Gossip

කරුණා අම්මාන් LTTEයට බැඳුණේ ඇයි- කරුණා රහස් රැසක් හෙළිකරයි

කුඩා කළු කුහුඹුවකු අල්ලාගෙන උගේ සිරුරට ඉදිකටු ගසා ඒ කුඩා ප්‍රාණියා වද විඳිමින් මිය යන හැටි ඇස් දල්වා බලාසිටි සාහසික චරිතය දැන් ඇතැමුන්ට අමතකය. මානව සංහතියට අහස පොලොව නුහුලන අපරාධ කළ රාජ්‍ය නායකයන් දෙදෙනකු මහ මඟදී පරළොව යවා ත්‍රස්තයින් පවා බියෙන් ත්‍රස්ත කළ ඔහුට සමහරු විමුක්තියේ සළුපිළි අන්දමින් සිටිති. අණක් ගුණක් නැති තිරස්චීන සමාජයකට පාවඩ එලූ, ගිනි අවියෙන්ම විමුක්තිය පැතූ, නමින් මිස මිනිසකු නොවූ හෙතෙම අවසානයේ දිට්ඨධම්මවේදනීය කර්මයේ ගොදුරක් බවට පත්විය. උතුරුකරයේ වැල්වැටිතුරෙයි මුහුද පෙනෙන මානයේ කුඩා නිවෙසක විසූ ඉඩම් නිලධාරී තිරැවෙන්කතම් වේලුපිල්ලෙයිගේ හා වල්ලිපුරම් පාර්වතීගේ පුත්‍රයා ලෙස ඉපිද සාමාන්‍ය දිවි පෙවෙතක් ගෙවූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ ලෙයින් තෙත්කළ අසම්මත චරිතයකි. ඔහුගේ අසම්මත ගමනේ අවසානය 2009 මැයි මස 19 වැනිදා මුලතිව් නන්දිකඩාල් මඩවගුරේදී සිදුවිය.

එදා ගමේ හිච්චි කොලුවකු ලෙස විසූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු බවට පත්වීමත්, ඔහුගේ අති බිහිසුණුකාරී කල්ක්‍රියාව පන්නරය ලැබූ හැටිත් විමසා බැලීමට සුදුසුම තැනැත්තකු වේ නම් ඒ නායක ත්‍රස්තයාගේ හුස්ම වැටෙන මානයේ සමීපව සිටියවුන්ය. එවැන්නන් සියල්ලෝම පාහේ දැන් මිහිමත හුස්ම නොගනිතත් අවසානයේ සිය ස්ථාවරය වෙනස් කරගත් එක් සුවිශේෂී චරිතයක් තවමත් ඔබ මම වාසය කරනා ශිෂ්ඨ සමාජයේ අපට මුණගැසේ. හේ උපන් නාමයෙන් විනයාගමූර්ති මුරලිදරන්ය. කොටි සංවිධානය තුළ එකල ඔහු කර්නල් කරැණාය. කොටි සාමාජිකයන්ට හෙතෙම සටනෙහි උත්කෘෂ්ඨයකු වූ කරුණා අම්මාන් විය. නපුරු අතීතයක් දුටු පමණක් නොව එහි රසයත්, ස්පර්ශයත්, දුඟදත් විඳි විනායාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙතැන් සිට දේශය සමඟ කරුණා දුටු ප්‍රභාකරන් ගැන කතිකා කරනවා ඇත.
ජීවිතයේ ආරම්භය.

