Gossip

සබන් වතුර තියෙනවානම් වෙනින් තැනකින් වළක්‌ හාරලා බොන්න වතුර ගන්නවා – වැල්ල හාරලා වතුර බොන ලංකාවේ ගම

වෙඩි හඬ දෝංකාරය දෙද්දී ගම්වැසියන් බියේ සලිත වන්නට වූහ. විටෙක ගම වටකොට මෝටාර් උණ්‌ඩ එක පිට එක වැටෙන්නට විය. කෑමොර දෙමින් ගම්වැස්‌සෝ පණ බේරා ගන්නට ඔබමොබ දුවන්නට වූහ. කොටි කලබල පැවති සමයේ වසර ගණනාවක්‌ මෙම ගම්මානයේ ජනතාව ජීවත් වූයේ දියෙන් ගොඩගත් මාළුවන්සේ බයෙන් ගැහෙමිනි. මේ කතාන්දරය අපි සටහන් තබන්නේ බක්‌මිටියාව ගම්මානය ගැනය.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මෙම ගම්මානයට අදට ද ලැබෙන්නේ කුඩම්මාගේ සැළකිලිය. වායු සමනය කළ කාමරවල සිටින සුපින්වත් නිලධාරී මහත්වරුන්ට මෙම ගම්මානයේ ජනතාවගේ දුක දැනෙන්නේ නැති නිසාදෝ මෙම ජනතාව අදටත් අන්ත අසරණය. බීමට දිය පොදක්‌ නොමැතිව මෙම ගම්මානයේ ජනතාව අදටද දූවිලිගලඔයේ වැලිතලාව හාරා සකස්‌ කරගන්නා පූ වළකින් (දිය සිඳී ගිය තැනක වැලි තලාව හාරා සකස්‌ කරන වළවල්) දිය නාති. පිපාසයට දිය පොදක්‌ බොති.

මේ ගම්මානයේ ජනයා විඳි දුක අනත්තය අපමණය. කොටින්ගෙන් මෙන්ම ඇතැම් අවස්‌ථා වල ආරක්‌ෂාවට සිටි ඇතැමුන්ගේ නොපනත්කම්ද මේ ගම්වාසීන්ට දරා ගැනීමට සිදුවූහ. ඒවා සඳහන් කිරීමට ඇතැමුන් අදට ද බිය වෙති.

අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 60 කට ආසන්න දුරින් මෙම ගම්පියස පිහිටා තිබේ. හිගුරාණ නගරය පසුකර මාන්තොට්‌ටම හරහා පන්නල්ගමට ගොස්‌ එතැන් සිට ගුරු පාරේ තවත් කිලෝ මීටර් හතක්‌ ගිය කල්හි මෙම බක්‌මිටියාව ගමට සේන්දු විය හැක. මේ ගම වටව ඇත්තේ ඝන වනාන්තරයෙනි. එක්‌ පසෙක කොටින්ගේ මහා බලකොටුවක්‌වූ කංචිකුඩිආරු කොටි කඳවුරය. කඳු කිහිපයකින් වටවූ මෙම ගම් පියස සැබැවින්ම සුන්දරය. ගම සුන්දර වුවත් ජනතාවගේ දිවිය නම් දැඩිසේ දුෂ්කරය. අදට ද ඔවුන් කන්නේද මහා කට්‌ටකි.

කොටි කලබල සමයේ මෙම ගම්මානයේ වෙඩි උණ්‌ඩයට සහ බෝම්බ පහරට ලක්‌ව තිහකට ආසන්න ජනතාවක්‌ විටින් විට මරු තුරුළට යන්නට වූහ. තවත් දහ පහළොස්‌ දෙනෙක්‌ අතුරුදහන්ව අදටද තොරතුරක්‌ නොමැතිව ඇත.

පන්නල්ගම හන්දියෙන් හැරී මෙම මාර්ගයේ අපි ගියෙමු. වැසි දියට වළවල් හෑරී මාර්ගයේ ගමන් ගෙන තිබූ නිසා කාණු සෑදී ඇත. තවත් තැනෙක පිරී ඇති වැලි තලාව නිසා අපට යතුරුපැදියෙන්ද යැම දුෂ්කරව තිබුණි. ඒ යන අතරවාරයේ පා ගමනින් ගිය කිහිප දෙනෙක්‌ද අපට හමු විය. ඒ බස්‌ රථයත් ගමට නිතර දෙවෙලේ එන්නේ නැති නිසාය. එම නිසා දහවල් කාලයේ මොවුන්ට ගමට එන්නට ප්‍රවාහන පහසුකමක්‌ නොමැත. බස්‌ නොමැතිදාට බොහෝ දෙනකු කිලෝමීටර් හත අටක්‌ යන්නේ දෙපාවරුවෙනි.

