Gossip

“මගේ අළු ගුවනින් සිංහරාජයට හෙළන්න“ සෝමවංශ සහෝදරයාගේ අවසන් කැමැත්ත හෙළිවෙයි

1

 

සෝමවංශ අමරසිංහ මහතා ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෘදයා බාධයකින් බව වාර්තා වනවා.

මීට වසර කිහිපයකට පෙරත් ඒ මහතා හදවත් සැත්කමකට භාජනය කරන ලද බවයි පැවසෙන්නේ.

එකල එම හදවත් සැත්කමින් අනතුරුව ජනතා රැලියක්‌ ඇමතූ ඒ මහතා ප්‍රකාශ කළේ තමා යම් ලෙසකින් හෘද සැත්කම නිසා මරණයට පත්වූවානම් තමාගේ අළු ගුවනින් සිංහරාජ වනයට හෙළන ලෙස තම සගයන්ට උපදෙස්‌ දුන් බවයි.

ඒ මහතා තමාගේ අළු සිංහරාජ වනයට හෙළන ලෙස උපදෙස්‌ දී ඇත්තේ 1987-89 සමයේදී තමාට සැඟවී සිටීමට එම වනාන්තරය ආරක්‍ෂාව සැපයීම සම්බන්ධයෙන් කළගුණ සැලකීමක්‌ වශයෙනි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන රෝහණ විජේවීරගෙන් පසුව එම පක්ෂයේ දීර්ඝ කලක් නායකයා ලෙස කටයුතු කරනු ලැබුවේ සෝමවංශ අමරසිංහ මහතාය.‍

විජේවීරගෙන් අනතුරුව සමන් පියසිරි ප්‍රනාන්දු හා ලලිත් විජයරත්න ජවිපෙ නායකත්වය ගනිමින් වරින් වර කටයුතු කරනු ලැබුව ද පක්ෂයේ සිව්වැනි නායකයා ලෙස දශක කිහිපයක් තිස්සේ  ඔහුගේ  භූමිකාව ඉතිහාසගත වෙයි.

මෑතකදී ජවිපෙන් ඉවත්ව නව පක්ෂයක් එනම් ජනතා සේවක පක්ෂය ගොඩනගා ගනිමින් නව දේශපාලන ගමනක් යාමට ඔහු කටයුතු කළේය.

ඒ ජනතා විමුක්ති පෙරමුණ සම්ප්‍රදායික ප්‍රතිපත්තිවලින් බැහැරව ගමනක් යන බවට චෝදනා නඟමිනි.

කෙසේ හෝ 2014 පෙබරවාරි දක්වා ජවිපෙ නායකත්වය දැරූ ඔහු එම මස දෙවැනිදා පැවැති ජවිපෙ 7 වැනි සම්මේලනයේදී නායකත්වයෙන් ඉවත්වූ අතර නව නායකත්වයට අනුර කුමාර දිසානායක පත් කෙරිණ.

ඒ අනුව සෝමවංශ අමරසිංහ ජවිපෙ මධ්‍යම කාරක සභික ධූරයටත්, ජවිපෙ අන්තර් ජාතික කටයුතු ලේකම් ලෙසද පත් කෙරිණ.

කෙසේ වුවද 2015 ජූනි මසදී ඔහු ජවිපෙන් ඉවත්ව ජනතා සේවක පක්ෂය නමින් නව පක්ෂය පිහිටුවා ගනිමින් මේ දක්වා එහි නායකයා ලෙස කටයුතු කළේය.

කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 1969දීය.

අනතුරුව 1984දී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු දක්වා ඉහළට පැමිණීමට ඔහුට හැකිවිණ.

එකල ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත්වූ සභිකයින් 14 දෙනාගෙන් ඉතිරි වු එකම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ද සෝමවංශ අමරසිංහ මහතාය.

ඊට හේතුව 87 -89 කැරලිවලදී සෙසු සාමාජිකයින් මියයාමය.

ඒ අනූව එවකට ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර ද එවකට රජය සමයේ අත්අඩංගුවට පත්වන අතර 1989 නොවැම්බර් 13 වැනිදා ඔහු ඝාතනයට ලක්වූ බව පැවසේ.

විජේවීර අත්අඩංගුවට ගැනීමත් සමග සෝමවංශ අමරසිංහ රහසිගතවම ඉන්දියාවට පලාගිය බවට ද රාවයක් පැතිර තිබිණ.

කෙසේ හෝ වි‍ජේවීරගේ අඩුව පුරවමින් අකර්මන්‍ය වූ පක්ෂය ඔහු විදේශයේ සිට යළි ශක්තිමත් කිරීමට සුවිසල් සේවයක් ඉටුකරනු ලබයි.