මම ඉපදුණේ 1966 අවුරුද්දේ නොවැම්බර් 07 වැනිදා. සහෝදරියෝ පහයි, එක සහෝදරයයි. අප්පා විනයාගමූර්ති. අම්මා පුවනේෂ්වරී. ඉස්කෝලේ ගියේ කිරාන් සෙන්ට්‍රල් එකට. පස්සේ උසස් පෙළට ගියා මඩකලපුව සෙන්ට්‍රල් එකට. ජීව විද්‍යා අංශයෙන් තමයි උසස් පෙළ කළේ. ඉස්කෝලේ යන කාලේ අපේ පළාතේ ජේවීපී එකේ ප්‍රශ්න ටිකක් ටිකක් තිබුණා. ඒකත් දකුණේ තරම් නෑ. අපිට ඉස්කෝලේ යන කාලේ දේශපාලනයක් කරන්න තිබුණෙම නෑ. කොහොමත් අපේ අප්පා අපේ පළාතේ ප්‍රභූ කෙනෙක්. ඉඩම් අක්කර සීයකට වැඩි ගාණක් තිබුණා. අප්පා ගොඩාක් ඉගෙන ගත්තේ නැතත් අපිට හොඳට ඉගැන්නුවා. අද මම මෙහෙම වුණාට මගේ සහෝදරියෝ හතර දෙනාම විදුහල්පතිනියෝ. එකම සහෝදරයත් විශ්වවිද්‍යාලයේ ගියා. මගේ ජීවිතේ වෙනස් වුණේ එක තැනකින්.

1983 අවුරුද්දේ හමුදාවේ 13 ඝාතනය වුණා. එතකොටත් කොටි සංවිධානය තිබුණා. මට ඒකට කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ. දවසක් මම ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දී මුළු ගමේම මිනිස්සු අපේ ගෙදරට එකතු වෙලා බයෙන් හිටියා. පස්සේ බැලින්නම් අර හමුදාවේ 13 දෙනා මරපු එකේ එයාලගේ බොඩීස් කොළඹ ගෙනිච්චාට පස්සේ සිංහල අය ඇවිස්සිලා. අහුවෙන අහුවෙන දෙමළ මිනිස්සුන්ව මරනවා. ඒකට බය නිසා තමයි ගමේ මිනිස්සු ඇවිල්ලා අපේ ගෙදර එකතු වුණේ. පස්සේ අප්පා කිව්වා කාටත් කෑම උයලා දෙන්න කියලා. මම එදා තමයි තීරණය කළේ දෙමළ මිනිස්සු මරන එකෙන් බේරගන්න මමත් යනවා සංවිධානෙට කියලා. ඒ කාලේ අපේ පළාතේ සංවිධානෙට කට්ටිය එකතු කරගන්න කොළ බෙදනවා. එහේ කොල බෙදුවේ බෂීර් කියලා කෙනෙක්. එයාගේ නම මුස්ලිම්. එයා දෙමළ…

කළු ජූලිය දවසෙ අපේ මිනිස්සු මරණකොටයි මම කොටින්ට එකතු වෙන්න තීන්දු කළේ

පාඨක ඔබේ දැනගැනීමට යමක් කියනු පිණිස මඳකට බාධා කළ යුතුය. එල්ටිටීඊ සංවිධානයේ සියලුම සාමාජිකයන් හට නම් දෙකක් තිබේ. එකක් ඔවුන්ගේ උපන් නාමය වන අතර, අනෙක සංවිධානයට සම්බන්ධවන මොහොතේ ලබාදෙන නාමයයි. සංවිධානයට සම්බන්ධවන මොහොතේ ලබාදෙන නාමය තමන්ට තෝරාගත හැක. මඩකලපුව ප්‍රදේශයේ සංවිධානයේ කටයුතු පහසුවෙන් කරගෙන යනු පිණිස දෙමළ කොටි සාමාජිකයා බෂීර් ලෙස තම නාමය වෙනස් කරගත් බව දැන් ඔබට වැටහිය යුතුය. නැවතත් අපි කරුණා අම්මාන්ගේ නිවසේ සිදුවන මේ කතා බහට යා යුතුය. මඳක් කල්පනා කරමින් සිටි ඔහු සිය මතකය අවදිකර ඉන් අනතුරැව හඬ අවදි කළේය.