මෙම ගම්මානයේ පවුල් 211ක්‌ පමණ ජීවත්වෙති. බක්‌මීටියාව පාසලේ ගුරු හිඟයක්‌ තිබුණ ද එම ගුරුවරු මෙම සිසු දරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීමට මහත් වෙහසක්‌ ගනිති. ටියුෂන් නැති නිසා රෑ බෝවනතෙක්‌ අකුරු කියා දෙති. බක්‌මිටියාව පාසලේ දරුවෝ වරෙක සමස්‌ත ලංකා වොලිබෝල් තරගාවලියකින් දෙවැනි ස්‌ථානය හිමිකරගත්තේ තමන්ගේ ක්‍රීඩා කුසලතාවය ලොවට පෙන්වා දෙමිනි. මෙම ගමට ඇති ගමන් දුෂ්කරතාවය නිසාවෙන් රාජ්‍ය නිලධාරීන් ද ගමට එන්නේ ඉතා අඩුවෙනි.

ගමේ පොදු වැඩවලදී නිරන්තරයෙන් ඉදිරියෙන් සිටින එස්‌.එම්. බංඩාර මහතා අපට කිවේ මෙවැනි කථාවකි.

ගමට එන්න පාර හදලා නැති එක ප්‍රධාන ගැටලුවක්‌ වෙලා තියෙන්නේ. ඒ නිසා ගමේ අය පුදුම දුකක්‌ විඳින්නේ. පායන කාලෙට පාරේ වළවල්. කාණු පිරිලා. පාරේ සමහර තැන්වල වැලි පිරිලා පාරේ එන්න බැහැ. වැසි දාට එකම මඩ වගුරක්‌. එතකොට මේ මාර්ගයේ වාහනයකට තබා යතුරු පැදියකටවත් යනවා බොරු. පුදුම කරදරයක්‌ ඒ දවස්‌වල මෙම ගම්මානයේ ජනතාව විඳින්නේ. ගමට පුද්ගලික බස්‌ රථයක්‌ සහ ලංගම බස්‌ රථයක්‌ ආවත් නිතරම නැහැ. වැසි දවස්‌වලනම් එම බස්‌ රථ එන්නේම නැහැ බක්‌මිටියාව ඉඳන් අම්පාරට යන්න රුපියල් සියයක්‌ ගන්නවා. හරියට අම්පාරේ ඉඳන් මොනරාගලට යන දුර වගේ. රෑට ලෙඩක්‌ හැදුන අයෙක්‌ රෝහලට ගෙනි යන්න විදිහක්‌ නැහැ. පාරේ අලි ඉන්නවා. සමහර වෙලාවට රෝහලට ගෙනයන වෙලාවට ලෙඩුන් අතරමගදී මැරෙන අවස්‌ථාත් තියෙනවා. සමහර වෙලාවට බබාලා හම්බවෙන අම්මලා ඉස්‌පිරිතාලෙට රැගෙන යන අවස්‌ථාවේදී අතර මගදී ට්‍රැක්‌ටර්වල බබා හම්බවුණ අවස්‌ථාත් තිබ්බා. ගමේ සායන මධ්‍යස්‌ථානයක්‌ තිබ්බත් මාසයට වතාවක්‌ පමණයි එතන රාජකාරි සිදුවන්නේ. ගමේ හැම දේකටම පිහිට වෙන්නේ බක්‌මිටියාව යුධ හමුදා කඳවුරයි. තුවාලයකට බෙහෙත් ටිකක්‌ දාගන්න එහෙම නැත්නම් ඔළුවේ කැක්‌කුමකට පැනඩොල් පෙත්තක්‌ ඉල්ලා ගන්නේ ගමේ අය හමුදාවෙන්. ඉස්‌සර රෑක ලෙඩක්‌ හැදුණොත් කැම්ප් එකේ අය ජීප් එකෙන් ඉස්‌පිරිතාලෙට අරන් යනවා. දැන් හමුදා කෑම්ප් එක තිබ්බත් ජීප් එකක්‌ නැහැ. ඒක නිසා ලෙඩ වන අය අරන් යන්නේ ගොඩක්‌ වෙලාවට ට්‍රැක්‌ටරයක දාගෙනයි යනුවෙන් බංඩාර ගමේ අඩුපාඩු පිළිබඳව කියාගෙන යන්නට වූවේය.