ඒ අනූව එතැන් සිට නිල හා නොනිල වශයෙන් ජවිපෙ නායකත්වයට පණ පොවන සෝමවංශ අමරසිංහගේ භූමිකාව 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනපතිනිය වීමේ සිට  පසුකාලීනව එනම් 2015දී ඔහු පක්ෂයෙන් ඉවත් වී නව පක්ෂයක් පිහිටුවා ගැනීම දක්වා දුරදිග  යයි.

වසර 10ක් පුරා පැවැති අර්බුදයක ප්‍රතිඵලයක් සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමට හේතු වු බව පානදුර නගර සභාවේ හිටපු නගරාධිපති නන්දන ගුණතිලක මහතා වරක් පවසා තිබිණ.

2005 වසරේ තමා ඇතුළු කණ්ඩායමක් පක්ෂය හැර යාමට බලපෑවේ ද මෙම අර්බුදයම බවත් වත්මන් නායකත්වයට පවා ඊට විසඳුම් සොයාගත නොහැකි වීම හේතුවෙන් අවසානයේ සෝමවංශ අමරසිංහ මහතාටම පක්ෂයෙන් ඉවත් වීමට සිදුවූ බවත්, ඔහු සඳහන් කර තිබුණි.

ජවිපෙන් ඉවත්වීමට පෙර ගතවූ දශක කිහිපය තුළ ඔහුගේ නායකත්වය සමගින් ජවිපෙ භූමිකාව රට තුළ සිදුකළ පරිවර්ථනය ද මෙහිදී සිහිපත් කළ යුතුය.

උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව  සන්ධානය ගොඩනගමින් 2004 වසරේදි එජාපය පරාජය කිරිමට ජවිපෙට හැකිවිය.

ඒ අනූව 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39ක් දිනා ගැනීමට සමත් ජවිපෙ සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ ඊට විරෝධය පා සන්ධානයෙන් ඉවත්වීමට පියවර ගත්තේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ ජවිපෙ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා යළි විශාල වැඩකොටසක් සිදුකළේය.

උතුරු – නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටි ජවිපෙ ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කළ අතර මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීමෙන් පසු ජවිපෙ අභ්‍යන්තරයේ අර්බුදය පැන නැගුණි.

එහි උච්ච ප්‍රතිඵලයක් ලෙස  විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතු ජවිපෙ හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවා ගන්නා ලදී.

අනතුරුව 2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ එවකට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට සෝමවංශ අමරසිංහ ප්‍රමුඛ ජවිපෙ තීන්දු කළේය.

එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පළකළ අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය.

ඒ වන විට ජනතා ජ.වි.පෙ තුළ සිටි ඇතැමුන් පසු කාලයකදී ප්‍රකාශ කර තිබුණේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර එනම් 2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීම තුළ ජ.වි.පෙ තම පංති සටන අත්හැර පංති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතා  පරාජයට පත්වීමත් සමග ජවිපෙ තුළ අර්බුද යළි මතුවන්නට මත්තෙන් 2014 පෙබරවාරී පැවැති සම්මේලනයේ ප්‍රතිඵලයක් ලෙස සෝමවංශ අමරසිංහ පක්ෂ නායකත්වයට සමුදෙන ලදී.

අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වය භාර ගැනීමෙන් පසුව පක්ෂ අභ්‍යන්තර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ජවිපෙන් වෙන්ව අලුත් පක්ෂයක් පිහිටුවා ගන්නා සෝමවංශ අමරසිංහ මහතාගේ මෑත කාලීන දේශපාලන භූමිකාව වඩාත් ඉස්මතු වූ අවස්ථාවක් මෙහිදී සිහිපත් කළ යුතුය.

එනම් 2015  ජනවාරි 08 ජනපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්විම වැළැක්වීම සඳහා අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණයක් කර රටට සත්‍ය හෙළිකළ යුතු යැයි කියමින් ඔහු නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ඇරඹීමය.

අඛණ්ඩ උපවාසයක් අරඹන බව කියමින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ හිඳගත් නමුත් පැය කිහිපයක් ඇවෑමෙන් එම උපවාසය අවසන් කළ ඒ මහතා පසුකාලීනව විමල් වීරවංශ මහතා සමග යළි එක්වෙමින් ජවිපෙට, මෙන්ම වත්මන් යහපාලන රජයට ද චෝදනා නඟමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලැදි ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවේද සිටිනු දක්නට ලැබිණ.

මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය පහත පරිදි වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!