Gossip

“සරාගයේ” හිමිකාරයා සනුකට ගෑණු ළමයෙක්ගෙන් කිස් එකක්

සංගීත් වික්‍රමසිංහ කියන්නේ ලංකාවේ දැනට ඉන්න හොඳම බේස් ගිටාර් වාදකයෙක්. ඒ අඩි පාරෙම යන ඔහුගේ පුතු සනුක වික්‍රමසිංහත් වර්තමාන නව පරපුරේ ඉන්න දක්ෂ ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම බලාපොරොත්තු තැබිය හැකි ගායකයෙක් කියන දේ ඔහුගේ හැකියාවෙන් මේ වන විටත් තහවුරු කර හමාරයි.

සනුකගේ අලුත් ගීතයට මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා නේද?

ඔව්. මේ දවස්වල ඉතා ඉහළ ප්‍රතිචාර තියෙනවා. මගෙ Youtube චැනල් එක හරහා තමයි ගීතය රිලීස් කළේ. ගීතයට මේ වෙද්දි Views ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් පහු කරලා තියෙනවා. මීට පෙරත් ගීත කිහිපයක් කළා නේද? ඔව්. මීට කලින් ගීත කීපයක් කළා. ඒ අතරින් “සරාගයේ” තමයි කතා බහකට ලක්වුණේ.

සනුකගෙ ගීත අතරින් “සරාගයේ” දැඩි කතා බහකට ලක්වුණේ ඇයි කියලා ඇහුවොත්?

ගීතයෙ පද රචනය, තනුව, සංගීතය සහ වීඩියෝව නිසා වෙන්න ඇති කියලා හිතනවා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මෙහි පද රචනය කළේ මනුරංග විජේසේකර. තනුව සහ සංගීතය මගෙමයි. ඒ හැමදේම සංකලනයෙන් තමයි ගීතය හොඳට ආවෙ කියලා හිතනවා.

මේ ලබපු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

මම මුලින්ම Youtube එකේ දැම්මේ ඕඩියෝ එක විතරයි. ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර තිබුණා. ගීතයට රූප රචනාවක් නැතිව තියෙද්දිත් ගොඩක් අය ආදරේ කළා. ලක්ෂ 4කට වඩා Views තිබුණා. ඒ තරමට කැමතියි. ඒ වගේම වීඩියෝව සමග ගීතය රිලීස් කළාමත් මම හිතුවෙවත් නැති තරමට පෙරටත් වඩා ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.

සනුක මේ තරම් ජනප්‍රිය වුණේ තාත්තා නිසාද? නැත්නම් සනුකගෙ ගීතය නිසාද?

මම ක්‍ෂේත්‍රයට ආවෙ තාත්තගෙ නම පාවිච්චි කරලා නෙමෙයි. මම එන්නෙ ඉස්කෝලෙන් අයින් වුණු ගමන්ම. මමයි මගෙ යාළුවො ටිකකුයි එකතු වෙලා සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නෙ. ඒ “ග්ලෝරි” කියලා. ඒ අතරෙදි මගෙ Youtube එකටත් මම කරන නිර්මාණ ඇතුළත් කළා. ඒ එක තැනකදිවත් මම තාත්තගෙ නම සඳහන් කරලා නෑ. මම කාගෙ කවුද කියන්න එකකවත් සඳහන් නොකර මගෙ නිර්මාණ හරහා තමයි මිනිස්සු අතරට ගියේ.

පසුව සනුක කියන්නෙ සංගීත් වික්‍රමසිංහගෙ පුතා කියලා කට්ටිය දැනගන්නවා?

මම ගීත එක දෙක කරද්දි රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ ගියාම ඒ තැන්වලදී තමයි තාත්තගෙ නම ටිකින් ටික එළියට ආවේ. ඒත් එක්කම මම ඇතුළු තවත් කලාකරුවන්ගේ පුත්තු පිරිසක් එක්තරා පුවත්පතක කවරයකට පෙනී සිටියා. එතැනදී අපි කට්ටිය එකට එකතුවීමක් වෙලා අපිව එකම වැඩසටහන්වලට ගෙන්න ගන්න ගත්තා. එතකොට තමයි මම සංගීත් වික්‍රමසිංහගෙ පුතා කියලා දැනගත්තෙ. තාත්තගෙ පුතා නිසාම මට මේ තැන ලැබුණා කියන්න බෑ. මොකද මම මුලින් කොහෙදිවත් ඒ දේ සඳහන් කළේ නෑ.

