Gossip

“අවුරුදු හතරක් කොටි අත්අඩංගුවේ දහ දුක් විඳලා.. ආදරේට කවුරුත් කියන්නේ ‘කොටි සනා’ කියලා” – තෙබුවන පොලිස් රාලහාමි ගැන කවුරුත් නොදන්න සංවේදී කතාව

විටෙක රටේ මහජනතාව පොලීසිය ගැන කතා කරන්නේ මහා ආඩම්බරයෙනි. ඒ අවංක පොලිස් නිලධාරීන් ඇගයීමටය. තවත් විටෙක පොලීසිය ගැන කතා කරන්නේ දැඩි පිළිකුලෙනි; අප්‍රසාදයෙනි. ඒ ඇතැම් පොලිස් නිලධාරීන් සිදු කරන දූෂණ වංචා දැනගන්නට ලැබුණු විටය. කෙසේ වුවත් හොඳ සහ නරක සම සමව ඇති පොලීසියේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සිදු වන අසාධාරණකම්වලදී පොලීසියේ ඉහළ පුටුවත් එම නිලධාරීන් වෙනුවෙන් නැති වීම කොතරම් නම් ඛේදවාචකයක්ද, එහෙත් අවංක නිලධාරීන් අත් නොහරින ගම්මුන් ගැන කොතරම් පැසසුම් කළද මදිය.
ඉකුත්දා තෙබුවන පොලීසියේ වූ සිද්ධිය සොයා පසුගිය දිනෙක අප ඒ ප්‍රදේශයට ගියේ එහි ඇත්ත නැත්ත හා අදාළ සැරයන්වරයාගේ අතීත තෙරතුරුද සෙවීමේ අරමුණිනි.
ඔහු සනත් ගුණවර්ධන. මෙසේ හඳුන්වා දුන්නාට කිසිවකු ඔහු ගැන නොදන්නා බව නොඅනුමානය. එහෙත් ඉකුත් දිනවල තෙබුවන ප්‍රදේශයේ පමණක් නොව රටම කතාබහ කළ බලපත්‍ර නැති වැලි ලොරිය හා සම්බන්ධ පොලිස් නිලධාරියා කියූ විට කාගේත් මතකය අවදි වනු ඇත. තෙබුවන පොලීසියේ ස්ථානාධිපතිවරයා හා ගැටුණු තෙබුවන පොලීසියේ සැරයන් සනත් ගැන මේ කතාවට එහා ගිය තවත් කතා රැසක් ඇත.
විටින් විට පොලීසියේ අසාධාරණවලට ලක් වූ ඔහුට දැන්වත් සාධාරණයක් ඉටු විය යුතුය යන්න ඔහු පිළිබඳ තොරතුරු දන්නා අයගේ අදහස වේ. “සනත් ගුණවර්ධන මහත්තයාගේ ගේ කොහේද?”
තෙබුවන හන්දියේදී බකිනිගහ සෙවණේ සිටි ත්‍රිරෝදරථ රියැදුරන්ගෙන් විමසීමු.
ඔවුහු මුහුණට මුහුණ බලන්නට වූහ. අපි ඔවුන්ට සනත් පිළිබඳ තොරතුරු කියන්නට වූ කල එකිනෙකා හඬ අවදි කරන්නට වූහ.
“ඔය මහත්තයට කවුරුත් කියන්නේ කොටි සනා කියලා. මේ පැත්තේ එහෙම කිව්වම ඔහුව නොදන්නා කෙනෙක් නැහැ. දැන් නම් මේ වැලි කතාව හින්දා ඔහු තවත් ප්‍රසිද්ධයි. ඇත්තටම ඔහු හොඳ කෙනෙක්. ඒ වගේ හොඳ කෙනෙක්ට අසාධාරණයක් වෙන්න දෙන්න බැහැ. අපි දන්න තරමින් ඔහු ළඟ පගා ගැහිලි, කප්පම් ගැනිලි නැහැ. ඒකයි අපි ඔහු වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න එක් වුණේ…”
සිරිල් අයියා, සුරංග, අසංක, ආරි අයියා, මංජුල, අජිත් අයියා, ප්‍රසාද්, අනුර, කෝසල, උපුල්, ගාමිණි හා සුමනේ අයියා ඇතුළු ත්‍රිරෝදරථ ගාලේ සාමාජිකයන් එක හඬින් පවසන්නට වූයේ ගමේ අවංක නිලධාරියා වෙනුවෙන් තමන් පෙනී සිටි ආකාරයයි.