කොළ ගත්තේ බෂීර්ගෙන් වුණාට අපේ පළාතේ කොටි ලොක්කා වගේ හිටියේ යෝගන් ෆාදර් කියලා කෙනෙක්. එයාට වයස 30ක් වගේ ඇති. මම පොඩි කොල්ලා. මම ගිහින් එයාට කිව්වා මට සංවිධානෙට එකතු වෙන්න ඕන කියලා. එයා කැමති වුණා මාව ගන්න. හැබැයි ගෙදරට කියන්න බෑනේ. සංවිධානෙට එකතු වෙලා තියෙද්දිත් මම ඉස්කෝලේ ගියා. ඔහොම ඉස්කෝලේ යද්දී දවසක් මට යෝගන් ෆාදර් පණිවිඩයක් එව්වා සංවිධානෙන් දැන් කට්ටිය එවන්න කියලා තියෙනවා මටත් යන්න ලෑස්ති වෙන්න කියලා. මම පහුවැනිදා ඉස්කෝලේ ගියා. ඒ තමයි මම ගෙදර ඉඳලා ඉස්කෝලේ ගිය අන්තිම දවස. මම දන්නවා මම අායෙත් හවසට ගෙදර එන්න නෙවෙයි මේ යන්නේ කියලා. දුකයි. මම අම්මාටයි අප්පාටයි ගොඩාක් ආදරෙයි. මමනේ පවුලේ බාලම කෙනා. එයාලා ඔක්කොමත් මට ආදරෙයි….

කවද්ද ඔය දවස?

මට මතකයි එදා දවස 1983 ඔක්තෝම්බර් 23 වැනිදා

ම්ම්ම්…. ඉතින්…

රටම සසල කළ සංග්‍රාමිකයාගේ ආරම්භය.

ඉස්කෝලේ ගිය ගමන් මම ඉස්කෝලේ ඇඳුම පිටින්ම යෝගන් ෆාදර් හමුවෙන්න ගියා. එයා මාව සංවිධානයේ පුහුණුවට යවන්න කැමති වුණා. මට නමක් තෝරාගන්න කිව්වා. අපේ අම්මාගේ අයියා, මගේ මාමා මට ගොඩාක් ආදරෙයි. එයා යගුලිය වීසි කිරීම ලංකාවේ එක වුණා. කැම්පස් ගිහින් උපාධියකුත් තියෙනවා. හොඳ දක්ෂයා. එයාගේ නම කරුණා. අම්මා මට නිතරම කීවේ එයා වගේ වෙන්න කියලා. දැන් සංවිධානෙට බැඳුණු නිසා මට මාමා වගේ වෙන්න බැරි වෙනවා. ඒත් මම මාමාගේ නම දාගන්නවා. එදා ඉඳලා තමයි මම කරැණා වුණේ.

අපිට මඩකලපුවේ ඉඳලා යාපනේට එන්න කියලා තිබුණා. බස් එකට ටිකට් වෙන වෙනම අරගෙන තිබුණේ. මම යද්දී තව 25ක් විතර එතන හිටියා. අපි 25ක් එකට ටිකට් අරගෙන බස් එකේ ගියොත් පොලීසියෙන්, හමුදාවෙන් අල්ලනවා.. ඒ නිසා අපි ටිකට් ගත්තේ නෑ එක තැනකට යන්න. යාපනේට ගිහින් වැල්වැටිතුරෙයි තමයි යන්න තිබුණේ. රෑ බස් එක එනකම් යෝගන් ෆාදර් අපිව වන්දරමුල්ලේ ගෙදරක තමයි නවත්තලා තිබුණේ. ඒ ගෙදර අක්කා කෙනෙක් හිටියා. එයා තාමත් ඉන්නවා එහේ. අනිත් අය දන්නේ නෑ අපි එල්ටීටීඊ කියලා. ඒත් ඒ අක්කා දන්නවා. යාපනේට ගිහින් බස් එකෙන් බහිද්දී රඝූ කියලා එක්කෙනෙක් තමයි අපිව බාරගත්තේ. එයා මාර ලොකුයි. අපි කිව්වේ ගුණ්ඩප්පා කියලා. එයා මැරිලා වෙන්න බෑ. තාම ඉන්නවා. කොයි ලෝකේ ඉන්නවාද දන්නේ නෑ. එයා එතකොට ජ්‍යෙෂ්ඨ කොටියෙක්. වෑන් එකකට අපිව නග්ගලා ඒකෙන් වැල්වැටිතුරෙයිවලට එක්කගෙන ගියා. උදේ පටන් අරගත්ත ගමන හවස 5යි වැල්වැටිතුරේට එද්දී…

