Gossip

මම මැරුණේ වෛරයෙන් – එහෙම මැරිලා ඉඩම ළඟම උපන්නා – පොලිසි ගියාට වැඩක් වුණේ නෑ – මූ දේශපාලනකාරයකුගේ ගෝලයෙක්

හෝමාගමට නුදුරුව පදිංචි කමලසිරි හැට හැවිරිදි දෙදරු පියෙකි. ඔහුගේ බිරිය නාමලී පනස්පස් හැවිරිදි ගෘහණියකි. ඔවුන්ගේ ඉඩමේ රාත්‍රි කාලයට අද්භූත ඡායාවක් එහා මෙහා යනවා පෙනෙන්නට විය. ගස්වල පලදාව නැති විය. පොහොර යොදා සාත්තු කළත් ඉඩමේ ගස්වලින් පලදාවක් හට නොගැනිණි. තිලකසිරි රාත්‍රි හීනෙන් බිය වී කෑ ගසාගෙන අවදි වන්නට විය. රාත්‍රි කාලයේ නිවෙස වටා කවුදෝ ගමන් කරන අඩි සද්දයක් ඇසෙන්නට විය. මේ අඩි සද්දය ගැන සොයා බලන අදහසින් දිනක් ගේ වටා පාන් පිටි අතුරා තැබීය. එදින විනාඩි පහෙන් පහට ගේ වටේ දුවන සද්දය ඇසිණි. උදේ බලන විට පාන් පිටි ඇතිරූ සෙයින්ම තිබිණි. කිසිදු අඩි සලකුණක් නොවීය. මේ වෙනුවෙන් විශාල පරිමාණයේ තොවිලයක් කළත් දින විස්සකට වඩා සහනයක් නොවීය. මේ අතර නිවෙස ඇතුළත මහත් දුර්ගන්ධයක්ද වරින් වර වහනය වන්නට විය. තවත් පිළියම් කීපයක් කළද වෙනසක් නොවීය.

මේ අතර ‘මළවුන්ගේ හෝරාව’ කියවන හිතවතකුගේ උපදෙස් පරිදි එහි කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගිය තිලකසිරි ආධ්‍යාත්මීය උපදේශකවරයෙකු මුණ ගැසී තම නිවෙසේ පවතින තත්ත්වය විස්තර කළේය. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට තිලකසිරි වෙව්ලන්නට විය. ඔහු පැමිණ සිටියේද තනිවමය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා පවුලේ අනෙක් අයද සමඟ ඊළඟ දිනයේ පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට බිරියත් වැඩිමහල් දියණියත් කැටුව තිලකසිරි නැවැත පැමිණියේය. එදිනද තිලකසිරි දිෂ්ටි ගැන්වී ආවේය. අත පය ඇඹරී ගොස් පුද්ගලයා වකුටු වී ගියේය. අඬන්නට වූයේය. නාගොඩවිතාන මහතා ප්‍රශ්න කරන්නට විය.

‘කවුද මේ අඬන්නේ?’
‘මම ජයතිලක.’

‘කවුද මේ ජයතිලක කියන්නේ?’
‘මුගේ අල්ලපු ඉඩමේ පදිංචිව සිටියේ මම.’
‘ඇයි ඉතින් මේ තිලකසිරිට හිරිහැර කරන්නේ?’
‘මහත්තයා මූ හරිම දුෂ්ටයෙක්, අපරාධකාරයෙක්. මූට හිරිහැර කරලා මදි. මූව මරලා අරගෙන යන්න ඕනෑ.’

‘ඇයි මේ තරම් වෛරයකින්?’
‘මහත්තයා මම බොහොම දැහැමි තෙරුවන් සරණ ගිහින් ජීවත් වුණ කෙනෙක්. මට දුගතිගාමී වෙන්න සිද්ධ වුණොත් මූ හින්ද.’
‘මොකක්ද ඒ කතාව?’
‘මම පිටරට රස්සාවකට ගියා. ඒ කාලෙ මූ මුගේ බලපුළුවන්කාරකමෙන් මගේ ඉඩමෙන් අඩි අටක තීරුවක් අල්ල ගත්තා.’

