Gossip

රටම කළඹලා, පොලිසියත් අන්දලා උසස් පෙළට වංගු ගහපු සිසුවාගේ ටොන් පචයේ සුලමුල හෙළිවූ හැටි

ජීවිතය ජය ගැනීමට ඇති එකම මඟ අධ්‍යාපනයයි.

එය සකස් කරමින් දැයේ දුවා දරුවෝ තම ළමා විය පසෙක දමා හෙට දින ජය ගන්නට වෙර දරති.

ඒ, නූතන සමාජය ජය ගැනීමට නම් අධ්‍යාපනය පසෙක දමා පියවරක් හෝ ඉදිරියට යෑමට නොහැකි බව හොඳින් දන්නා බැවිනි. මෙවන් පසුබිමක් තුළ පාසල් විෂයට සීමා වූ දරුවන්ට විෂය පරිබාහිරින් යමක් සිතන්නට තරම් හැකියාවක් නැති තරම්ය.

ජීවිතය ජය ගැනීම මෙන්ම තම මවුපියන්ගේ අපේක්‍ෂාවන් ඉටු කර දීමට දරුවන් දරන උත්සාහය කොතරම්ද යන්න වර්තමානයේ අසන්නට දකින්නට කොතරම් උදාහරණ තිබේද?

පසුගියදා තම පියාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් ඒ පියාගේ පැතුම ඉටු කරන්නට ශිෂ්‍යත්ව විභාගයට ගිය දිරිය දියණියකගේ කතාව ඉතා සංවේදීව සිවුදෙස පැතිරෙන්නට වුණේ මිනිස් හදවත් කම්පා කරමින්ය.

එවන් පුවතක් සිවුදෙස පැතිරෙන්නටත් මත්තෙන් මිනිස් සිත් කම්පාවට පත් කරමින් තවත් එවැනිම සිදුවීමක් වාර්තා වුණේ මාතර නගරයෙන්ය. ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු කිසිවකු හෝ විසින් පැහැර ගත්තේ යැයි පුවතක් සැලවීමත් සමඟය.

වසර ‍ෙදාළහක් තම ළමා විය කැප කර එහි අස්වනු නෙළා ගන්නට පෙර මේ අපරාධය කළේ කවුරුන්ද යන්නත්, එම අපරාධ කළ වුන්ට දෙස් දෙවොල් තියන්නටත් පුවත දැනගත් අය පටන් ගත්හ.

විභාගයට ලියන්නට ඉඩ නොදී එලෙස පාසල් ශිෂ්‍යයකු පැහැරගෙන ගොස් පසුව අතරමඟ දමා යෑමට තරම් කිසිවකුට ඇති ඕනෑකම කුමක්දැයි කුතුහලයක්ද දැනවීය.

එහෙත් මේ පිළිබඳව මෙම සිසුවාගේ ප්‍රකාශවලට අනුව පෙනුණේ ඔහුව කවුරුන් හෝ පැහැරගෙන ගොස් ඇත්තේ ඔහුගේ දක්‍ෂතාව ඉවසන්නට බැරිව බවටය.

එහෙත් පැරැණි කියමනකට අනුව තම සියලු දේපළ සොරා ගත්තද උගත් දෑ සොරා ගැනීමට හෝ එයට අභියෝග කිරීමට කිසිවකුටත් බැරි යැයි කියන කියමන මෙම ශිෂ්‍යයා අසා නොතිබෙන්නට ඇත.

දිනය මේ මස 06 වැනිදාය. මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා හමුවට පැමිණ කළ පැමිණිල්ල වූයේ එදින උදෑසන මාතර සරම්මුදලි මාවතේ තම නිවෙසින් පිටව මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ විභාග මධ්‍යස්ථානය වෙත ගිය තම දරුවා කිසිවකු විසින් පැහැරගෙන පාළු ස්ථානයක දමා ගොස් ඇති බවයි.

