Gossip

සත පනහක් මිට මොලවාගෙන කොළඹට ආපු ජයගිරි මුදලාලි නතර වුණු තැන

එතෙක් ප්‍රභූ පැලැන්තියට සීමාව තිබූ බැංකු කටයුතු ගොවි, කම්කරු, ලිපිකරු, ගුරුවරු වැනි සාමාන්‍ය පන්තියේ මිනිසුන්ටද විවෘත කිරීම සඳහා 1961 ජූලි 01 දින ආරම්භ වූ මහජන බැංකුව, සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ ටී.බි. ඉලංගරත්න ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් ස්ථාපිත කළ එකක් විය.
මුල්ම සභාපතිවරයා වූයේ සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ පියා වූ වින්සන්ට් සුබසිංහය. මහජන බැංකුවේ ප්‍රථම සාමාන්‍යාධිකාරී වරයා ඩබ්ලිව්. එම්. සොලමන්ය.
මුල්ම මහජන බැංකු ශාඛාව පිහිට වූයේ කොළඹ යූනියන් පෙදෙසේය.
සාමාන්‍ය මිනිසුන් සඳහා පිහිට වූ මහජන බැංකුවේ පළමු ගනුදෙනු කරුවා සඳහා මහජන බැංකුවෙන් ආරාධනය ලැබිමේ වාසනාව හිමි වූයේ සත පනහක් මිට මොලවාගෙන කොළඹට පැමිණ ‘ජයගිරි’ යනුවෙන් ප්‍රවාහන සේවය ඇතුළු ව්‍යාපාර ජාලයක හිමිකරු වූ කලපුගේ දොන් ජිනසෝම ජයතිලක හෙවත් ජයගිරි මුදලාලිටය. මහජන බැංකුවේ ප්‍රථම සාමාන්‍ය අධිකාරි ඩබ්ලිව්. එම්. සොලමන් බම්බලපිටිය ගාලු පාරේ ජයගිරි ව්‍යාපාර මූලස්ථානයටම පැමිණ එම ආරාධනය කළේය.
මහජන බැංකුවේ ප්‍රථම ගනුදෙනු කරුවා ලෙස ජයගිරි මුදලාලිට ලැබුණේ 4997 අංකයයි.
ඔවුන්ගේ ගිණුම ලෙස එම අංකයට පෙර සහ පසුව තවත් අංක කීපයක් සහිතව එම අංකය අදටත් භාවිත වෙයි. මහජන බැංකුවේ මෙම පළමු ගනුදෙනු කරුවා ගැන නැවත ලියන්නට නිමිත්ත සකස් කර දුන්නේ පසුගියදා ඔහු මියගිය නිසාය.
1923 නොවැම්බර් දහහත්වන දින වාද්දුව මොරොන්තුඩුවේ උපන් කලපුගේ දොන් ජිනසෝම ජයතිලක පවු‍ලේ බාලයා විය. අට දෙනකුගෙන් යුක්ත වූ මෙම පවු‍ලේ පියා නිකුලස් ජයතිලකය. මව ජේන් නෝනාය.
වාද්දුව මහා විදුහ‍ලේ අට වෙනි පන්තිය දක්වා ඉගෙනුම ලැබූ ජිනසෝම තමන්ගේ අනාගත සෞභාග්‍යය සොයා කොළඹට ආවේය. වයස දහ හතරේදී කොළඹට එන ජිනසෝමගේ අතෙහි සන්තකයටම තිබුණේ ශත පනහක මුදලක් පමණි.
මේ වන විට ජිනසෝමගේ වැඩිමහල් සොහොයුරෙකු වූ ජූලියස් ජයතිලක බම්බලපිටිය හන්දියේ ආහාර සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. ඒ තුඩාවේ ඉදිකිරීම් ආයතනයේ සේවකයන්ට ආහාර සැපයීම සඳහාය. පසුව එම ව්‍යාපාරය දියුණු වී බම්බලපිටියේ ජයගිරි හෝටලය ආරම්භ විය.
තම සහෝදරයාගේ හෝටල් ව්‍යාපාරයට සහාය වෙමින් සිටි ජිනසෝම ටික කාලයකින් එම හෝටලයට යාබද ගොඩනැගිල්‍ලේ ජයගිරි ස්ටෝර්ස් යනුවෙන් වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කළේය. ජයගිරි ස්ටෝර්ස් බම්බලපිටිය අවට ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය විය.
පහසු මිලට පාරිභෝගික භාණ්ඩ ලබා දීම ඔහුගේ ව්‍යාපාරික අරමුණ විය. මෙනිසා ඉතාමත් ඉක්මනින් අවට ජනතාව අතර ඔහු ජයගිරි මුදලාලි යනුවෙන් ජනප්‍රිය විය.
මෙලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර ජයගිරි මුදලාලිට ඉතාමත් ඉක්මනින් බම්බලපිටිය ගාලු පාර අයිනේ අංක 128 යන ඉඩම මිලදී ගැනීමට හැකි විය. පර්චස් විසි අටක් වූ එම ඉඩම් කොටස වෙන්දේසියකදී මිලදී ගත්තේ රුපියල් අට දහසක මුදලකටය.
ඔය කාලෙ ජයගිරි මුදලාලි කොලට් කොම්පැනියෙන් ලී බොඩිය සහිත චවලට් ලොරියක් ගත්තා.
ඒකෙ අංකය ඛිජ් 2386 හැඩල් එක කරකවල ස්ටාට් කරන එකක්. ඒ ලොරියෙන් වරායෙ ඉඳලා කැලණියේ බවර් සමාගමට ‍පොහොර අදින්න පටන් ගත්තා. මුල් දවස්වල ලොරියේ රියැදුරු කම කළෙත් ජයගිරි මුදලාලි ඒ කියන්නෙ මගෙ මස්සිනාමයි. ඉස්සරම වරායෙ ඉඳලා කැලණියට ‍පෝර ඇද්දෙ කරත්තවලින්. අපේ මස්සිනා තමයි මුල් වරට ‍පෝර අදින්න ලොරියක් බවර් කොම්පැනියට දැම්මෙ ඉතා ඈත අතීතයේ තොරතුරු විස්තර කරමින් අශෝක අබේගුණවර්ධන පැවැසුවේය.
ජයගිරි මුදලාලි බිරිඳගේ සොහොයුරෙකු වන අශෝක අබේගුණවර්ධන ජයගිරි ප්‍රවාහන සේවයේ පාලන කටයුතුවලට සහාය වෙයි.
මෙම කාලයේම හම්බන්තොට ලුණු ‍ලේවායේ ඩොජ් පෙට්රල් ලොරි දෙකක් වෙන්දේසියේ විකුණන බව ජයගිරි මුදලාලිට දැනගන්නට ලැබුණි. ඔහු එම ලොරි දෙකද වෙන්දේසියේදී මිලයට ගෙන ‍පොහොර ප්‍රවාහනය සඳහා එකතු කර ගත්තේය.
සතොස මගින් ඉසුසු ලොරි චැසි ගෙන්වා අලෙවි කිරීම ආරම්භ කළේ මෙම කාලයේය.
ලොරි චැසියක මිල රුපියල් හාරදහසක් විය. ජයගිරි මුදලාලි එකවර මුදල් ගෙවා සතොසෙන් ලොරි 20ක් මිලදී ගත්තේය. එම ලොරි විස්සටම බොඩි ගැසුවේ කුණ්ඩසා‍ලේ සමුපකාර සමිතියේ ලොරි බොඩි ගැසීමේ අංශයෙනි.
ඒ ඉසුසු ලොරි විස්සට බොඩි ගැහුවයින් පස්සේ ඒවට අලුතෙන් ගත්ත රියැදුරු මහත්වරුන් පරණ ලොරි පහයි ඒකෙ රියැදුරු පස් දෙනයි සම්පූර්ණ කාර්යය මණ්ඩලයත් එක්ක කතරගම වන්දනාවෙ ගියා. ඒක සිද්ධ වුණේ 1972 කාලයේ” අශෝක අබේගුණවර්ධන පවසයි.
මෙවැනි විශාල ලොරි සංඛ්‍යාවක් නඩත්තු කිරීම සඳහා කාර්මිකයන් අට දෙනෙකුගෙන් යුක්ත කාර්ය මණ්ඩලය ජයගිරි ප්‍රවාහන සේවය සතු විය.
ඒ කා‍ලේ උදේ හතට බම්බලපිටියෙ රණසිංහ පෙට්රල් ෂෙඩ් එකෙන් ඩීසල් ගහන්න ලොරි විසි පහම ගාලු පාර දිගට ‍පෝලිමේ නවත්වල තියෙනවා. මේක නිසා ගාලු පාරේ උදේට වාහන තදබදයකුත් ඇති වුණා. මේ ලොරි ‍පෝලිම දැක්ක ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලොකු බදු මුදලක් ගෙවන්න කියල අපිට නඩු දැම්මා. නඩුව අවුරුදු විසි දෙකක් තිස්සේ විභාග වුණා. අන්තිමට අපි නඩුවෙන් දිනුවා. අපිට නඩු ගාස්තු ගෙවන්න කියලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට නියම වුණා.
අශෝක පවසන්නේ ගෙවී ගිය අතීතයක තවත් තොරතුරු සමූහයක්ය.
