Gossip

“හමුදාවේ සේවයට ආවට හරියට හිතට බයයි. මොකද ජපන්නු හැමදාම එනවා. ඇවිල්ලා කැරකිලා යනවා”පොල් කොටෙන් ජපනුන් බය කළ මුරුතලාවේ ටිකිරිබණ්ඩා – Photos

“ජපන්නු හැමදාම උඩින් ඇවිල්ලා කැරකිලා යනවා. සමහර දවස්වලට බැලූ බැලූ තැන වළවල් හෑරිලා, සුන් බුන් ගොඩක් තමයි හැමදාම උදේට දැක්කේ.
අපිට ලොකු බයක් දැනුණා. අපි ළඟ තිබුණේ ඉතා අඩු කාලතුවක්කු ප්‍රමාණයක්. මගේ අදහසක් අනුව අපි ජපන්නු බය කරන්න කාලතුවක්කු හැදුවා.
ඒ කොහොමද දන්නවද? පොල් කොට කපලා අහස පැත්තට හරවලා. එදා දෙවන ලෝක යුද්දේට අපි මුහුණ දුන්නේ එහෙම තමයි” ලාන්ස් කෝප්‍රල් රාජකරුණා වාසල මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා රාජකරුණා දසක ගණනාවකට ඈත අතීතයක මතක අවදිකරමින් කීවේය. මධ්‍යම පළාතේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මුරුතලාව සුරියගොඩ පදිංචි ඔහු සිය දිවි මඟේ 104 වන සැතපුම් කණුව පසු කළේ පසුගිය අටවැනිදාය.
අටදෙනෙකුගෙන් යුත් පවුලක පස්වැනියා වූ ටිකිරි බණ්ඩා මහතාගේ දෙමාපියන් වූයේ උක්කු බණ්ඩා රාජකරුණා සහ පල්ලිමුල්ලේ වලව්වේ ඩිංගිරි මැණිකේය. ඒ දෙදෙදනා අවුරුදු අසූපහ බැගින් ආයු විඳ මේ වන විට මෙලොව හැරගොස් ඇති අතර ඒ පවුලෙන් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ ටිකිරි බණ්ඩා මහතා සහ ඔහුගේ බාලම නැගණිය අනුලා කුමාරිහාමි පමණකි.
ටිකිරි බණ්ඩා මහතා බ්‍රිතාන්‍ය හමුදාවට බැඳුණු කතාව ඉතා රසවත්ය. ඔහු එම කතාව කියනුයේ අද ඊයෙක වූ අයුරින් වීම ඊට ප්‍රධාන හේතුවයි.
මීට වසර හැත්තෑ හතකට පෙර සිදු වූ මේ කතා මාලාව දින වකවානු සහිතව ඉතා පැහැදිලිව කියා පෑමටද ටිකිරි බණ්ඩා මහතා සමත් විණි.
“මම ගියේ පේරාදෙණිය ඉස්කෝලෙට. පාසල් හැර යෑමේ අවසාන විභාගයත් කළා. විභාගේ කළේ ඉංග්‍රීසියෙන්.
මට මේ නිසා භාෂා දෙකම හොඳට පුළුවන්. විභාගෙන් පස්සේ මම පේරාදෙණිය උද්‍යානයට ගියා වැඩට. ඒ ගිහින් පැළ බද්ධ කරන හැටි ඉගෙන ගත්තා. අවුරුද්දක් දෙකක් මේ විදිහට යනකොට තමයි දෙවන ලෝක යුද්දේ පටන් ගත්තේ. ඒ කාල වකවානුවේ නුවර පොලිසියේ සම්මුඛ පරීක්ෂණ තිබ්බා මාසයකට වතාවක්, බ්‍රිතාන්‍ය හමුදාවට බඳවා ගන්න.
මගේ යාළුවෙක් හිටියා රත්නායක කියලා. අපි දෙන්න බයිසිකල් දෙකක නැගලා මහනුවර පොලිසියට ගියා. එතැනදී අපි දෙන්නව ඉන්ටව් කළා. ඒකෙන් අපි පාස් වුණා. පස්සේ මෙඩිකල් එක තිබුණා. ඒකෙන් මම විතරයි පාස් වුණේ. යාළුවා ෆේල් වුණා. මට අද වගේ මතකයි 1941 මාර්තු මාසේ විසි අට වෙනිදා මට දැනුම් දුන්නා බ්‍රිතාන්‍ය හමුදාවට මා බඳවා ගත්තා කියලා.