එම පුවත සැලවීමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරයාගේ දෑස රතුවන්නට විය. මෙම අපරාධය කළේ කවුද? දරුවන් සිටින තාත්තා කෙනකුට වගේම අධ්‍යාපනයේ වටිනාකම හොඳින් දත් මේ නිලධාරියාට ඉවසුම් නැති විය. මෙය සාහසික අපරාධයකි. ඔහු වහා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කිරිඇල්ල මහතා කැඳවීය. මේ අපරාධකරුවන් සෙවීමට පෙර වහා සිසුවාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියෝග කළේය.

ඒ අනුව මෙම සිදුවීම එකින් එක පෙළගස්වා ගත් පසු එය මෙසේ පොලිස් නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශ කෙරුණේය.

සිසුවා පවසන ආකාරයට තමන් මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ විභාග මධ්‍යස්ථානයට යෑමට ඉසදීන් නගරය ඔස්සේ සරම්මුදලි මාවත දිගේ එන අවස්ථාවේදී කිසිවකු පිටුපසින් පැමිණ තමාගේ දෑස බැඳ ත්‍රිරෝද රථයක දමාගෙන ගිය බවයි. පසුව මඟදී වෙනත් රථයකට තමා මාරු කළ බව තමාට තේරුණු බවත් බොහෝ දුරක් එම රථය ගමන් කර තමාව මාර්ගය අයිනකට තල්ලු කර දමා ගිය බවත්ය.

අනතුරුව තමා දෑස විවර කර බැලීමේදී ඔහු සිටිනා තැන කොහිදැයි කොතැනදෝයි සොයාගත නොවූ හෙයින් ඒ අසලින් ගිය වැඩිහිටියකුගෙන් විමසූ බවත් එවිට ඔහු මෙම ස්ථානය අහංගම ගොවියාපාන ප්‍රදේශය බවත් පැවැසූ බව කියැවේ. ඉන් අනතුරුව තම නිවෙසට මේ බව දුරකථනයෙන් දැනුම් දුන් පසු පවුලේ උදවිය මෙලෙස පොලිසියට කැඳවාගෙන ආ බවද කියා ඇත.

තමා ගිය වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණද එදිනද හදිසියේ රෝගාතුර වූ නිසා තමාට එම වර්ෂයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙවර තමා දිවයිනේ පළමු වැනියා වීම අනිවාර්ය බවත් එය වැළැක්වීමට කිසිවකු මෙලෙස තමා පැහැරගත් බවත් පැවැසූ ඔහු පොලිසිය තමාගෙන් ප්‍රශ්න කරන්නේ මන්දැයි පොලිසියට ගෝරනාඩු කරන්නටද වූයේය. ඔහු ඉතා උස් හ¾ඩින් පොලිසියට චෝදනාත්මක ස්වරූපයෙන් කතා කළේය.

දිවයිනේ පළමු වැනියා බවට තමන් පත්වීම අනිවාර්ය බවත් එය වැළැක්වූ අයට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එය පසුබට කරන්නේ මන්දැයි ඔහු තවදුරටත් පොලිසියට චෝදනා කළේය.

එහෙත් මේ ප්‍රකාශ ඉතා විමසිලිමත්ව පසෙක පුටුවකට වී හොඳින් අසා සිටි මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්‍ෂක එන්.එස්. විජේරාම මහතාට අදහසක් පහළ විය. ඔහු සිසුවාගේ ප්‍රකාශවල ඇති පරස්පර විරෝධී වචන හා ඔහුගේ හැසිරීම නිරීක්‍ෂණය කළේය.

රුපියල් විසි පන්දහසකට එහා ගිය ජංගම දුරකථනය පවා ඔහු පැහැර ගත්තාය කියන පුද්ගලයන් නොගත්තේ මන්ද, වාහනයෙන් බිමට දමාගිය සිසුවාගේ පාසල් නිල ඇඳුම් නිවෙසින් හොඳින් මැද ඇඳ පැලැඳගෙන ආ ආකාරයටම තිබෙන්නේ කෙසේද?, මෙම සිසුවා සුළු හෝ ලෙසින් පොර බැදුවේ නැද්ද?

