Gossip

“මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා වයිෆ්ටත් තේරිලා තිබුණේ.. මුලින්ම ගංජා බිව්වේ හත වසරෙදි. ගංජා හේන්වලට ගිහින් සති ගණන් ඉදලා තියෙනවා. කුඩු බීලා තමයි ජීවිතය විනාශ වුණේ.”

තණමල්විල මල් පීදෙන සුවඳත් සමඟ හැදුණු, වැඩුණු මේ තරුණයා ගංජාවලට ඇබ්බැහි වී ඇත්තේ පාසල් වියේදීමය.
ගමේ පාසලේ හත වසර පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී, මුල් වරට ගංජා සුරුට්ටුවක් තොල ගෑ ඔහු අට වසර පන්තියට යන විට ගංජා දුමට තදින්ම ලොල් විය.
උදෑසන පාසලට ගිය සැණිින් මිතුරන් දෙතුන්දෙනෙක් සමඟ මුල්ලකට වහං වෙන ඔහු ගංජා සුරුට්ටුවක් තොළ ගෑම පුරුද්දක් කර ගත්තේය.
ගංජා මත හිඳෙන්න, හිඳෙන්න ඔහු ගංජා සුරුට්ටු ඇද්දේය. මුළු දවසම ගෙවී ගියේ ගංජා මතිනි. එහෙයින් පන්ති කාමරයේ උගන්වන කිසිම දෙයක් ඔහුගේ මනසේ ධාරණය නොවිණි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ද එකදු විෂයක් හෝ සමත් නොවිණි. අවසානයේ ඔහු අධ්‍යාපන ජීවිතයට ද තිත තබමින් මතින් පිරුණු හිස් මිනිසෙක් ලෙස සමාජයට එකතු විය.
ගොඩ, මඩ සරුසාර කෙත් වතුවලින් පෝෂිත ගම් පියසක ජීවත් වුවද ඔහු රැකියාවට තෝරාගත්තේ ද ත‍්‍රිරෝද රථ ‘හයර්’ කිරීමය. එය ගත වෙහෙසට පත් නොකර පහසුවෙන් මුදල් හම්බ කළ හැකි මාර්ගයකි. එහෙත් තරුණ ජීවිතවලට දියුණුවක් දැකිය නොහැකි වෘත්තියකි.
මේ තරුණයාට අවශ්‍යව තිබුණේ ද පනං හතරක් හොයාගෙන ගංජා සුරුට්ටුවක් බීගෙන පාඩුවේ ජීවත්වීමටය.
එහෙත් අපාය සහාය මිතුරන් ඇසුරු කිරීමට ලැබීමත් සමඟ දවසින්, දවස ඔහු නිරයටම තල්ලූ විය.
ගංජා සුරුට්ටුවෙන් ඔබ්බට ගිය ඔහු මත් පෙති, පැණි, රා අරක්කු නා නා විධ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තේය. අන්තිමේ ඔහු මත් කුඩුවලට ද ඇබ්බැහි විය.
එපමණක් නොව තම කුලී ත‍්‍රිරෝද රථයෙන් කුඩු ප‍්‍රවාහනය කරන මත් ජාවාරම්කාරයෙක් ලෙසට පත් විය. එහෙත් ඒ මුදලට නොව, කුඩු පැකට් එකටය.
මත් කුඩුවලට ඇබ්බැහිවීමත් සමඟ ඔහුගේ සියලූ ජීවන බලාපොරොත්තු කුඩු වී, මත් කුඩු ජීවිතය විය.
මත්ද්‍රව්‍යයට යට වී දවසින් දවස විනාශ වනවා දැක සිත් වේදනාවට පත් දෙමව්පියන් සහ ඔහුගේ ආදරණිය බිරිඳ ‘පැල්මඬුල්ලේ මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයට’ කතා කර ඔහුව රැගෙන ඒමට කටයුතු කළහ. අවුරුද්දකට ඉහතදී ‘මිතුරු මිතුරෝ’ පවුලට එකතු වූ ඔහු දැන් අප ඉදිරියේ සිටී.
හීන්දෑරී තළෙළු හේ පෙනුමෙන් අහිංසකය. එහෙත් ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමත් සමඟ අංගුලිමාල කෙනෙක් විය.
මිනිසුන් මරා ඇඟිලි නවසිය අනූනවයක් කපා මාලයක් සේ ගෙලේ දමාගෙන සිටි අංගුලිමාලත් බුදුරජාණන්වහන්සේ ඉදිරියේ දණින් වැටිණි.
අවසානයේ අංගුලිමාල බුදුන්ගේ ධර්මය අවබෝධ කරගෙන බුද්ධ පුත‍්‍රයෙක් විය. මිතුරු මිතුරෝ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, කුප්පියාවත්තේ බෝධානන්ද හාමුුදුරුවෝද බුද්ධ පුත‍්‍රයකු ලෙස අපේ කාලේ අංගුලිමාලලා දහස් ගණනක් මේ වන විට සුමඟට ගෙන ඇත.
දැන් අප ඉදිරියේ සිටින මේ තරුණයා ද මිතුරු මිතුරෝ පවුලට එකතු වන විට දඩබ්බර කෙනෙකි. තම දෙමව්පියන් බලහත්කාරයෙන් මිතුරු මිතුරෝ පවුලට එකතු කළ පසු ඔහු නැවතත් අහිංසක විය. දැන් අපි ඔහුට ‘අහිංසක’ ලෙස නම් තබමු.