මට එතකොට තමයි හිතට බයක් ආවේ. මොකද ගෙදර කවුරුත් දන්නේ නැහැ මේ සිද්ධිය. මම මේක කළේ සෙල්ලමට වගෙයි. දවස් දෙකක් යද්දී රේල් වොරන්ට් එක, ඒ කියන්නේ දුම්රියේ නොමිලේ යන්න ලැබෙන අවසර පත්‍රය මට ලැබුණා. දැන් මොන දෙයියන්ට කියන්නද?
මම මේ කතාව මගේ මල්ලි කෙනෙකුට කිව්වා. එයාට කිව්වා ගෙදර කාටවත් ඇත්ත කතාව කියන්න එපා කියලා. එයා මට පොරොන්දු වුණා කාටවත් කියන්නෙ නෑ කියලා. මම ඊට පස්සේ මහනුවරට ආවා. මාත් එක්ක මේ ගමනට පනස් හතර දෙනෙක් හිටියා. එදා කොළඹ රේල්ලුව තිබුණේ රාත්‍රී 11ට. අන්තිමට මට සිද්ධ වුණා ගෙදරටත් හොරෙන් රේල්ලුවේ නැගලා කොළඹ යන්න. ඔන්න ඔහොමයි සෙල්ලම ලෙල්ලම වෙලා මම බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට බැදුණේ.”
සාමාන්‍ය සෙබළෙකු ලෙස බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට එක්වූ ටිකිරි බණ්ඩා මහතා ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් වීමක් ලැබූ අයුරු, කියා පෑ අයුරුද රසවත්ය.
“හමුදාවේ සේවයට ආවට හරියට හිතට බයයි. මොකද ජපන්නු හැමදාම එනවා.
ඇවිල්ලා කැරකිලා යනවා. ඔය අතරේ අපිව දියතලාවට ගෙනල්ල යුධ හමුදා පුහුණුව ලබා දුන්නා. පුහුණුවෙන් පස්සේ කට්ටියක් ත්‍රිකුණාමලයට දැම්මා.
මාව දැම්මේ කොළඹට. ත්‍රිකුණාමලේ කට්ටිය මුලින්ම ගියා. අපිට යන්න තිබුනේ 1942 අප්‍රේල් 05. එදා මහා පරිමාණයෙන් ජපන්නු කොළඹ ට බෝම්බ දැම්මා. අපිට ඒ නිසා දවස් දෙකක් දියතලාවේම ඉන්න වුණා. ඔක්කොම කඳවුරු වහලා දැම්මා. ඊට පස්සේ අපිව රත්මලානට අරගෙන අවා. ඊළඟට සාන්ත තෝමස් විදුහලට අපිව දැම්මා. එතකොට හතරවැනි බලකායේ මුලස්ථානය විදිහට තමයි මේ ස්ථානය තිබුණේ. පහුවෙනිදා අපිව කණ්ඩායම්වලට බෙදුවා. ඒ බෙදලා එක් එක් ස්ථානවලට දැම්මා. මාව වැටුණෙ රත්මලාන අහස්යත්‍රා තොටුපොළට. හරියටම කොතලාවල මහත්තයාගේ බංගලාව ඉස්සරහට තමයි මාව වැටුණේ. හැම තැනම විනාශ වෙලා තිබු‍ණේ. වළවල් හැරිලා තිබුණා. ඒ වගේම තමයි සුන්බුන්. අහස්යාත්‍රා කොටසුත් ඒ අතර තිබුණා. ලොකු බයකින් තමයි ඒ දවස්වල හිටියේ. රත්මලානේ මාස කීපයක් ඉඳලා දඹුල්ලට ගියා. ඊට පස්සේ ගම්පහට. ගම්පහදී තමයි උසස් වීම ලැබුණේ.
නිකම්ම උසස් වීම දුන්නේ නැහැ. විභාගයක් තිබ්බා. ඉස්කෝලේ භුගෝලය හොඳට කරලා තිබුණු නිසා මට හොදට ලියන්න පුළුවන් වුණා. ඒ නිසා මට ‘ලාන්ස් කෝප්‍රල්’ කියන උසස් වීම ලැබුණා. මේ නිලය ඒ දවස්වල ඉතා උසස්.”
වසර තුනක කාලයක් හමුදා සේවයේ යෙදී ඇති ටිකිරි බණ්ඩා මහතා හමුදා සේවයෙන් ඉවත් වූ අයුරු ද ඔහු බ්‍රිතාන්‍ය හමුදාවට එක් වූ අයුරුද රසවත්ය.