බක්‌මිටියාව සිට බෙහෙත් ටිකක්‌ ගන්නට කිලෝමීටර් 08 කට වැඩි දුරකින් ඇති පන්නල්ගම ඩිස්‌පෙන්සරියට යා යුතුය. නමුත් හදිසි ලෙඩෙක්‌ නම් කිලෝමීටර් 15 කට අධික දුරක්‌ ගෙවා යා යුත්තේ තොට්‌ටම රෝහලටය. මහ රෑක වන අලින් මැදින් ට්‍රැක්‌ටරයක පටවාගෙන රෝගීන් තෝට්‌ටමට රැගෙන යන විට ලෙඩා විටෙක මරු තුරුලේය.

අපි පසුව පා තැබුවේ දිය සිඳී ගිය දුවිලිගලඔය වැලි තලාව මතින්ය. නමුත් අපි දුටු දෙයින් කම්පිතව ගියෙමු. බක්‌මිටියාව ගම්මානයේ ජනයා දුවිලිගලඔයේ වැලි හාරා දිය නාමින් සිටිති. වැල්ල හාරා බැරලයක්‌ බස්‌සවා ගෙන සාදාගත් පුංචි ළිඳකින් කුඩා දරුවෙකු දිය නාගන්නා අයුරු දැක අප මහත් පුදුමයට පත්වූහ. අවුරුදු තුන හතරක්‌ මේ පුංචි කොලු පැට්‌ටා එම බැරලයට බාල්දියක්‌ දමා බරයි බරයි කියමින් ඉතා අපහසුවෙන් ඔසවා හිසේ සිට ඇඟට හලා ගත්තේය. මේ ආකාරයෙන් කටුක පරිසරයට එම දරවෝද පුංචි කාලයේ සිට හුරු වෙමින් සිටිති.

වැල්ලේ හාරා ගත් වළෙන් දිය නාමින් සිටි පී. පොඩිමහත්තයා මෙසේ කීවේය.

හැම නියං කාලේම අපි වතුර නැතිව පුදුම දුකක්‌ විඳින්නේ. හැම වසරකම මාස 06 ක්‌ විතර මේ වැල්ල හාරලා වතුර අරන් තමයි නාන්නේ, බොන්නේ. නමුත් අපිට කවදාවත්ම රජයෙන් වතුර බවුසරයක්‌ ගෙනල්ලා වතුර ටිකක්‌ ගෙනල්ලා දෙන්නේ නැහැ. ගමේ තියෙන ළිං හිඳෙනවා පායන කාලෙට. වෙනදා නම් මේ දවස්‌වල ඔයේ වතුර තියෙනවා. නමුත් මේ වැසි කාලේ වුණත් වැස්‌ස නැහැ. ඒ නිසා ඔයේ වතුරත් නැහැ. පුදුම දුකක්‌ විඳින්නේ. පිං සිදුවෙනවා අඩුම තරමින් බොන්නවත් වතුර ටිකක්‌ ගෙනත් දෙනවා නම් අපට ඒ ඇති යනුවෙන් ඔහු පවසා සිටියේය.

පි. ස්‌වර්ණලතා මෙසේ කියන්නීය.

ගමේ මූලික පහසුකම් මොනවත් නැහැ. සායන මධ්‍යස්‌ථානයක්‌ තිබ්බත් ගැබිනි අයටයි ළමයින්ගේ කටයුතුයි සිදු කරන්නේ. එම නිසා පන්නල්ගමට නැතිනම් තොට්‌ටමට තමයි ලෙඩක්‌ හැදුනම යන්න වෙන්නේ. පායන කාලේට වතුර නැතිව අපි මහා දුකක්‌ විඳිනවා. කිලෝ මීටරයක්‌ වැනි දුරක්‌ වතුර අදින්න වෙනවා. බක්‌මිටියාවේ අපි පුදුම දුකක්‌ විඳින්නේ. නමුත් රජයේ නිලධාරීන්ගේ කිසි අවධානයක්‌ අපට නැහැ. අපේ දුක ඒ අයට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපිට හැමදාම දුක්‌ විඳ විඳ ඉන්න වෙලා.