සංගීත් වික්‍රමසිංහගෙ පුතා වුණේ නැත්නම් සනුකට අද මේ තරම් උඩට එන්න පුළුවන් ද?

තාත්තගෙන් මට දෙයක් ලැබිලා තියෙනව නම් ඒ සංගීත පැත්තෙන් ලැබිලා තියෙන දැනුම විතරයි. ඒ වගේම තාත්තා ලබාදෙන උපදෙස්. මොකද තාත්තා මට සංගීතය කරන්න කියලා මාව කවදාවත් එතැනට තල්ලු කළේ නෑ. මම කැමති නිසා මගේ උත්සාහයෙන් තමයි ඒ තැනට ආවේ. තාත්තා කළේ අවශ්‍ය උපදෙස් දීම පමණයි.

මේ ක්‍ෂේත්‍රයට එන්න හිතුවෙ ඇයි?

මම පොඩි කාලෙ ඉඳන්ම සංගීතයට ගොඩක් ආසයි. තාත්තගේ රෙකෝඩින් ස්ටුඩියෝ එක තියෙන්නෙත් ගෙදරමයි. ඉතින් තාත්තා ඒ වගේ වැඩ කරද්දි මට හැම වෙලේම ඇහෙනවා ඒ දේවල්. මම සමහර වෙලාවට ගිහින් තත්තා කරන දේවල් බලාගෙන ඉන්නවා. මට ඒවට ගොඩක් ආස හිතුණා. ඉතින් මමත් ඒ කාලෙ ඉඳන්ම ඒ සංගීත භාණ්ඩ පාවිච්චි කරනවා. කම්පියුටර් එකෙන් එක එක සින්දු කෑලි හදනවා. කීබෝඞ්, ගිටාර් ප්ලේ කරනවා. ඒ දේවල් නිසා වෙන්න ඇති මම සංගීතයට ඉබේම නැඹුරු වෙන්න ඇත්තේ.

පොඩි කාලෙත් හීන දැක්කද ගායකයෙක් වෙන්න?

නෑ. පොඩි කාලෙදී එක එක හීන දැක්කා. නමුත් සංගීතය කරනවා කියල නම් හිතේ තිබුණේ නෑ. නමුත් අවසානයේ නතර වුණේ මෙතැන.

සනුක සංගීතය ඉගෙන ගත්තද?

ගොඩක් දුරට හදාරලා නම් නෑ. නමුත් ක්ලැසිකල් ගිටාර් ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබුණා. ඒ නිසා අමරනාත් රණතුංග සර් ළඟ ඒ පිළිබඳ හැදෑරුවා. ඒ වගේම මගෙ සීයා ළඟ රාගධාරී සංගීත ඉතා අල්ප වශයෙන් හදාරලා තියෙනවා.

සනුක මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නෙ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් ලෙසට නේද?

ඔව්. මම මුලින්ම O/L කරන කාලෙදි සංගීත අධ්‍යක්‍ෂණයටත් සම්බන්ධ වෙලා හිටියා. මුල්ම ගීතය විදියට මම කළේ යෂාන්ගේ “සිත්තමක් වගේ” ගීතය. ඒ ගීතයත් කට්ටිය අතර ගොඩක් ජනප්‍රිය වුණා. එතැන් සිට තමයි මම ක්‍ෂේත්‍රයට පා තබන්නේ. එතැනින් පසුව තමයි O/L අවසන් වුණාට පස්සෙ සංගීතය දිගටම කරන්න ඕනෑ කියලා හිතෙන්නේ. ඊට පස්සෙ මගෙ යාළුවො සෙට් එකක් මට සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා කියලා ආරාධනා කළා. මම ඒ ආරාධනයත් එක්ක ඒ සඳහා සම්බන්ධ වුණා. සහන් සහ ෂේන් එකතුවෙලා තමයි ග්ලෝරි බෑන්ඞ් එක පටන් ගත්තේ.

