Gossip

කොරෝනා මඬින මුඛ ආවරණයක් හදුන්වාදුන් සරසවි සිසුවා

ගම්පහ වැලිවේරියේ පදිංචි ධම්මික ප්‍රභාත් කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේ විද්‍යා අංශයෙන් උපාධිය හැදෑරීමටය. භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය යන විෂයන්ගෙන් ඔහු උපාධිය හැදෑරුවත් දේශීයත්වය සහ පාරම්පරික දැනුම ඔහු අමතක කළේ නැත.

යෝධ ඇළ වැනි විශිෂ්ට වාරිකර්මාන්ත සහ මහා ස්ථූප ඉදිකිරීම් තාක්ෂණය ඔහු කවදත් අගය කළේය. විද්‍යා අංශයෙන් උපාධිය හදාරන අතරවාරයේදී පොල්හේන විෂවේද රෝහලෙන් කැඩුම් බිඳුම් සහ විෂ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඔහු තීරණය කළේ එබැවිනි. දේශීය ශාඛසාර යොදාගනිමින් විවිධ නිපැයුම් කරන ධම්මික ප්‍රභාත්ට දේශීය ශාකසාර භාවිත කර මුඛ ආවරණයක් නිර්මාණය කිරීමට මඟ පෑදෙන්නේ මේ දිනවල කතාබහට ලක් වන කොරෝනා වෛරසයත් සමඟය.

“කොරෝනා වෛරස් ව්‍යාප්තියත් එක්ක මුඛ ආවරණ පලඳින්නට ගොඩාක් දෙනා පුරුදු වුණා. ඒ නිසා මුඛ ආවරණවලට ඉල්ලුම වැඩි වුණා. ඒ නිසාම මුඛ ආවරණවල මිල ඉහළ ගියා. තත්ත්වයෙන් බාල නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණියා.

ඒ නිසා මට හිතුණා විෂබීජ නසන දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන අලුත් විදිහේ මුඛ ආවරණයක් නිෂ්පාදනය කරන්න. කොහොමටත් මම විෂහරණ විද්‍යාව ඉගෙනගෙන තියෙන නිසා මම ඒ සඳහා උපයෝගි කර ගන්නා දේශීය අමුද්‍රව්‍ය ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කළා. ඊට පසුවයි ඒ දේවල් පාවිච්චි කරලා බැක්ටීරියා සහ වෛරස් මර්දනය කළ හැකි ඖෂධීය ස්තරයක් සකස් කළේ.” යනුවෙන් පැවසුවේ කැලණිය සරසවියේ විද්‍යා අංශයේ 2 වැනි වසරේ සිසු, ධම්මික ප්‍රභාත්ය.

ඔහු එවැනි ඖෂධීය ස්තර 2ක් අඩු උෂ්ණත්වයක් යටතේ නිෂ්පාදනය කළ අතර කපු රෙද්දකට එම ස්තර 2 සහ දූවිලි පෙරහනයක් යොදා මුඛ ආවරණයක් නිර්මාණය කළේය.

එය හුදු මුඛ ආවරණයක් පමණක් නොව, විෂබීජ සහ වෛරස් මැඬලිය හැකි‍ දේශීය ශාකසාර අඩංගු ඖෂධීය මුඛ ආවරණයක් බව ඔහුගේ අදහස ය. එමෙන්ම ඉතා සියුම් දූවිලි අංශු පවා පෙරහනයේ රැ‍ඳෙන බැවින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා එම මුඛ ආවරණය පාවිච්චි කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කරයි. සාමාන්‍යයෙන් මුඛ ආවරණයක් පාවිච්චි කළ හැක්කේ පැය 8ක් වැනි කාලයක් වුවද මෙය පැය 72ක් පාවිච්චි කළ හැකිය. එමෙන්ම එම මුඛ ආවරණය සෝදා පිරිසුදු කළ හැකිය. මාරු කළ යුතු වන්නේ ඖෂධීය ස්තර දෙක පමණි.

“මම මගේ නව නිර්මාණයට පේටන්ට් බලපත්‍රය අයදුම් කර තිබෙනවා. මට මෙය මහා පරිමාණ නිෂ්පාදනයක් හැටියට කරන්න හැකියාවක් නැහැ.

ඇඟලුම් ක්ෂේත්‍රයේ යාළුවන් කීපදෙනෙක් මට ඉන්නවා. ඒ අය එක්ක එකතු වෙලා එයාලාගේ උදව්වෙන් තමයි මම ඖෂධීය මුඛ ආවරණය නිෂ්පාදනය කරන්නේ. මම වගේ නව නිපැයුම් කරන තවත් අය ඕනෑ තරම් ඉන්නවා.

ඒවා වෙළෙඳපොළට දමන්න ව්‍යවසායකයන් අවශ්‍යයි. ව්‍යවසායකත්වය සහ නව නිපැයුම් එකට එකතු වෙනවා නම් විදේශීය වෙළෙඳපොළට යවන්න පුළුවනි. නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ දක්ෂතා සහ නිෂ්පාදන එළිදක්වා ගත හැකි වැඩපිළිවෙළක් අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කරන ධම්මික ප්‍රභාත් මේ වන විට නව නිපැයුම් කීපයක් නිර්මාණය කළ තරුණයෙකි.

ගොටුකොළ කෝපි, දියවැඩියා රෝගීන් වෙනුවෙන් සකස් කළ කුඹුක් තේ, දුගඳ වහනය නොවන කුණු කූඩය ඔහුගේ නව නිපැයුම් ලෙස හැඳින්විය හැකිය. ධම්මික ප්‍රභාත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!