“ජපන්නු උඩින් ඇවිල්ල බෝම්බ දාන නිසා මගේ බය එන්න එන්න වැඩි වුණා. මේ ගැන මම මගේ හොඳම යාළුවෙකුට කිව්වා. එයාගේ නම කිරිදන. එයා මට හමුදාවෙන් ඉවත් වෙන හැටි කියලා දුන්නා. ලියුම ලියන හැටිත් කිව්වා. ඒ ලියලා තාත්ත අතේ අපේ මූලස්ථානෙට ලියුම ඇරියා. ලියුමේ තිබුණේ මම ගැන හිතලා අම්මට හොදටම අසනීප වෙලා කියලා. මගෙන් ප්‍රශ්න කළා. මගෙන් ඇහුවා තමුන්ගේ අවශ්‍යතාවයට නේද මේ ලිපිය ලිව්වේ කියලා. මම නෑම කිව්වා. අන්තිමට මාව හමුදාවෙන් ඉවත් කළා. ඔන්න ඔහොම තමයි අවුරුදු තුනක හමුදා සේවයෙන් මම ඉවත් වුණේ. එදා මම හිටියානම් අවුරුදු දොළහක් අද මට විශ්‍රාම වැටුපක් ලැබෙන්න තිබුණා. මම අයින් වෙද්දී මගේ වැටුප රුපියල් තිස්පහයි. දෙමාපියන්ට හොරෙන් යමක් කරන්න හොඳ නැහැ කියල මට මේ සිදුවීමේදී හොඳට අවබෝධ වුණා.”
යුද්ධය හේතුවෙන් හා රටේ පැවති කාලගුණික තත්වයන් හේතුවෙන් භාණ්ඩ බෙදා හැරීම මේ කාල වකවානුව තුළ කෙරී ඇත්තේ සමුපකාරය කේන්ද්‍ර කරගනිමිනි. සමුපකාරයට රටේ සියලු අවශ්‍යතා සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ග්‍රාමීය වෙළඳසැල්ද පිහිටුවා ඇති අතර එම වෙළඳසැල් වලටද කූපන් හඳුන්වා දී තිබේ. මෙලෙස පිහිටුවා ගත් වෙළඳසැලක් උක්කු බණ්ඩා මහතාට තිබී ඇත. හමුදා සේවයෙන් ඉවත් වූ පසු නැවතත් පේරාදෙණිය උද්‍යානයට පැමිණ සේවය කර එයද එපා වීමෙන් අනතුරුව ටිකිරි බණ්ඩා මහතා තම පියාට අයත් ‘කූපන් කඩේ’ නමින් එවක ප්‍රසිද්ධියට පත් වෙළඳසැළට පැමිණ වයස අවුරුදු අසූපහ වන තෙක් එහි ව්‍යාපාර කටයුතු කර තිබේ.
“මම කඩේ බාර ගනිද්දී මාසයටම එක ලොරියයි බඩු ගෙනාවේ කඩේට. නමුත් මාසයක් යද්දී සතියකට එක ලොරියකුත් මදි වුණා. ඔන්න ඔහොම තමයි මම බිස්නස් වලට ඇත ගැහුවේ.” ටිකිරි බණ්ඩා මහතා බොහෝ ආඩම්බරයෙන් පැවසිය.
මේ වන විට ටිකිරි බණ්ඩා තිස්වන විය පසුකර සිටියේය. විවාහය පිළිබද කිසිදු අදහසක් ඒ වනවිටත් නොතිබුණු හෙයින් ඔහුට විවාහයක් කර දීමට දෙමාපියනට මැදිහත් වීමට සිදු විණි. මේ සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් වුවත් ටිකිරිබණ්ඩා මහතා ඒ යෝජනා පිළිබද වැඩි අවධානයක් ලබා නොදීම හේතුවෙන් ටිකිරිබණ්ඩාගේ ඇවැස්ස නෑනා යෝජනා කිරීමට දෙමාපියන් තීරණය කර ඇත. ඔහු ඊට එක පයින් කැමති විය. අද අනූඑක්වන වියේ පසුවන, එදා මනමාලිය වූ පල්ලෙමුල්ලේ වලව්වේ පුංචි කුමාරිහාමි එදා තමන් මුහුණ දුන් අත්දැකීම කියා පැවේ ලැජ්ජාව මුසු සිනහවක්ද මුවගට නගා ගනිමිනි.