ඒ. මුණසිංද අපත් සමග මෙසේ කීවේය.

අපිට තිබෙන එකම පිහිට යුධ හමුදා කඳවුර තමයි. ගමට අලි ඇවිල්ලා ගෙවල් කැඩුවත් හමුදාවේ මහත්වරු තමයි පිහිටට එන්නේ. පසුගිය දවස්‌වල ගෙවල් 05 ක්‌ අලි කැඩුවා. වන අලින්ගෙන් පුදුම කරදරයක්‌ තියෙන්නේ. දැන් සති කිහිපයකට කලින් අලි වැටක්‌ ගැහුවා. ඒත් හිටපු ගමන් අලි වැට කඩා ගෙන අලි ගම්වදිනවා. පසුගිය මහ පෑවිල්ලට ඔයේ අඩි 10 ක්‌ විතර වැල්ල හාරලා තමයි වතුර ගත්තේ. වැසි කිහිපයක්‌ ගිය නිසා දැන්නම් අඩි හතරක්‌ පහක්‌ හාරද්දී වතුර තියෙනවා. ඒත් ඒ වතුර බොන්න අමාරුයි. මඩ රහ එනවා. අපි ඉල්ලා සිටිනවා දමන ප්‍රාදේශීය සභාවෙන් හෝ දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට බොන්නවත් වතුර ටිකක්‌ දෙන්න කියලා. අපේ ගමට විදුලිය ආවා. හැබැයි මට විදුලිය ගන්නවත් විදිහක්‌ නැහැ. පුළුවන් නම් විදුලිය ගන්න මට කවුරු හරි උදව් කරන්න. පිං සිද්ධ වෙනවා යනුවෙන් ඔහු කීවේය.

වැල්ල හාරා වතුර ගෙන බොමින් නැවතත් ඒ වතුර හිස්‌ කර එම ජලයේ රස බලමින් සිටි කතක්‌ දුටුවෙමි. ඇයි වතුර රස බල බල ඉන්නේ මා ඇසුවෙමි.

අනේ මහත්තයෝ අපි මේ වැල්ල හරලා වතුර බොන්න ගද්දී සමහර වෙලාවට සබන් රහ එනවා. නාලා සබන් වතුර වැල්ලට දැමුවම ඒ වතුර බොන්න ගන්න වතුර වලවල් වලට උනනවා. එතකොට ඒවා බොන්න බැහැ. ඒ සබන් වතුර යනකම් ඒ වතුර වළවල් හිස්‌ කරන්න වෙනවා. එහෙම නැත්නම් වෙනින් තැනකින් ආයි වළක්‌ හාරලා බොන්න වතුර ගන්නවා. මේ විදිහට තමයි මහත්තයෝ අපි හැම නියං කාලේම වතුර බොන්නේ. අපි විඳින දුක කාටවත් පේන්නේ නැහැ. අපේ දුක දැනෙන්නේ නැහැ. යනුවෙන් එස්‌. අමරාවතී මහත්මිය තවත් කථාවක්‌ අපට කීවාය.

මෙම බක්‌මිටියාව ගම්මානය මීරාහල, කුඹුක්‌ගොල්ල, බක්‌මිටියාව සහ කිව්ලේවත්ත යනුවෙන් කොටස්‌ කිහිපයකට වෙන්ව ඇත. මේ සියලු දෙනාගේ ජීවනෝපාය වන්නේ හේන් වගාවය. තවත් පිරිසක්‌ සිවිල් ආරක්‌ෂකයන් ලෙස කටයුතු කරමින් සිටිති. ගමේ තිබෙන වැවේ පිටවාන කැඩී බොහෝ කල්ය. නමුත් තවමත් සාදා නැත. ඒ නිසා කරමැටියාය වගාබිම් සියල්ලම වගේ පුරන්ව ගොස්‌ ඇත. කොටි කලබල සමයේ බක්‌මිටියාව මුකලන්යාය, කුඹුරුයාය අත්හැරලා ගම්වාසීන් ඵය බේරාගන්න ආවා. ඒ ඉඩම්වලට බලපත්‍ර, ඔප්පු තියෙනවා. නමුත් දැන් ඒවාත් වන සංරක්‌ෂණ එකෙන් කැලයට කරලා මායින් දාලා තියෙනවා. ඒ නිසා අපේ ගමේ අයට ඒවාට යන්න බැහැ. වගා කරන්න විදිහක්‌ නැහැ. එහෙම වුණාට බක්‌මිටියාව මහ කැලේ පිටින් ආපු අය අක්‌කර තිහ හතළිහ කැලේ කොටලා වගා කරද්දී මහා පරිමාණ ලී කපද්දී වන සංරක්‌ෂණය නිහඬව ඉන්නවා යෑයි තවත් ගම්වැසියන් පිරිසක්‌ අපත් සමඟ පවසා සිටියේය.

