රාම යැමේදී මට යම් කිසි දෙයක්‌ දෙනවා නම් දෙන්න කියලා ලියුමක්‌ ශ්‍රී ලංකා පාපන්දු සංගමයට ඉදිරිපත් කළා. පිළිතුරක් ඒ කාලේ ලැබුන් නෑ.

රක්‌ෂාවල් හොයලා බැරිම තැන ඒකාලේ දකුණු පළාත් ක්‍රීඩා ඇමැතිතුමාට කීවා මට රක්‌ෂාවක්‌ හොයලා දෙන්න කියලා. එතුමාගේ ඉල්ලීමට හිටපු නාගරික මන්ත්‍රී දුමිඳු තරංග මහත්තයා හරහා ගාල්ල නගර සභාවේ රැකියාවක්‌ ලැබුණා. මට ලැබුණේ අනියම් කම්කරු රැකියාවක්‌. දඩැල්ල කනත්තේ තණ කොළ කපන්නත් මිනී වළවල් හාරන්නත් තමයි මට කරන්න තිබුනේ.

චන්න පාපන්දු තරගයක්‌ සඳහා ක්‍රීඩා කිරීමට යාමේ දී නිවාඩු ලබා ගතයුතුය. නගරසභා බලධාරීන් රාජකාරි නිවාඩු පවා ලබා දෙන්නේ නැත. නිවාඩු ලබාගෙන ගියහොත් චන්නගේ දිනක වැටුප රුපියල් 1000 ට තට්‌ටුවන්නේය. එවකට සිටි ගාල්ල නගර සභා බලධාරීන් චන්නට මේ කම්කරු රැකියාව ලබාදී තිබුනේ රැකියාවක්‌ දෙන්න අවශ්‍ය නිසාය.

ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ පාපන්දු ක්‍රීඩාවෙන් කෝටිපති ක්‍රීඩකයින් බිහිවෙද්දී තමන්ගේ පවුල ජීවත් කරවීමට මිනී වළවල් කපන සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් සිටියානම් ඒ ලංකාවේ චන්න පමණක්ම විය යුතුය.

ක්‍රීඩාවෙන් සමුගත් පසු දරීද්‍රතාවයේ අඩියටම වැටුනු චන්න අපූරු ප්‍රකාශයක් කර තිබුනි.
“ලංකාවේ ක්‍රීඩකයකු වූ පමණින් රැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. මම අනික්‌ ක්‍රීඩකයින්ට දෙන උපදෙස තමයි ක්‍රීඩාව කරන අතර හොඳින් ඉගෙන ගන්න”

කෙසේ වෙතත් චන්න පිළිබදව මෙම පුවත් මාධ්‍ය තුල පල වීමත් සමගම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් ලංකාවේ හිටපු පාපන්දු නායක චන්නට ක්‍රීඩකයෙක් ලෙස ඔහුට අවශ්‍ය සියලු පහසුකම් ලබාදී සුදුසු රැකියාවක් සදහා යොමුකිරීමට කටයුතු කරන බවත් පවසා තිබුනි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!