ඔවුන් කියූ මඟ අනුව යමින් අපි අවසානයේ බෝඹුවල ගමේ පිහිටි සනත්ගේ මහගෙදරට ළඟා වීමු.
“පුතා ගෙදර නැහැ… අද එයාට කොළඹ එන්න කියලා තිබුණා, ”
සනත්ගේ මව ඇතුළු පවුලේ සොයුරු-සොයුරියන් අප හා කතා කරන්නට වූයේ තම සොහොයුරාට සිදු වූ අසාධාරණය ගැනය.
“මගෙ අයියා ඉගෙනගන්න දක්ෂයි. අපේ ලොකු අක්කා බීඩි ඔතලා තමයි අයියාට ඉගෙනගන්න වියදම් කළේ. අයියා ක්‍රීඩා කරන්නත් දක්ෂයි. හැම තරගයකින්ම වගේ පාසල් කාලේ පළමු තැන දිනාගත්තා. අයියා මුලින්ම ඉගෙනගත්තේ බෝඹුවල මධ්‍ය මහා විද්‍යාලයේ හා මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ.
සාමාන්‍ය පෙළ විභාගයෙන් අයියා ඩී සාමර්ථ්‍ය අටක් ගත්තා. පාසල් කාලේ ක්‍රීඩාවලට දක්වපු දක්ෂකම් නිසා කවුරුත් ඔහුව හැදින්නුවේ කාල් ලුවිස් කියලා. ඒත් ඉගෙනීම අතරමඟ නතර කරලා අයියා පොලීසියට බැ‍ඳෙන්න තීරණය කළා. අම්මයි තාත්තයි කැමැති වුණෙත් නැහැ. ඒත් අයියා නාවික හමුදාවටයි පොලීසියටයි ඉල්ලුම්පත්‍ර දැම්මා, ඉස්සර වෙන එකට යනවා කියලා.
මුලින්ම ආවේ පොලීසියෙන්. අයියා පොලීසියට බැඳුණා. අපේ අයියාගේ ජීවිතේ හොඳම කාලයෙන් අවුරුදු තුනකට වැඩියෙන් ගෙවිලා ගියේ කොටි අත් අඩංගුවේ.”
සිය සොහොයුරාගේ ජීවිතයේ අතීත මතක සිහිපත් කරන විට සුසන්තගේ නෙතේ කඳුළක් මතු වූයේය. ඒ වන විට ඔහුගේ නිවෙසට රැස්ව සිටි අය සුසුම්ලන්නට වූහ.
“ඒ දවස්වල මේ ගෙවල්වල හොද්දක් බතක් හරිට ඉදුණේ නැහැ; ලාම්පුවක් පත්තු වුණේ නැහැ. පවුලේ අය විතරක් නෙමෙයි, ගමම වැලපි වැලපි හිටියේ සනත් පුතාට වෙච්ච කරදරය නිසා…”
ගැමියකු පවසන්නට වූයේ අතීතයේ ගෙවුණ දවස් ගැනය.
පොලිස් සේවයට බැඳීමෙන් පසු සනත් මුලින්ම අනුයුක්ත වන්නේ බම්බලපිටිය පොලීසියටය. කෙටි කලකින්ම ඔහුට ඔඩ්ඩුසුඩාන් පොලීසියට ස්ථාන මාරුවක් ලැබෙන්නේය. ඒත් එම වසරේම සැප්තැම්බර් මාසයේ 13 වනදා ඔඩ්ඩුසුඩාන් පොලීසිය වට කරන කොටි ත්‍රස්තවාදීහු එහි සිටි නිලධාරීන් 26 දෙනකු අත්අඩංගුවට ගත්හ. ඒ සටන් විරාමය පැවැති කාලය වූ බැවින් පොලිස් නිලධාරීන් සිට ඇත්තේ ආයුධ භාවිතයෙන් තොරවය. අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් මුලින්ම වඩුමඩුමවක රඳවා තැබෙන අතර, ඉන් පසු දම්වැල් දමා අඩි 25ක් පමණ ගැඹුරැති වළක රඳවා තැබෙන්නේය. ජීවිතේ තරුණ වියේදීම කොටි අත්අඩංගුවට පත් සනත් ඇතුළු පිරිස ඒ කාලය තුළ අපා දුක් වින්දහ.
“කොටි අයියලාව අල්ලගත්තට පස්සේ මාස 6ක් විතර යන තුරු අපට කිසිම ආරංචියක් ලැබුණේ නැහැ. කොහොම හරි අපේ බාප්පා කෙනකු අඳුනන මහත්තයෙක් රතු කුරුසයේ වැඩ කරලා තිබුණා. ඔහු තමයි අපට අයියා ජීවතුන් අතර ඉන්නවා කියලා කිව්වේ.
