Gossip

රැජිනගෙන් සම්මාන ගත් ලයිසියම් දියණිය කාවින්ද්‍යා – Photos

ජීවිතය ගලන ගගක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල් පර වලට අහුවෙලා තැලෙන පොඩි වෙන වාර ගාන අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම් වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම රිදුම කොයිතරම් ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා. ඒකට තමයි ජීවිතය කියන්නේ. එහෙම ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින් දවසක ලස්සන විල් තෙරක් ගාව අපුරු අන්තයක් අපිට හමුවෙනවා. සමහර විට ඒ අනන්තයක් ම නොවෙන්න පුළුවන්. තවත් එක අපුරු ආරම්භයක් තාවකාලික නැවතුමක් වෙන්න පුළුවන්. එහෙමයි මේ ජීවිතයට උරුම අත්දැකීම් අහුර ලියවෙන්නේ.

එහෙම ගලාගෙන ජිවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුනාට ජිවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.

මේ ඇගේ කතාව…
“…මම ඉපදුනේ නුවර. මගේ තාත්තා වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදියට කටයුතු කරේ. එයා නිතිය අකුරටම කරපු කෙනෙක්. ඒ නිසාම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තා ව වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වුන දැරණියගල ටික කාලයක් ජිවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ස්කෝලයක් හොයා ගන්න බැරි වෙන නිසා මාව ඇතුල් කරන්නේ ලයිසියම් එකට. ස්කොලෙන් අවුට් වෙලා කැම්පස් යන්න මන් බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්ව වලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුනේ නැහැ. ඉතින් ඉගෙන ගෙන ඉවර වෙලා ටික දවසකට ආපහු දැරණියගලට යනවා. පුංචි කාලේ ගමේ මන් එක්ක සෙල්ලම් කරපු මගේ යාලුවා ඒ වෙද්දී බැදලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුනා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්.එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුනා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මන් ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා පොඩියට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී Without Borders පලවෙනි පියවර බිහි වෙන්නේ.

පුංචි කාලේ ඉදන් මගේ අම්ම මට තනියම ජිවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා. අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජිවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මන් තනියම කාමරයක් අරගෙන රස්සාවක් කරගෙන උයාගෙන ජිවත් වෙන ගමන් මගේ යාලුවෙක් වුන සකි ආරියවංශ එක්ක Without Borders හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නවා. අධ්‍යාපනය, නිර්මාණශීලිත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද ජීවිතය ප්‍රශ්න හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදියට කටයුතු කරනවා. ඒ කාලේදී එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සදහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක් අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා මම ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මන් කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.

ඊළගට ඇමරිකාවේ බොස්ටන් වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙන ගෙන තුන්වෙනි අවුරුද්ද සම්පුර්ණ කරන්න මන් එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුනේ නැහැ. මොකද මගේ ළමා කාලේ පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුන කාලයක්. අපිට තිබුනේ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල බැංකු වල සල්ලි තිබුනේ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජිවිතෙන් මන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

මන් පුංචි කාලේ ඉදන් සැහෙන්න පොත් කියෙව්වා. නුගේගොඩ ඉදන් ස්කොලේ ඇරිලා බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ (Janaka Inimankada ) අන්කල්ගේ බුක් ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මන් පුරුදු වෙලා හිටියා. ජනක අන්කල් ඒ අවස්තාව දුන්න එක මගේ ජිවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. මගේ ජිවිතේට ගොඩක් දේවල් එකතු වුනේ මන් ලබා ගත්තු දැනුමෙන් අත්දැකීම් වලින්. මට තාම අවුරුදු විසි පහයි. ඒත් ප්‍රශ්න දිහා සමාජේ දිහා මන් දැක්ක විදිය අවුරුදු 16,19,22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇදලා ප්‍රශ්න වලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.

මට හිතෙන විදියට ලංකාවේ තරුණ පරපුර තනියම ජිවත් වෙන්න බයයි. දෙමව්පියන්ගේ සල්ලි වලින් හැමදේම කරන්න බලන්නේ. ඒ වගේ ලංකාවේ මිනිස්සුන්ව මනින්නේ වාසගමින් බැංකුවේ සල්ලි වලින් ගම්පලාතෙන්. මන් හිතන්නේ ඒක හරි වැරදි. ස්කොලේ කාලේ වුනත් මන් අපහසුතාවයට පත් වුනා ඒ දේවල් නිසා. පිටරටක මිනිසුන්ට වැදගත් මන් කවුද කියන එක නෙවෙයි මන් කරන දේ. මගේ හැකියාව. තරුණ පරපුර වුනත් රැල්ලට යන්නේ නැතිව ජිවිතේට අලුත් අත්දැකීම් එකතු කරගෙන නිදහස් විදියට හිතලා තමන් ආස දේවල් කරොත් මන් හිතන්නේ හැමදේම ගොඩක් වෙනස් වෙයි. මමත් කිසිම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුනා. ඒ වගේම දේවල් වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න අපිට පුළුවන් කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුනත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජිවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන් ඒත් හරි දේ කරන්න කියන එකයි මගේ අරමුණ “.

ඇත්තටම ඇය වයසට වැඩිය හිතන අත්දැකීම් වලින් පරිණත දක්ෂ ගැහැණු ළමයෙක්. හැමෝමටම ආදර්ශයක් දෙන්න පුලුවන් කෙනෙක්. ජිවිතේ හම්බුන විදියට බාර ගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය. විදවන ජිවිත විදින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් ළඟා කරගත්තු කෙනෙක් . අපුරු චරිතයක්. වටිනා හදවතක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!