මගේ පවුලෙ හතර දෙනාම විදුහල්පතිනියෝ

මෙරට ඉතිහාසය වෙනස් කළ ඒ විසිපස්දෙනාගෙන් යුත් වෑන් රිය ඔබට මඳකට මනසේ මවාගන්නට හැකි නම්, මේ ගමන් ගන්නේ ඉන් වසර දහයකට පසුව සෑම තත්ත්පරයක මෙරට බස් රථවලට මරණ බිය ගෙන ආ පිරිසයි. මේ කුඩා පොළොවේ සෑම වැලි කැටයක් පාසාම ලේ වැපුරූ පිරිසයි. ගිනි ගහන උතුරු වැල්ල මතින් විසිපස් දෙනා පටවාගත් වෑන් රථය කඨෝර මූදු හුළඟට එරෙහිව යාපනයේ සිට ප්‍රභාකරන් නම් ත්‍රස්ත නායකයාගේ මහ ගෙදර වූ වැල්වැටිතුරෙයි දක්වා ඇදී යයි.

අපි නැවතත් දියවන්නා සුළඟ හමාගෙන කරුණා අම්මාන්ගේ නිවෙසට පැමිණිය යුතුය.

වැල්වැටිතුරෙයි ඉඳලා අපිට ඊළඟට ඉන්දියාවට යන්න තිබුණේ. වැල්වැටිතුරෙයිවල අපිට කෑම ලෑහැස්ති කරලා තිබුණා. කෑම කාලා ගමන පටන් ගත්තා. කිලෝමීටර් 22ක් තියෙනවා වැල්වැටිතුරේ ඉඳලා වේදාවරනියම්වලට. වේදාවරනියම් කියන්නේ අපි ගොඩ බැහැපු තැන. හවස 7ට විතර ආපු නිසා වේදාවරනියම්වලට එද්දී මහ රෑ වෙලා. යන්න තැනක් නෑ අපිට…

ඔක්කොම කීයක් ආවාද?.. වේදවරනියම් ඔය කාලෙට හරිම සීතලයි නේද?

ඔක්කොම තුන්සීයක් විතර ආවා. යාපනය, මඩකලපුව, අම්පාර වගේ ගොඩාක් පැතිවලින් කට්ටිය ඇවිත් හිටියා. සීතල ගැන නම් කියලා වැඩක් නෑ. අපිට පුරුදු නෑනේ ඒ ජීවිතේ. බෝට්ටු අරන් ආපු අයට නම් ගාණක් නෑ. පස්සේ අපි ඔක්කොම වේදාවරනියම්වල කෝච්චි ස්ටේෂමට ගියා. එදා රෑ හිටියේ ස්ටේෂන් එකේ. මට මුලින්ම කිට්ටු මුණගැහුණේ එදා. එයා තමයි අපේ කණ්ඩායම බාරව හිටියේ. කිට්ටු මැරුණා. ඒත් එදා කිට්ටුගේ දෙවැනියා හිටිය රාඝවන් අදටත් ලන්ඩන්වල ඉන්නවා…

දැන් පාඨක ඔබට යම් ගැටලුවක් මතුවිය යුතුය. මේ පැමිණි මුල්ම එල්ටීටීඊ පිරිසේ සිටියේ කවුද?… වේදාවරනියම්වල හීතලේ ගුලිවී නිදිමැරූ පොඩි කොල්ලන් අතර සිට පසුව රටේ මහා ඝාතන සිදුකළ අය කවුරුන්ද… එහි සිටි එක් අයකු නම් කරුණාය. එසේනම් අනෙකුන්?