පසුව අයියලාව බේරා‍ගන්න රජය මැදිහත් වුණා.
ලොකු අක්කයි තාත්තයි තමයි අයියව බලන්න ගියේ. අයියා නිදහස් වෙලා ආවේ බොහෝම අසාධ්‍ය තත්‍ත්වයෙන්. කවුරුවත් හිතුවේ නැහැ අයියා ජීවත් වේවි කියලා. එයා එහෙදි විඳපු දුක ගැන අප සමඟ කිව්වා. හරියට කන්න බොන්න ලැබිලා නැහැ. කකුල්වලට දම්වැල් දාලා වෑල්ඩින් කරලා තිබිලා තියෙන්නේ.
ගෙදර එනකොටත් ඒ දම්වැල් පාරවල් තිබුණා. කාලයක් ගියා ඒ තුවාල හොඳ වෙන්න. කැඳ වර්ග, අනපු කෑම එහෙම බාල්දිවල දාලාලු අයියලා හිටපු වළට දාන්නේ.
සමහර දවස්වලට එයාලට තල්පිතිවලින් පහර දෙනවලු. ලේ එන තුවාලවලට දාන්න බෙහෙත් නැති නිසා ඉතිපිසෝ ගාථාව කියලා තුවාලවල කෙළ ගාගන්නවලු.
ඒක තමයිලු එකම බෙහෙත. රතු කුරුසයෙන් එන දවසට විතරලු දම්වැල් ගලවන්නේ. ඒ ගොල්ලෝ ගියාට පසුව ආයෙත් දම වැල් දාලා වෑල්ඩින් කරනවලු…” සනත්ගේ නැඟණිය දීපා ඒ දුක්බර අතීතය සිහිපත් කරමින් පවසන්නීය.
පුතකු අහිමි වීම අම්මා කෙනකු කෙසේ නම් දරාගන්නද? වසර හතරකට ආසන්න කාලයක්, ගෙවන හැම මොහොතකම දැවෙමින් ජීවත් වූ සනත්ගේ මව අදද අතීතය සිහිපත් කරන්ටන් කඳුළු සලමිනි.
“අපි නොගිය පන්සලක්, නොගිය දේවාලයක් මේ රටේ නැතිව ඇති! මම ඔය ගෙවුණ අවුරුදු තුනයි මාස නවයයි දවස් ගණනම දවසක් නෑර බෝධි පූජා තිබ්බා; සෙත්කවි කියෙව්වා. අපේ ඥාතියෙක් මළවුන් ගෙන්නන තැනකටත් ගියා. එත් මම කවදාවත් විශ්වාස කළේ නැහැ මගේ පුතා මැරුණා කියලා. සමහර සාස්ත්‍රකාරයෝ කිව්වා පුතා වළක ඉන්නේ කියලා. මට තිබුණ එකම විශ්වාසය තමයි මගේ කොල්ලා කවදා හරි ගෙදර එනවා කියන එක. ඇස් දෙක පියාගත්තම මම හීනෙන් දකිනවා පුතා වළක ඉන්නවා. කොහොම වුණත් පුතාගෙන් පළවෙනි ලියුම ලැබුණම අපට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ. සමහර ලියුම්වල පුතා බුදු පින්තූර ඇඳලා එවුව‍’. පුතා ඒ ලියුමක මෙහෙම ලියලා තිබුණා මට තාම මතකයි. “මම මේ විදිහට සිර වුණා කියලා ඔයාලා පසුතැවෙන්න එපා. මම කවදා හෝ නිදහස ලබා ගෙදර එනවා…”
පුතා ඇතුළු පිරිස උපවාස කරන්න ගත්තට පස්සේ තමයි එයාලට නිදහස ලැබිලා තිබුණේ. පුතා නිදහස් වෙලා ගෙදර ආව දවසේ ගමම මඟුල් කෑවා.
දවස් විස්සක් විතර ගමේ අය අපේ ගෙදර ආවා. හාල් එළවුළු තුනපහ ගෙනැල්ලා උය උයා එන අයට කන්න දුන්නා. මේ ගමේ හැමෝම එදා වගේම අපිත් එක්ක ඉන්නවා.
