Gossip

ලංකාවේ ගැහැණුන්ගේ බර හොදටම වැඩියි

මගතොටදී කාන්තාවක මුණගැසෙන බොහෝ දෙනකු පවසන ‍පොදු කරුණක් ඇත. ඒ අනේ ඔයා හොඳටම මහත්වෙලානේ යන්නය. එහෙත් එය හුදෙක් ආවාට ගියාට කරනා ප්‍රකාශයක් නොවනා බව දැන් සැබැවින්ම තහවුරුව ඇත. පසුගියදා ජන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ පර්යේෂණයකින්ද අනාවරණය වූයේ මෙරට කාන්තාවන්ගෙන් සියයට 30ක් දෙනා අධි බරින් යුක්ත වන බවය. එම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් සියයට 50ක් බව එම සමීක්ෂණයෙන් වැඩි දුරටත් අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් කාන්තාවන්ගේ ස්ථූලභාවය හෙවත් බර වැඩි වීම ඇය හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආඝාතය හා පිළිකාව වැනි බෝ නොවන රෝග රැසකට ගොදුරු වීම වැළැක්විය නොහැකි බව මේ වන විටත් හෙළිව තිබේ. ශ්‍රී ලංකාවේ පවුල් ඒකක කාන්තාවන් මුල් කර බිහිව ඇති බැවින් නිවසේ මවගේ සෞඛ්‍ය පිරිහීම සමස්ත පවු‍ලේම දියුණුවට බාධාවක් වන බව නොරහසකි.
කාන්තාවකගේ බර වැඩි වීම ආරම්බ වන්නේ වයස අවුරුදු 9 දීය. එනම් පාස‍ලේ හතර, පහ වසරට පිය නැගීමත් සමගය. ඊට ප්‍රධාන හේතුව ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් ආරම්භ වන අධ්‍යාපනයේ තරගකාරී බවය. දරුවන් පුටුවට සීමා කරවන තරගකාරී අධ්‍යාපනය නිසා ඔවුන් රෝගීන් බවට පත්වන බව බොහෝ දෙනා නොසිතන්නේය. ඊට හේතුව එම කාලය තුළ දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙන නමුත් ඔවුන්ගේ ‍පෝෂණයට ලබා දෙන්නේ දෙවන හෝ තුන්වන තැන වීමය. මේ අනුව දරුවන්ට සමබල ආහාර වේලක් ලැබෙන්නේ කලාතුරකිනි. ඔවුන් නිතරම බුක්ති විඳිනුයේ තෙල්, සීනි, ලුණු, පිටි අධික කෑම බිමය. රෝල්ස්, කට්ලට්, බනිස්, බයිට්, පැණි බිම දරුවන්ගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයන් බවට අද පත්ව තිබේ.
එසේ ක්ෂණික හා කෙටි කෑම බිමවලට යොමු වන අතරම ‍පොත පතට පමණක් දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදු වීම තුළ දරුවන්ට සෙල්ලම් කිරීමට විනෝද වීමට කාලයක් නොලැබේ. මේ අනුව ශරීරයට නිසි ව්‍යායාමයක් නොලැබෙන අතර ඔවුන්ගේ ශරීරවල අතිරික්ත කැලරි දහනය කිරීමට නොහැකි වීම ශරීරයේ බර වැඩි වීමට ප්‍රධාන හේතුව වන්නේය.
පාසල් කාලය තුළදී මෙසේ බර වැඩි වන ගැහැනු දරුවන් ක්‍රමයෙන් එම බර අඩු කර ගැනීම වෙනුවට සිදු වන්නේ එම බර තව දුරටත් එසේම පවත්වාගෙන යාම හෝ වැඩි කර ගැනීමය. දරුවන් එකතැන වාඩි වී ක්‍රියාශීලී බවින් ඈත්ව කටයුතු කිරීමෙන් හුරු කර ගන්නා අලස ජීවන රටාවෙන් මිදීමට අකමැත්තක් පෙන්වති. පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ආරම්භ වන අලස ජීවිතය අ‍පොස සාපෙළ , උසස් පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පමණක් නොව ඔවුන්ගේ මුළු ජීවිතය පුරාම පවතිනු ඇත.