සනුකට මාධ්‍යවලින් ලැබෙන ඉඩ කොහොමද?

සමහර මාධ්‍යවලින් හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම සමහර ආයතනවලින් හොඳ සහයක් දෙනවා වගේ පෙන්නුවත් දෙන්නෙ නෑ. ඒ වගේ දේවල් වෙනවා. මම කොහොමත් මගෙ නිර්මාණ ගොඩක්ම මිනිස්සු අතරට ගෙනිච්චෙ අන්තර්ජාලය හරහා තමයි. එතැනදී මගෙ අලුත්ම ගීතය “සරාගයේ” මිනිස්සු වැළඳගැනීමත් සමගම දැන් මට නොයෙක් ආයතනවලින් කතා කරනවා.

වැඩිහිටි පරම්පරාවෙ සනුක කැමතිම ගායන ශිල්පියා කව්ද?

කැමතිම කියලා විශේෂ කෙනෙක් නෑ. හැමෝගෙම වගේ ගීතවලට සවන් දෙනවා.

සනුකගෙ පරම්පරාවෙ කැමතිම ගායකයා සහ ගායිකාව කව්ද?

එහෙම එක්කෙනෙක් කියන්න බෑ. හැමෝටම කැමතියි.

ක්‍ෂේත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරන්නෙ කව්ද?

සජිත, නදීමාල්, කෞෂාල්, ඩිල්මිත් ඒ කට්ටිය තමයි.

නව පරපුරේ සනුකට ගැළපෙනම කාන්තා කටහඬ කාටද තියෙන්නේ?

ඒක මට කියන්න බෑ. මම දන්නෙ නෑනෙ. ඒ නිසා ඩුවට් කීපයක් කරලම බලන්න ඕනෑ.

ඩුවට් එකක් කරන්න හිතුණොත් කාවද තෝරගන්නෙ?

තවම ඩුවට් එකක් කරන්න හිතිල නම් නෑ. හිතුනොත් උමාරා, උමාරියා තමයි.

ක්‍ෂේත්‍රයේ සනුකට හිත ගිය කෙනෙක් නැද්ද?

තවම නම් නෑ.

දැන් පෙම්වතෙක් ද?

ඒත් නෑ.

කොයි වගේ කෙනෙක් ද හොයන්නෙ කියලා ඇහුවොත්?

දැන් හොයන්නෙ නම් නෑ. ඒත් මාව තේරුම් ගන්න පුළුවන් සහ මම කරන රැකියාවත් තේරුම් අරන් ඉන්න පුළුවන් කෙනෙක් නම් හොඳයි.

සනුකට දැන් වයස කීයද?

වයස කියන්න නම් බෑ. වයස කියන්න අකමැතියි.

ඇයි ඒ? ගෑනු ළමයිනෙ වයස හංගන්නෙ?

මම කියන්න කැමතිත් නෑ. එතකොට ප්‍රශ්න ආවොත්?

පොඩි කාලෙ සනුක කොයි වගේ ද?

ළමා කාලෙදි ටිකක් දඟයිලු.

දඟ වැඩ කරලා ගෙදරින් ගුටි කාල තියෙනව ද?

අපොයි ඔව්. ඒත් ඒ මොකටද කියලා මතක නෑ. තාත්තගෙන් හොඳට ගුටිකාල තියෙනවා.

කියමුද ළමා කාලය පිළිබඳ විස්තර ටිකක්?

මගෙ ළමා කාලය ඉතින් හරි සුන්දර විදියට ගෙවුණා. මට සහෝදරයෙක් ඉන්නවා. ඔහුත් එක්ක තමයි ඉතින් මම වැඩිපුර කාලය ගත කළේ. ඒ වගේම මගෙ ඥාති සහෝදරයන් හිටියා. ඉතින් අපි සෙල්ලම් කරනවා. ඒවා තමයි. වැඩිපුර ගෙදරින් එළියට එහෙම යන්න දෙන්නෙ නෑ. ඒත් ඉතින් ඒ කාලෙ හොඳට දඟලලා කරලා හිටියා.