මගේ පුතා රාජකාරිය අකුරට කරන කෙනෙක්. මේ ප්‍රශ්නෙදි වුණත් ගම්මු අපිව තනි කළේ නැහැ…”
සනත්ගේ මව වන කමලාවතී පවසන්නේ චීත්තයේ කෙළවරකින් දෑස පිසදමමිනි. සනත් බැලීමට වරක් යාපනයට ගියේ ඔහුගේ පියාය. ඒ අතීතය දැනගැනීමට අප සනත්ගේ පියා ලෙස්ලි සේවය කරමින් සිටි ස්ථානයටද ගියෙමු. පුතු ගැන විමසූ සැණින් ඔහුගේ දෑසේ කඳුළු පිරිණි.
“මගේ පුතා මට ආඩම්බරයක්. එයා අවංක කෙනෙක්. මේ වගේ බොරු වැරදි පැටේව්වාම මගෙ පුතාට තරහ ගියා. ඒ ගැන කියන්න මම දන්නේ එච්චරයි. පුතා කොටි අත්අඩංගුවේ ඉන්න කොට අපි බලන්න ගියා. අපි යන දවසේ එයාලට සුදු අන්දලා ගෙනැල්ලා හිටියේ. එතකොට දම්වැල් දාලා තිබුණේ නැහැ.
අපි පුතාලව හමු වුණේ යාපනයේ සුභාෂ් හෝටලයේ හතර වෙනි තට්ටුවේදී. අප සමඟ සාකච්ඡාවට ආවේ තමිල් සෙල්වම් හා කරිකාලන්. රතුකුරුසය තමයි අප සමඟ සිටියේ. අපට ආවතේව කරන්න හිටියේ අරුප්පල වත්තේ හිටිය සුපවයිසර් කෙනෙක්. ඔහුට හොඳට සිංහල කතා කරන්න පුළුවන්.
එදා පුතාලට හොඳට කන්න දුන්නා. අවුරුදු ගානකින් හරියට කෑමක් නැතිව හිටපු දරුවෝ එදා කාගෙන කාගෙන ගියා.
මගෙ දරුවගෙ බඩ වැල්වල කෑම හිර වුණා. ඒක ලොකු අසනීපයක්. දවස් හතරක් රෝහලේ ප්‍රතිකාර ලැබුවා. මගේ පුතාව යුද සිරකරුවෙක් හැටියට නිදහස් කළා.
පුතා නිදහස් කළා කියලා කියනකොට අපි හිටියේ සුභාෂ් හෝටලයේ හතර වෙනි තට්ටුවේ තිස්පහේ කාමරයේ. කොළඹට ආවට පස්සේ දවස් දහයක් පුතා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලැබුවා. කවුරුවත් හිතුවේ නැහැ පුතා ජීවත් වේවි කියලා. ඒත් අපට අපේ පුතාව ආයෙත් ලබන්න පිනක් තිබුණා.
මම මගේ දරුවා ගැන හොඳට දන්නවා. එයා වැරදි නම් මේ ගමේ කවුරුවත් එයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. අද වෙනකොට මම ආඩම්බර වෙනවා මගේ පුතා අවංක පොලිස් නිලධාරියෙක් වීම ගැන…”
ගෙදරට සම්පතක් වූ, ගමට වීරයකු වූ සනත්ට හිටිහැටියේ කඩාපාත් වූ හෙණය කුමක්ද? සැබැවින්ම මේ රටේ නීතිය අකුරට ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට සිදු වන අසාධාරණය කුමක්ද? මේ සම්බන්ධයෙන් අපි සනත්ගේ සොයුරු සුසන්තගෙන් විමසීමු.
“අපේ අයියා තෙබුවන පොලීසියේ සේවය කරන තුන්වන වතාව තමයි මේ. අයියා පොලිස් බුද්ධි අංශයේ ඉන්නේ. ඔය කියන දවසේ පාන්දර තමයි වැලි ලොරිය අල්ලලා තිබුණේ. එක හේතුවක් තමයි වැලි ලොරිය වහලා තිබිලා නැහැ. අනිත් එක තමයි වැලි පර්මිට් එකේ දින ඉකුත් වී තිබීම. බලපත්‍රය විසි අට වෙනිදායින් අවසන්. අනිත් වැරැද්ද තමයි මේ පුද්ගලයාගේ රියැදුරු බලපත්‍රය නොතිබීම. අයියා පැමිණිල්ල ලියලා ගෙදර ගිහිල්ලා. නිවාඩුවෙන් පසු තුත්වෙනිදා තමයි වැඩට ඇවිත් තියෙන්නේ.
ඒත් උසාවි යන්න බලද්දි ලොරියත් නැහැ, මිනිහත් නැහැලු. මේ සිද්ධියේදි ලොකු මහත්තයා අයියට දොස් කියලා. අර ලොරියේ රියැදුරු අයියගෙන් අහලා “උඹ මට කොළාද!” කියලා.