මාකොල සියඹලාපේ හන්දියේ ගල්වළක් සහ ගල් මෝලක් ජයගිරි ව්‍යාපාර සමූහයට එකතු විය.
කටුනායක ගුවන් තොටුපළ පාර ඉදි කිරීමට අවශ්‍ය කට්ටගල් සහ තුන් කා‍ලේ කළුගල් ඇතුළු සම්පූර්ණ කළුගල් සපයන ලද්දේ ජයගිරි ව්‍යාපාර සමූහයේ මාකොල සියඹලාපේ ගල් වළෙනි.
ඒ කා‍ලේ දොම්පේ සරච්චන්ද්‍ර රාජකරුණා මහත්තයා එක්ක අපේ ජයගිරි මුදලාලි හරිම යාළුයි. එක පාරක් මැයි පෙළපළියට අපේ ලොරි විස්සම දොම්පෙ ඉඳල ගෝල්ෆේස් එකට ආවා. මේක වුණේ සිරිමාවෝ ආණ්ඩු කාලයේ. ඒක අපිට නරකට බලපෑවා. එක දවසක් උදේ පාන්දරම ගැසට් එකක් අරන් මහත්තයෙක් අපේ කාර්යාලයට ආවා.
ගැසට් නිවේදනයකින් අපේ අලුත්ම ලොරි පහක් රජයට පවරාගෙන. ලොරි පහ, රියැදුරු පස් දෙනෙක් එක්ක අරගෙන ගිහිල්ලා සීදුවේ ස්කාගාර සංස්ථාවටයි අත්තනගල්ල සමුපකාර සමිතිවලටත් භාර දුන්නා. ජයගිරි ව්‍යාපාරය දේශපාලන පලිගැනීමට ලක් වූ ආකාරය අශෝක විස්තර කළේ එසේය.
අසූ තුනේ ජූලි ජාතිභේද කෝලාහල සමයේ මුළු කොළඹ නගරයටම ඇඳිරි නීතිය පනවා සිටි කාලයේ කොළඹ නගරයේ සියලුම කඩ සාප්පු වසා තිබුණි.
ජයගිරි ව්‍යාපාරය එම කාලයේ පිටි ප්‍රවාහන කටයුතුවල නිරත වෙමින් සිටියේය. සතොසෙන් පිටි තොගයක් මිලදී ගත් ජයගිරි මුදලාලි තම ව්‍යාපාරික ස්ථානයේදී පැමිණෙන සෑම අයකුටම පිටි රාත්තල් දෙක බැගින් නොමිලයේම පිරිනැමීය.
අසූ තුනේ ජූලි කලබල කාලයේ මුළු කොළඹ නගරය පුරාම පිලිස්සුන මෝටර් රථ පිලිස්සුන සේප්පු අල්මාරි ආදියෙන් පිරිලා තිබුණා.
මේක විදේශවලින් එන අයට වගේම නගරයටත් අවලස්සනයක්. ජේ.ආර්. ජයවර්ධන තමයි රටේ පාලකයා. ජේ.ආර්. එයාගේ ‍ලේකම් මැණික්දිවෙල මහත්තයට කියල අපේ ජයගිරි මුදලාලිට කිව්ව මුළු කොළඹම පිරිසිදු කරල දෙන්න කියල. අපි අපේ ලොරි ඔක්කොම දාලා මේ පිලිස්සුන වාහන ඇතුළු සියලුම ද්‍රව්‍ය අපේ වාහනවලින් මෝදරට ගෙනිහින් මුහුදට දාලා මුළු කොළඹ නගරයම පිරිසිදු කරලා දුන්නා. සතයක්වත් අය කරන්නේ නැතිව’ අශෝක අබේගුණවර්ධන විස්තර කරන්නේ 83 ජූලි කලබල සමයේ ජයගිරි මුදලාලි නිරත වූ තවත් සද් ක්‍රියාවක් පිළිබඳවය.
බම්බලපිටිය තම ජය භූමිය කරගත් ජයගිරි මුදාලලි බම්බලපිටිය වජිරාරාමයේ ප්‍රධාන දායකයෙකි. ගංගාරාමය, සම්බෝධි විහාරය රත්මලාන මල්ලිකාරාමය ඇතුළු වාද්දුවේ විහාරස්ථාන තුනකම ප්‍රධාන දායකයකු වශයෙන් බුද්ධ ශාසනයට ජයගිරි මුදලාලිගෙන් සිදු වූයේ විශාල සේවාවකි.
1963 මාතර නාඔටුන්න නන්දා අබේගුණවර්ධන සමග විවාහ වූ ජිනසෝම ජයතිලක හෙවත් ජයගිරි මුදලාලි දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. පුතා කුමුදු ජයතිලකය.
දුව රුචිරා ජයතිලකය.

පීටර් කැනියුට් පෙරේරා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!