පාසල් කාලයේ සනුකට ලැබුණු ලොකුම දඬුවම මතකද?

අම්මෝ ඔව්. මට ලැබුණු ලොකුම දඬුවම තමයි මම මාරම අවශ්‍යතාවයක හිටියා. ඒ අවශ්‍යතාවය මත මම ගිහින් ටීචර්ගෙන් ටොයිලට් යන්න අහද්දි ටීචර් මට යන්න දුන්නෙ නෑ. ටීචර් බැන්නෙ දැන් ඉස්කෝලෙ ඉවර වෙන්න ළඟයි යනවා ගිහින් වාඩි වෙනවා රස්තියාදු ගහන්න යන්නෙ නැතිව කියලා. මමත් ඉතින් ගොඩක් අමාරුවෙන් අන්තිම වෙනකම් කාගෙන හිටියා. ඒ දවස නම් මට හොඳට මතකයි. මාරම දුකක් වින්දා.

පාසල් කාලෙත් ජනප්‍රිය චරිතයක් ද?

ඒ කාලෙ සංගීත අංශයේ දේවල්වලට සම්බන්ධවෙලා හිටියා. රාජකීය විද්‍යාලයේ “සග” ප්‍රසංගයටත් පාසලට ගිය අලුත සිටම සම්බන්ධ වෙලා හිටියා. ඒත් එහෙම ලොකු ජනප්‍රියත්වයක් තිබුණේ නෑ.

පාසලේ යාළුවො ආදරේට කතා කළේ මොන නමකින්ද?

මට සන්නා කියනවා. සනා, සනුකයා ඒවා තමයි කිව්වේ.

පාසල් කාලය ගැන කතා කළොත්?

මම එක වසරේ සිට පහ වසර දක්වා පාසල් ගියෙ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයට. ඒක මිශ්‍ර පාසලක්. එතැනින් පසුව 5 වසර ශිෂ්‍යත්වය විභාගය සමත්වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ගියා.

පාසල් කාලෙදි යාළුවො එක්ක එකතු වෙලා කරපු සොඳුරු වැඩ ටිකක් කියමුද?

සොඳුරු මතකයන් තියෙන්නෙ ගොඩක්ම බිග් මැච් කාලෙදි තමයි. අපි ඉතින් ඔහේ කෑ ගහ ගහ පාරවල්වල යන්නෙ. හරි වැඞ්ඩො කියලා තමයි ඒ දවස්වල හිතාගෙන යන්නෙ ඉතින්. දැන් මතක් වෙද්දිත් හරි ආසා හිතෙනවා ඒ කාලෙ සිදුවීම්. ආයෙත් ඉතින් ජීවිතේට ඒ වගේ සොඳුරු කාලයක් එන්නෙ නෑ.

ඒ කාලෙ ඉතින් ගෑනු ළමයි පස්සෙන් එහෙමත් යනවා ඇති නේද?

එහෙමමත් නෑ. යාළුවෙන්න නම් ඕනෑ තරම් ගෑනු ළමයි හිටියා. ඒ හැමෝම එක්ක විහිළුවෙන් තමයි වැඩිපුර හිටියෙ.

ගෑනු ළමයෙක්ගෙන් මුලින්ම යාළුවෙන්න ඇහුවෙ අවුරුදු කීයෙදි ද?

එතකොට මම ගොඩක් පොඩියි.

වයස කීයෙදිද?

අවුරුදු හයයි. එතකොට මම එක වසරෙ. ඒ ගෑනු ළමයා මට කිස් එකකුත් දුන්නා.

දන්න කියන වයසට ආවම සනුකට පෙම්වතියො හිටියද?

එහෙම මහ ගොඩක් හිටියෙ නෑ. ඒත් ගානක් මතකත් නෑ.

දැන් ප්‍රසංගවලට එහෙම යද්දි වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නෙ රසිකාවියන්ගෙන් නේද?

ඔව්. ගැහැනු ළමයින්ගෙන් තමයි ගොඩක් ප්‍රතිචාර තියෙන්නේ.