ඉන් අනතුරුව කාන්තාවකගේ දෙවන වරට බර වැඩි වන්නේ දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුවය. දරුවෙකු ලැබිමට සිටින කාන්තාවක් දෙදෙනකුට සෑහෙන ආහාර ගත යුතු බව පවසමින් අධිකව ආහාර ලබා දීමට අපේ ඇතැම් වැඩිහිටියෝ පෙළඹෙති. මේ හේතුවෙන් ගර්භණී මව්වරුන්ගෙන් සියයට 25ක් දෙනා අධි බරෙන් යුක්ත බව ද මෑතක කරන ලද සමීක්ෂණවලින් තහවුරුව ඇත.
එපමණක් නොව දරුවා බිහිකළ පසුව දරුවාට කිරි දීමට අවශ්‍ය බව පවසා ගර්භණී කාලය තුළ ලබා දුන් ‍පෝෂණයේ කිසිදු අඩුවක් නොකර ඇතැම් විට ඊටත් වඩා ආහාර ප්‍රමාණයේ වැඩි වීමක් කර එම කාන්තාවට ලබා දේ. මෙසේ ලබා දුන්නද ඇය කය වෙහෙසා දහඩිය පිට වන සේ වැඩ පලක් නොකරන බැවින් කැලරි දහනය අවම තත්ත්වයේ පවතී. මේ තත්ත්වය නිසි ව්‍යායාමයෙන් තොර කල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක් ලාංකික කාන්තාවන්ට ඇති කර තිබේ. එකවර දෙදෙනකුට සෑහෙන්න ආහාර ලබා දීම කිසිසේත් සුදුසු නොවේ. වැදගත්ම කරුණ වනුයේ ලාංකික ආහාර රටාවේ වැඩියෙන් ඇත්තේ පිෂ්ඨය වන නිසා බොහෝ විට අපට ලැබෙනුයේ පිෂ්ඨය මිස ‍ප්‍රෝටීන් නොවීමයි.
කාන්තාවකගේ තුන්වන වරට බර වැඩි වන්නේ වයස අවුරුදු 40 ඉක්ම ගිය පසුවය. සාමාන්‍යයෙන් කාන්තාවගේ පරිවෘත්තීය ක්‍රියාවන් වයස අවුරුදු 40 ඉක්ම යාමත් සමග අඩු වේ. ඒත් සමගම ශරීරයේ හෝමෝනයන්හි ක්‍රියාකාරකම් වෙනස් වීම, ආර්ථව චක්‍රය නතර වීම වැනි හේතු මත කාන්තාවක් තමන් දිනකට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කළ යුතුය. එක් අතකින් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවන් අඩු වීමත් සමග ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණය අඩු කළ යුතුය. එසේම වයස් ගත වීමත් සමග ක්‍රියාශීලීව වැඩ කිරීමට නොහැකි වීම හේතුවන් ද ගන්නා ආහාර ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩු කළ යුතු වන්නේය.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ඉක්ම වන කාන්තාවක් දිනකට ගන්නා ආහාරයේ අන්තර්ගත කැලරි ප්‍රමාණයෙන් 200ක් අඩු කර ගත යුතු වන්නේය. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ අපේ කාන්තාවන් තම ආහාර වේල තුළ අන්තර්ගත කැලරි අඩු කරනවා වෙනුවට සිදු කරන්නේ වැඩි කිරීමය. මේ හේතුවෙන් අපගේ කාන්තාවන් බහුතරයක් වයස් ගත වීමත් සමග බර වැඩි වීමක් පෙන්නුම් කරනු ඇත.
කෙසේ නමුත් අපගේ ඇතැම් වැඩිහිටියන්ගේ මතයක් වී ඇත්තේ වයස්ගත වීමත් සමග හොඳින් ‍පෝෂණය ලබා දිය යුතු බව පවසමින් ආහාර පාන වැඩි වශයෙන් ලබා දේ. ඒත් එහි කිසිදු සත්‍යතාවක් නොමැත. සිදු වන්නේ ශරීරයේ බර වැඩි වීම හා ඒ හරහා රෝගී වීම පමණි.
වැයවන ශක්තිය අනුව ආහාර ලබාගැනීම සඳහා නිසි ‍පෝෂණයෙන් යුත් ආහාර, විධිමත් ප්‍රමාණයකින් ලබා ගැනීම වැනි දේ මගින් නිරෝගිමත් ජීවිතයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!