‘ඇයි ගෙදර අය පොලිසි ගියේ නැද්ද?’
‘පොලිසිය? අනේ, මතක් කරන්න එපා. පොලිසියත් ජඩ වැඩ කරන එවුන්ටමයි සැලියුට් ගහන්නේ. මුන්ගේ දේශපාලන බලපුළුවන්කාරකම් ඉදිරියේ පොලිසිය නිවටයි. පොලිසි ගියාට වැඩක් වුණේ නෑ. මූ දේශපාලනකාරයකුගේ ගෝලයෙක්. උගේ බලය මූත් පාවිච්චි කරනවා. ඉතින් මම ආපහු ඇවිත් නඩු කියන්න පටන් ගත්තා ඉඩමේ මායිම වෙන් කර ගන්න. ඒ කාලෙ මූ මට හූනියම් කළා. මම කොරවෙලා මැරුණා. මම මැරුණේ වෛරයෙන්. එහෙම මැරිලා ඉඩම ළඟම උපන්නා. මම මැරෙන වෙලාවෙ දෙයියන්ගෙන් ඉල්ලුවා මුගෙන් පළිගන්න ඕනෑ කියලා. ඉතින් මට තවම හරියට හිතේ හැටියට පළිගන්න බැරි වුණා. ටික ටික පළිගන්නවා. මගේ නෝනත් දුවත් අසරණයි. ඒ දෙන්නාත් මූටත්, මුගේ දේශපාලන බලයටත් බයේ නිශ්ශබ්ද වුණා. මූ අපරාධකාරයෙක්. මහත්තයා මේ වැඩේට අත දාන්න එපා. මුන් වගේ දේශපාලන බලෙන් අපරාධ කරන, ජඩ වැඩ කරන එවුන් විනාශ කරන්න ඕනෑ. අපේ ඡන්දයෙන් බලයට ඇවිත් ඒ බලෙන් මහ එවුන් ගෝලබාලයොත් එක්ක අපරාධ කරලා දැන් අපායෙ නිරාදුක් විඳිනවා. මූවත් එතැනට ගිහින් දාන්න ඕනෑ’ යි භූතාත්මය කීවේය.

තිලකසිරිගේ බිරියත් දියණියත් බියට පත්ව බිම බලාගෙන උන්හ. තිලකසිරිගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා මේ භූතාත්මය කී කතාව ඇත්තදැයි ඔහුගෙන් ඇසීය.

‘පට්ටපල් බොරු මහත්තයා, අපි බොහෝම වැදගත් විදියට ජීවත් වන අය. ඕවා සම්පූර්ණ බොරු පෙරේතයෝ බොරු කියනවානෙ.’
‘වෙන්න පුළුවන්. ප්‍රේතයෝ බොරු කියනවා තමයි. හැබැයි මේ කතාව ඇත්ත නම් තමුන්ටත් ළඟදීම කොරවෙලා මැරෙන්න සිද්ධ වේවි. මේ තරම් පැහැදිලිව කිව්වේ අල්ලපු ඉඩමෙන් අඩි අටක් බලහත්කාරයෙන් අල්ලා ගත්තා කියලා. ඒක ඇත්තද? ඇත්ත නොකිව්වොත් මට ප්‍රතිකාර කරන්න බෑ. කොයි දේක වුණත් සාධාරණයක් තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම අසරණ වූ මළවුන්ට සාධාරණීය ඉෂ්ට වෙන්න ඕනෑ.’

‘මහත්තයා අපි ආවේ මළවුන්ට සාධාරණ කරන්න නොවෙයි. ඔන්න ඔය පෙරේතයාව බැඳ දාල අපි ආරක්‍ෂා වෙන්න.’
‘මළවුන්ටත් ජීවත්ව ඉන්නවුන්ටත් අසාධාරණ කරන්න මට බෑ. මට ප්‍රතිකාර කරන්න බෑ. මහත්තයලා ඒ වැඩේ ඇදුරෙක් ලවා කරවාගන්නැ’යි ගවේෂකවරයා ප්‍රතිකාර කිරීම ප්‍රතික්‍ෂේප කළේය.
‘අනේ තාත්තේ, ඇත්ත කියන්න. මේ කරදරේ ඉවරයක් කර ගන්න ඕනෑනෙ. දැන් කොයි තරම් වියදම් කළාද තොවිල්වලට. මොන දුකක්ද මේ, රෑට හරියට නින්දක් නෑ. ගෙදර ඉන්න බැහැ ගන්ධස්සාරෙ. තාත්තගෙ ජීවිතෙත් අනතුරේ. ඇත්ත කියන්න තාත්තේ’යි දියණිය පියාට කීවාය.
ටික වේලාවක් බිම බලාගෙන කල්පනා කළ තිලකසිරි නැවැත කතා කළේය.
‘ඔව් මහත්තයා, ජයතිලකගෙ ඉඩමෙන් මම අඩි අටක් අල්ලා ගත්තා. අපට ඒ පැත්තෙන් අඩි අටක් අයිතියි කියලා අම්මලා මට කියලා තිබුණා.’

‘මේ හූනියම් කරපු කතාව ඇත්තද?’
‘ඔව්. ජයතිලක හැමදාම රෑට යාතිකා කරනවා. ඒ නිසා හූනියමක් කළා. දේවාලෙකින් මුට්ටි තුනක් මතුරලා ගෙනැවිත් ජයතිලකගෙ ඉඩමේ වැළලුවා.’
යළිත් තිලකසිරි දිෂ්ටි ගන්වා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
‘ඇත්තද මේ ඉඩමෙන් තිලකසිරිටත් අයිතියි කියන්නේ? තමුන් රෑට රෑට යතිකා කළා කියන්නේ?’
‘මහත්තයා මම මූ කියපු ඔක්කොම දේවල් අසාගෙන හිටියේ. මූ කිව්වේ සම්පූර්ණ බොරු අපට ඉඩමට පිරිසුදු ඔප්පු තියෙනවා. මම යාතිකා කළේ නෑ. මම හැමදාම රෑට බුදුන් වැඳලා පිරිත් කියලා දෙවියන්ට පින් දුන්නා. මූ ඒකට බයේ හූනියම් කළා. මම කොරවෙලා මැරුණා මුගේ වැඩ නිසා. මගේ හිත නරක් වෙලා දුගතියේ උපදින්න සිද්ධ වුණා. ඒකට මම පළිගන්නවා. මූ කරපු අසාධාරණයට පළිගන්නවා’ යි භූතාත්මය කීවේය.