එහෙනම් සනුකට දැන් ප්‍රේම ආරාධනාත් එනවා ඇති නේද?

ඔව්. ඒ දේවල් නම් තියෙනවා. FB එකෙන් ගොඩක් ඒවා වෙන්නෙ. ගොඩක් කට්ටිය FB එකට මැසේජ් දාලා තියෙනවා.

ඒවට සනුක මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ?

ඒ වෙලාවට මම ඒ මැසේජ් බලලා දැක්කෙ නෑ වගේ ඉන්නවා. මගෙ නිර්මාණවලටත් ගොඩක් ප්‍රතිචාර දක්වනවා.

ඒවට නම් මම රිප්ලයි එක දෙනවා. දැන් ප්‍රසංගවලට තියෙන ඉල්ලුම කොහොමද?

ඇත්තටම හොඳයි.

“සරාගයේ” ගීතයෙන් පස්සෙ හොඳ ඉල්ලුමක් තියෙනවා. ප්‍රසංගවලට යද්දි කොයි වගේ පිරිස් ද වැඩිපුර මුණගැහෙන්නේ?

වැඩිපුරම අපේ වයස්වල වගේ අය තමයි මුණගැහෙන්නේ. අපේ පරම්පරාවෙ රසිකයො.

ඒ අය සනුකත් එක්ක ‘සෙල්ෆි’ ගහන්න එහෙම එනවද?

අපොයි ඔව්. ගොඩ දෙනෙක් එනවා. වැඩිපුර එන්නෙ ගෑනු ළමයි.

ප්‍රසංග වේදිකාවෙ මුලින්ම ගීතයක් ගායනා කරපු දවස මතකද?

පාසලේ පැවැත්වුණු “සග” ප්‍රසංගයේදී තමයි මුලින්ම ගීතයක් ගායනා කළේ.

ගායනා කරපු ගීතය මතකද?

“හබීබී” ගීතය තමයි ගායනා කළේ.

ඒ දවසෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ඇත්තටම ගොඩක් හොඳයි.

සනුකගෙ ගීතයක් මුලින්ම රූපවාහිනියෙ විකාශය වුණු දවස මතකද?

ඒක හරියටම මතක නෑ. නමුත් “මල්වියන්” කියන ගීතය තමයි මුලින්ම විකාශය වුණේ.

සනුකගෙ ගීත රූපවාහිනියෙ මුල් කාලෙදි විකාශය වෙද්දි දැනුණු හැඟීම කොහොමද?

ඇත්තටම ගොඩක් සතුටුයි. මහන්සි වුණු තරමට ප්‍රතිඵලයක් ලැබුණා කියලා හිතුනා.

පිටරට ගායකයන්ගෙන් සනුක කැමතිම ගායකයා ගැන කිව්වොත්?

මම කැමතිම මයිකල් ජැක්සන්ට.

හේතුව?

පොඩි කාලෙ ඉඳන්ම මම ගොඩක් කැමතියි. ඒ ඔහුගේ සද්ද බද්දවලට. ඒ වගේම ඒ ගීතවල තියෙන එක් එක් ශෛලීන් වගේම වේග රිද්ම, ස්ලෝ සෝන්ග්, ඔහුගෙ නර්ථන විලාසයන්, වේදිකාව හසුරුවන විදිය ඒ හැම දේ අතින්ම මම ඔහුව දකින්නෙ ඉහළම ලෙසකට. ඒ නිසා මම ඔහුට ගොඩක් කැමතියි ඔහු හැම අතින්ම ඉතාමත් දක්ෂයි. තාත්තා මට පොඩි කාලෙ ඉඳන්ම ඒ ගීත අහන්න දුන්නා. ඒ පෙළඹවීම මත මම ඔහුගෙ රසිකයෙක් වුණා පොඩි කාලෙ ඉඳන්ම.

කවදහරි ඒ වගේ ලෝකෙම පිළිගත්ත කෙනෙක් වෙන්න ආසද?

එහෙම ලොකු හීනයක් නම් නෑ. මගෙ නිර්මාණවලින් ගොඩක් අයව මට සතුටු කරන්න පුළුවන් නම් මට ඒ ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!