බියෙන් ඇලළී ගිය දෑසක් ඔහුට නැත්තේ ඇයි? ඒ සියල්ලටම වඩා මෙලෙස පාසල් සිසුවකු පැහැර ගැනීමට කිසිවකුට හෝ ඇති පලය කුමක්ද? යන ප්‍රශ්නාර්ථ රාශියක් විජේරාම මහතා සන්සුන්ව තවදුරටත් විමසුමට ලක් කර ගත්තේය. සිසුවාගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ අනතුරුවය.

එහිදී අනාවරණය වූයේ තමා අති දක්ෂයකු බවත්, තමා දැනටද උපකාරක පන්ති කරන බවත්, තමාගේ වයසේම සිසුන් තිහ හතළිහක් තමාගෙන් අධ්‍යාපනය ලබන බවත්ය.

මේ ප්‍රකාශ මෙම විමර්ශනයට ඉතා වැදගත් ඒවා විය. අනතුරුව විජේරාම මහතා මෙම සිසුවා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කරන ලෙස මාතර මහ රෝහලට යොමු කළේය.

ඒ අනුව සිසුවා මාතර රෝහල කරා තම ඥාතීන්ද සමඟ පිටත් කර යැවිණි. ප්‍රකාශවලින් තමන් තේරුම්ගත් කරුණු නිවැරැදිද යන්න සොයා බැලීමට පොලිස් පරීක්‍ෂක විජේරාම මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති කමල් කිරිඇල්ල මහතා සමඟ අපරාධයක සුලමුල සොයන්නට උකුසු ඇස් ඇති දක්‍ෂයකු ලෙස නම් දැරූ උප පොලිස් පරීක්‍ෂක නිරෝෂන් සහ ඊට සහායට එක්වූ පොලිස් සැරයන් ජයලත් (56209) යන කණ්ඩායම සූදානම් විය.

වහා ජීප් රථයක් ගෙන්වා ගත් මොවුන් සිවුදෙනා ඉගිළෙන්නට වූයේ සිසුවා පැහැරගත් ස්ථානයටය. එම ස්ථානය නිරීක්‍ෂණය කළ පොලිස් නිලධාරීන්ට ඒ අසල නිවෙසක සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා පද්ධතියක් දැක ගන්නට වී තිබේ. මෙය මෙම සිදුවීම සම්බන්ධව හොඳ සාක්‍ෂි ලබාගත හැකි මඟ යැයි සිතූ මොවුන් එම නිවෙසේ සවිකර තිබූ ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන් වූ දර්ශන එකින් එක නරඹන්නට විය.

එහිදී උදෑසන 7.36ට පමණ මෙම සිසුවා ඒ අසලින් ඉතා හොඳින් ගමන් කරනවා සටහන් වී තිබිණි. ඔහු එම කැමරාව අසලින් පාර මාරු වී ඉතා හොඳින් ගමන් කරන ආකාරයත් එහි සටහන් වී තිබිණි.

මේ ආකාරයට මාර්ගය අසල ඇති කැමරා නිරීක්‍ෂණය කළ නිලධාරීන්ට මෙම සිසුවා පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය මුසාවක් බව තහවුරු කරගත හැකි විය. ඒ අනුව ඔහු මෙලෙස පොලිසිය නොමඟ යැව්වේ ඇයිද යන ප්‍රශ්නය පමණක් මතු වෙද්දී මේ කියූ සියලු චෝදනා බොරු වන බැවින් එසේ පොලිසිය නොමඟ යැවීමට හේතු වන කාරණා සොයා ගැනීමට අවශ්‍ය විය.

තමා කිසිවකු පැහැර ගත්තේ යැයි කියන සිද්ධිය එතරම් සුළු පටු එකක් නොවන බවත් විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවකු මෙලෙස පැහැර ගැනීම බරපතළ සිදුවීමක් නිසා සත්‍යම දැන ගන්නට පොලිසියේ ඉහළම නිලයන්ගෙන් මාතර පොලිසියට නියෝග ලැබිණි.

එහිදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිසුවා එකින් එක තමා කළ බොරුව හෙළි කරන්නට වූයේය. ඒ අනුව ඔහු අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නිවෙසින් බැහැර වී ඇත.

සරම්මුදලි මාවත ඔස්සේ ගමන් කරන විට ඔහුට මෙසේ සිතුණු බව පොලිසියට කියා ඇත.

“මම කාලෙක ඉඳලා උසස් පෙළ සිසුන්ට උපකාරක පන්ති කරනවා. මම හිතනවා මගෙන් ඉගෙන ගත් ළමයින්ට අනිවාර්යයෙන්ම ‘ඒ’ සාමාර්ථයක් ලැබෙයි කියලා. ඒ වුණත් ඒ ළමයින් සමඟ විභාගයට යන මට ‘ඒ’ සාමාර්ථයක් ගන්න බැහැ කියලා හිතට දැනුණා. ඒ බයට මම කල්පනා කර කර ආවා.

මම තීරණය කළා විභාගයට පෙනී නොසිටින්නට. මම පාරදිගේ ඇවිදගෙන මාතර නූපේ මංසන්ධියට ආවා.

ඒ අසල බස් නැවතුම්පළේ නතර වෙලා සිටිද්දී මාතර සිට ගාල්ල දෙසට බස් රථයක් ආවා. මම එකේ නැග්ගා. ටික දුරක් ගිහින් මම මඟ බැස්සා. ඒ කොතැනද දන්නේ නෑ. මම අසලින් ගිය අංකල් කෙනකුගෙන් ඇහුවා. ඔහු මට කිව්වා මේ අහංගම ගොවියාපාන කියලා. මම ටික වෙලාවක් ඉඳලා විභාගය ඉවර වුණාම ගෙදරට කෝල් කරලා කිව්වා මම පැහැරගෙන ගොවියාපානේ දමා ගිය බව. ඊට පස්සේ තමයි ගෙදරින් ඇවිත් මාව මේ විදියට පොලිසියට රැගෙන ආවේ.”

පසුව ඔහුගේ පියා විදේශගතව සිටින බැවින් මේ පිළිබඳව මවට පවසා තිබේ.

මේ ප්‍රකාශ එකින් එක පෙළ ගස්සා කියන විට සිසුවාගේ ඥාතීන් ලැජ්ජාවෙන් ඇඹරෙන්නට විය. එහෙත් සිසුවා මේ වන විටත් අමාරුවේ වැටී අවසානය. රාජ්‍ය නිලධාරීන් නොමඟ යැවීම, අසත්‍ය ප්‍රකාශ කිරීම වැනි බරපතළ චෝදනා රාශියකට වැරැදිකරුවකු වනවාට එහා ගිය වරදක් සිදු කර ඇත.

ඒ එදා උසස් පෙළ ලිවීමට සැරසුණු අනෙකුත් සිසුන්ගේ මානසික තත්ත්වයට දැඩි බලපෑමක් සිදුවිය. ඔවුන් බියට පත් විය.

දක්‍ෂ දරුවන් මූණු වහලා රැගෙන යාවිදෝ බිය ඔවුන්ට දැනෙන්නට විය. ඒ හැරුණු විට මෙම සිසුවාගෙන් ඉගෙන ගත්තේ යැයි කියන සිසුන්ගේ මානසික තත්ත්වයට කෙබඳු බලපෑමක් එල්ල වන්නට ඇත්ද?

තමන් ඉගැන්වූ ගුරුතුමා පැහැර ගත්තේ යැයි දැඩි මානසික පීඩනයකින් එම සිසුන් විභාගයට මුහුණ දෙන්නට ඇත. මේ කරුණු සැලකීමේදී මෙම සිසුවා මෙවැනි තත්ත්වයකට පත් වුණේ ඇයිද යන්න විමසිය යුත්තකි. සිසුවකු වුව ඔහු කර ඇති දේ බරපතළය.

එබැවින් දුරදිග නොසිතා මෙවැනි දේ කරන්නට පෙලැඹෙන සිසුන්ට නීතියෙන් ගැලවීමක් නැති වන බවට මෙය උදාහරණයක් වනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!