අයියා සාධාරණව වැඩ කළේ. මගෙ අයියට අසාධාරණය පෙන්වන්න බැහැ. ඔහු ඒ වෙනුවෙනුයි පාරට බැස්සේ. ගමේ මිනිස්සු වගේම මුහුණු පොතේ අයත් අයියා වෙනුවෙන් පෙනී හිටින්න ආවා. ඒ වගේම තමයි එස්ටීඑෆ් මහත්තුරු නැත් නම් මගෙ අයියගේ ජීවිතේ නැහැ. ගමේ මිනිස්සු අයියට හරි ආදරෙයි.
කොටින්ගෙන් නිදහස් වෙලා ආව දවසේ ඉඳලා ගමේ අය අයියාට ආදරේට කිව්වේ කොටි සනා කියලා. පොලීසියෙන් හැදුවේ මගෙ අයියා මානසික රෝගියෙක් කරන්න. ඒත් රෝහලේදී අයියව අඳුනන දොස්තර මහත්තයෙක් නිසයි ඒ වැරැද්ද නිවැරදි වුණේ. පොලීසියේ ලොකු මහත්තුරු මට දොස් කිව්වා.
අයියා රෝගියෙක්, ඔහුව මානසික රෝහලට යවන්න කියලා.
මේ ලොකු මහත්තුරු හැමෝම අයියව වැරදිකරු කරන්න හදන්නේ, ඔවුන් නිවැරදි වෙන්න. පොලීසිය ගැන අපට කිසිම විශ්වාසයක්, පැහැදීමක් නැහැ. අයියාට ඇප දෙන දවසේ උසාවි ගියාම නඩුකාරතුමා කිව්වා මෙහෙම නඩුවක් කතා කරන පළමු අවස්ථාව මේක කියලා.
එදා පොලීසියෙන් ඇවිත් හිටියේ නැහැ; පොලිස් පොතත් නැහැ. දැන් අයියා වැඩ තහනමට ලක් වෙලා ඉන්නේ. ඔහු සහ ඔහුගේ දරුපවුල තමයි අසරණ වුණේ. කොහොම වුණත් අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපේ අයියාට සාධාරණය ඉටු කරන්න කියලා, දූෂිත නිලධාරීන් පලවා හරින්න කියලා.”
ඒ සුසන්තගේ අදහසය. කොහොම නමුත් අද වන විට ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳ රටේ බහුතරයකගේ විශ්වාසයක් පැහැදීමක් නැත. ඒ පොලීසියේ ඇත්තන්ගේ යම් යම් ක්‍රියාපිළිවෙත් ගැන ජනතාව දැනුවත් බැවිනි.
විටෙක නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වන තෙබුවන පොලීසියේ ලොකු පුටුව ගැන දැන් විවිධ කතා ඇත.
ඒ කිසි කතාවක් ඔහුගේ අවංක සේවය ගැන ඇගයීමක් නොවේ. සැබවින්ම ඔහු අවංක නිලධාරියකුද යන්න පිළිබඳ තෙබුවන හා ඒ අවට ගම්මානවල වැසියන්ගේ කතා ඇසූ විට ඕනෑම කෙනකුට තීරණය කිරීමට පුළුවන. එහෙත් නීතිය අකුරට ඉටු කළ කොටි සනා හෙවත් සැරයන් සනත් ගුණවර්ධන පිළිබඳ ඕනෑම කෙනකු පවසනු ඇත.
“සනත් සාජන් මහත්තයා වෙනුවෙන් පාරට බහින්න අපි ඉදිරිපත් වුණේ ඔහු නිවැරදි කෙනෙක් නිසා. ඒක මේ ගමම පිළිගන්න දෙයක්.”
බෝඹුවල ගමේ පදිංචිකාරියක වන චන්ද්‍රා තොටගමුව පැවසුවේ ගම්මුන්ගේ එකමුතුකම ගැන ස්තුති කරමිනි.
සනත් දැන් සිටින්නේ ඇප නිදහසේය. ඒ රැකියාවද අහිමිවය. එමෙන්ම වැලි ලොරිකරුද නිදැල්ලේය. තෙබුවන පොලීසියේ පොලිස් ලොක්කා දැන් සියල්ල විසඳී ඇතැයි සතුටු වනවා ඇත. දැන් විය යුත්තේ නීතිය සර්ව සාධාරණව ක්‍රියාත්මක වීමය.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!