Gossip

මුස්ලිම් කාන්තාවකගේ අලංකාරත්වය ආවරණය කරන බුර්කාව ඇත්තටම තහනම් කළ යුතුද?

බුර්කාව යනු මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල මෙන්ම දේශපාලන වේදිකාවේද දිගින් දිගටම කතාබහට ලක්වන මාතෘකාවක්. බුර්කාව හේතුවෙන් ත්‍රස්තවාදයට මග පෑදෙන බවත් එය ශ්‍රී ලංකාව තුළ තහනම් කළ යුතු බවත් බොහෝ දෙනෙකු පවසනවා.

ඇත්තටම බුර්කාව කියන්නේ මොකද්ද? මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳිය යුතුමද? බුර්කාව ලෝකයේ තහනම් ඇඳුමක්ද? මේ ගැන ලෝකයේ තියෙන තොරතුරු මොනවාද කියලා අපි හොයලා බැලුවා.

මුස්ලිම් කාන්තාවන් සිරුර ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම ලෝකය පුරාම හඳුනාගත හැකි තත්වයත්. මේ සඳහා ලෝකයේ විවිධ වර්ගයේ ඇඳුම් භාවිතා වනවා. ප්‍රධාන වශයෙන් නිකාබ් ( Niqab) හිජාබ් ( Hijab) බුර්කා (Burka) චදෝර් (Chador) දුපට්ටා (Dupatta) යන නම්වලින් මෙම ඇඳුම් හැඳින්වෙනවා. මෙම ඇඳුම් එකිනෙකට වෙනස් ආකාරයක් ගන්නවා.

නිකාබ් ( Niqab)
මෙය හිසේ සිට දෙපතුල දක්වා වැසෙන ලෙස අඳින දිගු කබායක් වැනි ඇඳුමක්. මෙහිදී හිසත් මුහුණත් ආවරණය කෙරෙන වේල් එකක් පළඳින නමුත් ඇස් ආවරණය කිරීමක් සිදු වන්නේ නැහැ. දෙපතුල දක්වා සිරුර ආවරණය කෙරෙන ඇඳුම Abaya (අභයා) ලෙස හැඳින්වෙනවා.

හිජාබ් ( Hijab)
මෙහිදී සිදුවන්නේ හිස ආවරණය කෙරෙන වේලයක් පැළඳීමයි. කොණ්ඩය සහ බෙල්ල පමණක් ආවරණය වන පරිදි මේ වේලය පළඳිනවා. මුහුණ ආවරණය කිරීමක් මෙහිදී සිදුවන්නේ නැහැ.

බුර්කා (Burka)
මුහුණත් සමග මුළු ශරීරයම ආවරණය කර අඳින ඇඳුමක්. බොහෝ විට දිගු කළු ලෝගුවක් ඇඳ හිස ආවරණය කෙරෙන දිගු කළු වේලයක් පැළඳීම සිදුවනවා. තමාගේ ඉදිරිය පමණක් පෙනෙන පරිදි සිහින් දැලක් ඇස්දෙක ප්‍රදේශයට පමණක් යොදා තිබෙනවා.

චදෝර් (Chador)
හිසේ සිට දෙපතුල දක්වා දිගුවන කබායක් මේ නමින් හැඳින්වෙනවා. බොහෝ ඉරාන ජාතික කාන්තාවන් මේ ඇඳුම පරිහරණය කරනවා. නමුත් මේ ඇඳුමින්ද කාන්තාවගේ මුහුණ ආවරණය වීමක් සිදුවන්නේ නැහැ.

දුපට්ටා (Dupatta)
දිගු Scarf එකකින් හිස සහ උරහිස් ප්‍රදේශය ආවරණය කර තිබීම මෙහිදී සිදු කෙරෙනවා. දකුණු ආසියාවේ බොහෝ රටවල කාන්තාවන් මෙය භාවිත කරන අතර ඔවුන් තමා කැමති තමාට ගැලපෙන ඕනෑම ඇඳුමක් ඇඳ මේ Scarf එක පමණක් පැළඳීම සිදු කරනවා.