“මේ යෝජනාව එද්දී මට වයස අවුරුදු 17යි. මම ඒ වෙද්දීත් ඉස්කෝලේ යනවා. මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ඉක්මනට විවාහ වෙන්නෙ. නමුත් මම දෙමාපියන්ගේ තීරණයට එකඟ වුණා. අද වගේ නෙමෙයි ඒ දවස්වල අප්පච්චි, අම්මා යමක් කිව්වා නම් ඊට උඩින් එක වචනයක්වත් අපේ කටින් පිට වුණේ නැහැ. ඒ තරම් දෙමාපියනට ආදරයක්, ගෞරවයක්, බියක් තිබුණා. අද මේ සමාජය පිරිහෙන්නත් ප්‍රධාන හේතුව දෙමාපියන්ට ගරු නොකිරීම ආදරය නොකිරීම. අද අපි දෙන්නව අපේ දරුවෝ හොඳින් රැක බලා ගන්නවා. ඒ අපි අපේ දෙමාපියන්ට හොදින් සලකපු නිසයි. අපි දෙමාපියන්ට සලකන ආකාරය අපේ දරුවෝ දැක්කා .ඒ වගේ තමයි අපේ දරුවන්ගේ දරුවොත් අපේ දරුවන්ට සලකන්නේ. මේක දම්වැලක්. එක තැනකින් හරි කැඩුණොත් ඉවරයි.”
මේ දෙපළට දරුවන් දසදෙනෙක් ලැබෙන අතර මේ වන විට දුරු මුනුපුරන්ද ඇතුළුව පරපුර හැටකට ආසන්නය. මේ පවුලේ වැඩිමලා වන්නේ පද්මිණි රාජකරුණා මහත්මියයි. ඇය මේ වන විට හැත්තෑ තුන්වන වියේ පසුවෙයි. අනෙක් දරුවන් වන්නේ චන්ද්‍රානි රාජකරුණා (70), නාලනී රාජකරුණා (68), විශ්‍රාමික ගුරු, ඥානසිරි රාජකරුණා (මියගොස් ඇත), මද්දුමබණ්ඩාර රාජකරුණා (64- මහවැලි අධිකාරියේ ගණකාධිකාරී විශ්‍රාමික), රන්ජනී රාජකරුණා (මියගොස් ඇත), අනුර රාජකරුණා (59 – සහකාර ගණකාධිකාරී) , සිසිර රාජකරුණා (57- හමුදා නිලධාරී විශ්‍රාමික), තුසිත රාජකරුණා (55 -ඔස්ට්‍රේලියාව), අශෝක රාජකරුණා (මියගොස් ඇත).
ටිකිරිබණ්ඩා මහතා හෙළ වෙදකමටද ඇලුම් කළ තැනැත්තෙකි. ඒ හෙයින් පවුලේ අයකුගේ අසනීපයකදී ඉංග්‍රීසි වෙදකමට මුල් තැන දී නොමැති අතර සිංහල පාරම්පරික වෙදකමේ පිහිට පතා තිබේ. කුඩා අවධියේ තුවාලයක් වූ අවස්ථාවේ තම පියා තමනට කළ ප්‍රතිකාරයක් අනුර රාජකරුණා මහතා සිහිපත් කළේ මෙලෙසයි. “මගේ ඇඟිල්ලක් ගලක වැදිලා තුවාල වුණා. පප්පා ඉක්මනට එළබටු දලුයි සුදුලූනුයි කොටලා ඉස්ම ටික තුවාලයට දාල රොඩු ටික තුවාලයට තියල බැන්දා. එකෙන්ම තුවාලය හොඳ වුණා.”
බොහෝ වේලාවක් ටිකිරිබණ්ඩා මහතාගේ නිවසේ සිටි කාලය මට නොදැනිණි. තවත් සිටීමට හැකි වුණා නම් තවත් බොහෝ දේ දැනගැනීමට හැකි වනු ඇත.
එහෙත් යා යුතුවම ඇත. තවත් දවසක පැමිණෙන බව කියමින් ටිකිරිබණ්ඩා මහතාගේ දෙපා නැමද අවසර ඉල්ලීමි. පියෙකු තම දරුවෙකු සිප වැලඳ ගන්නා අයුරින් ටිකිරිබණ්ඩා මහතා මා වැලඳ ගෙන සිපගත්තේය. මගේ පියා හෝ මා මෙලෙස සිප ගත කාලයක් මගේ මතකයේ නොමැත. “පුතේ, ආයේ මාව බලන්න එන්න. දළදා පෙරහැර බලන්න අවොත් මෙහෙ නවතින්නත් පුළුවන්.” ඒ ටිකිරිබණ්ඩා මහතාගේ ආදරණීය ආරාධනයයි.

ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!