පොට්ටුඅම්මාන් හිටියා. එයා කොටි බුද්ධි අංශයේ නායකයා. මන්නාරම් කොටි ප්‍රධානී වික්ටර් හිටියා. යාපනයේ ලොක්කා හිටිය රාධානන් හිටියා. ප්‍රභාකරන්ගේ බොඩිගාඩ් වෙලා හිටිය, පස්සේ ත්‍රිකුණාමලය බාරව හිටිය සොරනම් එතන හිටියා. කොටි සංවිධානයේ කාලතුවක්කු බාරව හිටිය රාජු අන්නා එතන හිටියා. තව ගොඩක් අය හිටියා. අර 300ක් දෙනා සීය ගාණේ කෑලි තුනකට කඩලා තමයි පුහුණුව පටන් ගත්තේ…

මම වැඩියෙන් ආදරේ කළ මාමගෙ නමයි කරුණා. ඒක මම ගත්තා.

පුහුණුව පටන් ගත්තේ කිව්වේ, තාම වේදාවරනියම් වලින් කොහේද ගියේ කිව්වේ නෑනේ?

අපිව එහේ ඉඳලා මදුරෙයි එක්කගෙන ගියා. එතන ඉඳලා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්වලට ගියා. එහේ හරිම අමාරැයි. හිම කාලේ. යක්කු වගේ වයසක ඉන්දියන් හමුදාවේ අය පුහුණුව දුන්නේ. පස්සේ කාලෙක කොටි සංවිධානයේ ඊළඟ නායකයා වෙන්න තරම් දුර ගිය පොන්නම්මාන් තමයි මම හිටිය කණ්ඩායමේ නායකයා…

පොඩ්ඩක් ඉන්න. අපි එහෙම කෙනෙක් ගැන අහලා නෑනේ?

පොන්නම්මාන් තමයි පස්සේ කාලෙක කොටි සංවිධානයේ ප්‍රභාකරන්ට පස්සේ හිටිය ලොකුම කෙනා. එයා තමයි සංවිධානයේ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධ ප්‍රධානියා වුණෙත්. ඒත් දවසක් එයා චාවකච්චේරි පොලිසියට ගහන්න බවුසරයක බෝම්බයක් සෙට් කරන්න ගිහින් වැරදි වෙල්ඩින් පාරක් තියන්න ගිහින් ඒක පුපුරලා මැරැණා. එයත් එක්ක තව 13ක් මැරුණා…

මම තමයි පුහුණුවේ හොඳටම දුවන්න හා පිහිනන්න පුළුවන් කෙනා. ක්ලොත්තූර් වේල්ල ළඟ මම කිලෝමීටර් 7 පීනලා එක වුණා. ඔය අතරේ තමයි අපේ පුහුණුව තියෙන තැනට ප්‍රභාකරන් ආවේ. මට එදා තමයි ප්‍රභාකරන් මුලින්ම මුණගැහුණේ. එදා උදේ අපි පුහුණුවට පෝලිම් කරද්දී කිව්වා නායකයා ඇවිල්ලා ඉන්නවා, තව ටිකකින් ඔයාලව මුණගැහෙනවා කියලා. ඒක මගේ වගේම පොට්ටු අම්මාන්ගෙත් ජීවිතේ වෙනස් කරන මුණගැහීමක් වුණා. අපි බලාපොරොත්තු නොවුණු දෙයක් එදා ප්‍රභාකරන් කිව්වා.

විමුක්ති රත්නමලල

උපුටා ගැනීම “දේශය පුවත්පත”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!