නැවතත් ගවේෂකවරයා තිලකසිරිට ප්‍රකෘති සිහිය ලබාදී උපදෙස් දුන්නේය.
‘දැන් ඔය විඳින්නේ තමන් කරපු වැරැදි වැඩවල විපාක. මේ අසරණ වෙච්ච ජයතිලකගේ භූතාත්මයටත් අපි උදවු කරන්න ඕනෑ. ඒක විශාල කුසලයක්. ඒ නිසා පවුලේ හැම දෙනාම ගමේ පන්සලේදී දවස් හතළිස් අටක් බෝධි පූජා තියන්න. බෝධි පූජාව අවසානයේ මෛත්‍රි භාවනාව වඩන්න. මාස දෙකකට පසුව නැවැත එන්න.’
‘මේ මාස දෙක ඇතුළත ඔබට ඕනෑම දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි මේ අයගෙ ජීවිතවලට හානි කරන්න තහනම්’ යැයි භූතාත්මයට නිදහස දී තිලකසිරිගේ පවුලේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳ පොරොන්දු ගත්තේය.

මේ කාලය තුළදී තිලකසිරිගේ වාහනය අනතුරකට ලක්විය. නිවෙසේ රූපවාහිනිය හේතු රහිතව පිච්චුණේය. ගෙදර අල්මාරිය ගිනි ගත්තේය. මාස දෙකකට පසුව නැවැත පැමිණි තිලකසිරිට ආවිෂ්ට වූ භූතාත්මය ඒවා තමන් කළ පළි ගැනීම් බව අනාවරණය කළේය. එදින භූතාත්මයට ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.
‘ඔබ මිය ගියේ ඔබත් පෙර සසර කළ අකුසලයක විපාක වශයෙන් බව පිළිගන්න ඕනෑ. ඔබ හොඳ අවංක මනුස්සයෙක් වශයෙන් ජීවත් වූ කෙනෙක් බව අපිත් පිළිගන්නවා. ඔබ හොඳ බෞද්ධයෙක්, බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් ගරු කරන කෙනෙක් නිසා ‘නහී වේරේන වේරානි’ කියන ධම්මපදය පිළිගන්න ඕනෑ’ය කීවේය. භූතාත්මය ‍ෙදාහොත් මුදුන් දී පිළිගත්තේය.

ඊළඟට තිලකසිරිට ප්‍රකෘති සිහිය ලබාදී ඔහුට අවවාද කළේය. ‘මේ ජයතිලකගේ ප්‍රාණකාරයා ඔබේ පවුලේ ජීවිතවලට හානි නොකරන බවට පොරොන්දු වූ කාලය දැන් ඉවරයි. ඒ නිසා කරුණාකර ඒ බලෙන් අල්ලා ගත් ඉඩම් තීරුව ආපසු දෙන්න. ජයතිලකගේ බිරිය දුවත් එක්ක හොඳින් කතා කර ඇත්ත කියලා අර වළ දැමූ හූනියම් මුට්ටි තුනත් ගොඩගෙන ආපහු එන්න. එහෙම නොකළොත් ඔය ගෙදර ඉන්න අයගේ ජීවිතවලට මට වගකියන්න බැහැ’යි ගවේෂකවරයා කීවේය.
ඒ අනුව තිලකසිරි අල්ලාගෙන තිබූ ඉඩම් තීරුව ආපසු දුන්නේය. වළලා තිබූ හූනියම් මුට්ටි තුනද රැගෙන නැවත ආවේය. ඒ මුට්ටිවල ජයතිලකගේ නම ලියූ තඹ තහඩු හා මිනී අළු දමා තිබිණි. ඒ මුට්ටි තුන ගසාගෙන යන ජලය සහිත ගඟකට දමන්නට උපදෙස් දුන්නේය.
‘දැන් ඔබට සාධාරණය ඉටු වුණා. සිත නිදහස් කර ගන්න. පෙර කළ කුසල් මෙනෙහි කරන්න. එවිට ඔබට ප්‍රේතාත්මයෙන් මිදී දේවාත්මයකට යන්න පුළුවන්’ යැයි ජයතිලකගේ ප්‍රාණකාරයාට උපදෙස් දුන්නේය. අපරාධයට දඬුවම විපාකය නියතයි.

උපුටා ගැනීම – ෆේස්බුක්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!