මේ වන විට බුර්කාව ත්‍රස්තවාදය පිළිබඳ අවදානමක් දනවන ඇඳුමක් සහ මූලධර්මවාදයේ සංඛේතයක් ලෙස කතාබහ කෙරෙනවා. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ මැද පෙරදිග දේශපාලනය සහ ඉස්ලාමීය අධ්‍යයනය පිළිබඳ ආචාර්යවරියක වන Dr. Raihan Ismail ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍යජාලය සමග සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.

ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන පරිදි ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම සිරුර ආවරණය කරගෙන විනීත ලෙස හැසිරිය යුතුයි. කුරාණයේ කොතැනකවත් විශේෂිත විදිහකට බුර්කාව ඇඳිය යුතු බවක් සඳහන් නොවන්නේ යැයිද ආචාර්යවරිය පවසා තිබෙනවා. සමහර විද්වතුන් මේ පිළිබඳව නොයෙක් තර්ක ඉදිරිපත් කරන බවත් ඇගේ ප්‍රකාශයේ සඳහන් වනවා. කෙසේ නමුත් බුර්කාව හිජාබය හෝ නිකාබය ඇඳීම සංස්කෘතික කාරණයක් මිස ආගමට සම්බන්ධ කාරණයක් නොවන බවත් ඇය වැඩිදුරටත් පවසනවා. බොහෝ විට පිරිමියාගේ බලපෑම මත කාන්තාවන් බුර්කා අඳින බවද අනෙකුත් පිරිමින්ට ඇය නොපෙන්වා තැබීමේ අරමුණින් ඔවුන් මෙලෙස බිරින්දෑවරුන්ට බුර්කා ඇඳීමට බල කරන බවද ඇගේ ප්‍රකාශයේ සඳහන්.

කෙසේනමුත් අන්තර්ජාල වාර්තා අනුව ලෝකයේ රටවල් 13ක් බුර්කාව තහනම් කොට තිබෙනවා. ඒ අතර ඕස්ට්‍රේලියාව, කැනඩාවේ quebee ප්‍රාන්තය, ඩෙන්මාර්කය, ප්‍රංශය, බෙල්ජියම, බල්ගේරියාව, කැමරන් රාජ්‍ය, කොංගෝ ජනරජය, නෙදර්ලන්තය, චීනය, මොරොක්කෝ වැනි රටවල් මේ අතර වනවා. කෙසේනමුත් බුර්කාව වඩා ව්‍යාප්ත වූයේ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වූ තලේබාන් පාලනය සමග බවත් තොරතුරු වාර්තා වනවා.

මේ අතර ලංකාවේ කාන්තාවන් බුර්කාව ඇඳීම සම්බන්ධයෙන් කතාබහට ලක් කිරීමේදී මෙම බුර්කාව මෙරට ව්‍යාප්ත වූයේ මෑත කාලයේ බවට තොරතුරු වාර්තා වනවා. එනම් 2005 වර්ෂයෙන් පසුවයි මෙරට බුර්කාව වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ. කල්එළිය ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ අම්හර් මව්ලවිතුමා මේ බුර්කාව සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නක්.

“ඉස්ලාමයේ කියනවා කාන්තාවගේ අලංකාරත්වය ආවරණය කරන්න කියලා. එය කෙසේ හෝ ආවරණය කිරීමේ වගකීම ඔවුන් සතු බවත් ඔහු සඳහන් කරනවා. එමෙන්ම ඉස්ලාමයේ පැහැදිලිව කියනවා ඔයාගේ ලස්සන පෙන්වන්න ඕන ඔයාගේ ස්වාමියාට පමණයි කියලා. නමුත් කලු ඇඳීම හෝ මුහුණ වැසීම හෝ ඔවුන්ට අනිවාර්ය කිරීම හෝ බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ. ඒක එයාලගේ ස්වාධීන කැමැත්ත. එහෙම යම්කිසි කාන්තාවකට බලපෑමක් වුණොත් එයාලට නීත්‍යානුකූලව කටයුතු කරන්න පුළුවන්” යනුවෙන් ඔහු කියා සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!