මෙම බක්‌මිටියාව පන්නල්ගම මාර්ගයේ පැති බැම්මක්‌ සාදා පස්‌ පිරවීමට කොන්ත්‍රාත්කාරයෙක්‌ කටයුතු කළද මිටර් සියයක්‌ පමණ පැති බැම්ම සාදා තිබුණ ද පස්‌ පුරවා නැත. තවත් ස්‌ථානයක පැන්නුම් පාළමක්‌ දමන්නට මුදල් වෙන්කර තිබුණත් එය සකස්‌ කර නොතිබුණි. එම කාර්ය සිදු නොකර මුදල් කොන්ත්‍රාක්‌කරුවන් විසින් ලබාගෙන ඇතැයි අපට තොරතුරු අනාවරණය විය.

ගමේ බාහිර ගැමි සුන්දරතාවය යටින් මහා දුක්‌ කන්දක්‌ සැඟව ඇත. කොටි සමයේ වනපෙතට කොටුව සිටි මෙම ගම් පියසට රාජ්‍ය නිලධාරීන් පා තැබුවේ ඉඳහිටය. ඒනිසා ඇතැම් කාලවල සිටි ඇතැම් ආරක්‌ෂක අංශ නිසා මෙම ගම්මානයේ ජනයාට බොහෝ නොපනත්කම් සිදුවූ බව ඇතැමුන් අපට කීහ. ඇතැම් ආරක්‌ෂක අංශවල පිරිස්‌ මාරුවක්‌ එන විට යුද්ධය නිර්මාණය කළා. යනුවෙන් තවත් අයෙක්‌ කීය. නමුත් ගම්වැස්‌සෝ බොහෝ දෙනකු වාගේ කීවේ මෙවැනි කථාවකි. යුධ හමුදාව අවාට පස්‌සේ කොටි කරදර නැතිවුණා. අපිට හමුදාව පුදුම විදිහට උදව් කරනවා යෑයි කියාය. ඒ ඉන් පෙර සිටි ආරක්‌ෂක අංශවලින් බැටකෑ අයුරු ඔවුනට මතක ඇති නිසාවෙනි.

මෙම ජනයා බොන්නේ ඉතා අපිරිසිදුවූ ජලයයි. නමුත් මෙම ගමට ළිං දෙකක්‌ වත් සාදා වතුර ගැනීමට ක්‍රමවේදයක්‌ නැත්තේය. වගා ළිං කහිපයක්‌ හෝ ගසා ආර්ථීකය දියුණු කිරීමට වැඩපිළවෙළක්‌ ද නැත්තේය. ඒ නිසා ඇතැමුන් වනයට වැදී කැලේ කොටා හෝ හේනක්‌ කර ජීවත් වෙන්නට උත්සාහ දරමින් සිටිති. මේවාට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ඇත. පහසුම් සහිතව යාන වාහනවලින් ඔබමොබ යන මහ එවුන් නඩයට මෙම ගම්මානය ගැන පේන්නේ නැත. අඩුම තරමින් මෙම ගම්මානයේ ජනයාට වකුගඩු දෙකවත් බේරා ගන්නට පිරිසිදු වතුර බිඳක්‌ ලබා දෙන්නටවත් සානුකම්පිත නිලධාරියෙක්‌ නොමැති වීම මෙම ගම්මානයේම ජනතාවගේම කරුමයකි.

උපුටා ගැනීමකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!