‘අහිංසක කියලා කතා කළාට කමක් නැද්ද.’ මගේ පැනයට ඔහු සිනාසුණේය. හකු ඇට ඉලිප්පී ගිය මුහුණේ රැුඳුණු ඒ සිනාව තුළ මගේ පැනයට විරුද්ධත්වයක් නැති බව මට වැටහිණි.
‘ඔයාට මතකද මුලින්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු දවස…’
‘‘නෑ… අයියේ මට ඒ කිසිම දෙයක් මතක නෑ… ඒ කාලකණ්ණි අතීතය මතක් කරන්නවත් මම කැමති නෑ…’’ ඔහුගේ මුහුණ පුළුටු වී ගියේය.
‘‘මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා තමයි මගේ ජීවිතයම විනාශ වුණේ. නැති නම් මට ලස්සනට ජීවත් වෙන්න තිබුණා.
අපේ පවුලේ පිරිමි දරුවකුට හිටියේ මම විතරයි. එකම සහෝදරියයි. නංගි වැඩ කරන්නේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. අම්මා රෙදි බතික් කරන පොඩි වැඩපලක් කරගෙන යනවා. අපිට ගොඩක් කුඹුරු තියෙනවා. ගොඩ ඉඩම් තියෙනවා. අදටත් ඒ කුඹුරු අස්වද්දන්නේ තාත්තා. මගේ වයිෆ්, දරුවො දෙන්නා ජීවත් කරවන්නෙත් අපේ පවුලෙන්…’
‘දැන් ඔයාට වයස කීයද…’ දරුවො දෙදෙනකුගේ පියෙක් බව දැනගත් පසු ආයාසයෙන්ම ඒ පැනය මගේ මුවින් ගිලිහුණේ ඔහු තවමත් පෙනුමෙන් ලාබාල වූ නිසාය.
‘‘තිස් හයයි… කසාද බැන්දේ විසි දෙකෙන්. දැන් මගේ පුතාට අවුරුදු දහයයි. මම මේ පන්සලට එනකොට වයිෆ්ට දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නවා.
දැන් දරුවා හම්බවෙලා. දුවක්… ඒත් මම තවම දැක්කෙ නෑ…’’ ඒ කතාවත් සමඟ සිත් මණ්ඩියම පිච්චෙන බව ඔහුගේ වෙනස් වන ඉරියව්වලින් පෙනිණිි. ඔහුගේ විඳවීම මට දැනිනි. එහෙත් ඔහු අද විඳවන්නේ තමන් විසින් ජීවිතයට එකතු කර ගත් නරක පුරුදු නිසාය.
‘‘මම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණේ යාළුවො නිසා. ඉස්කෝලේ මාත් එක්ක හිටිය අයම තමයි ගමේදීත් සෙට් වුණේ. මට හොඳට සින්දු කියන්න, ඩොල්කි ගහන්න පුළුවන් නිසා කොතැනද සෙට් වෙන්නෙ අපේ ගෙදරට ඇවිත් මාවත් අරගෙන යනවා. මමත් කිසිම කෙනෙකුට බෑ කිව්වේ නෑ.
එහෙම ගියාම බොන්න, කන්න මට වියදම් වුණෙත් නෑ. ඒත් කුඩුවලට තදින්ම ඇබ්බැහි වුණාට පස්සේ ගෙදර අම්මගේ, තාත්තාගේ සල්ලිත් හොරකම් කළා.
‘මම මේ කරන්නේ වරදක්…’ කියලා හිතුණට කුඩු සික් එක ඇඟට දැනෙනකොට පිං පෙට්ටියක් කඩාගෙන ගිහින් හරි කුඩු පැකට් එකක් ගන්න හිතුණා.
මොහොතකට හරි පියවි සිහියට එනකොට මම කරපු දේවල් ගැන දුකක් ඇති වෙනවා.
පුතත් ලොකු නිසා මේ හැම දෙයක්ම නතර කරන්න ඕනා කියලා හිතුණ වාර අන්නතයි. ඒත් ඒ මොහොතට විතරයි. කුඩු සික් හැදුණාම සියලූ දේ අමතක වෙනවා. සමහර දවස්වලට අරක්කු, ගංජා, කුඩු, ගුලි සේරම ගන්නවා. එතකොට නම් මත් අච්චාරුවක් වෙලා මොළේ විකාර වෙනවා. එහෙම දවසට ගෙදර යන්නේ පහුවෙනිදා තමයි.
සමහර යාළුවොත් එක්ක ගංජා හේන්වලට ගිහින් අරක්කු, ගංජා බීලා සින්දු කියලා ෆුල් ආතල් අරගෙන ඇවිත් තියෙනවා.
ඒ තැන්වලට අරගෙන යන්නේ මම හොඳ විශ්වාසවන්ත යාළුවෙක් වෙච්ච නිසා. අදටවත් මම ඒ විශ්වාසය කඩ කරලා නෑ…’’ ඔහු කියන කතාව සැබෑ විය හැක. ඔහු ගිය ගංජා හේන් ගැන මම හාර අවුස්සමින් ඇසුවෙමි. එහෙත් වචනයක් පිට කළේ ඔහු නොවේ.
‘‘ගංජා හේන්වල වැඩ කරන අය ඔතන සුරුට්ටුව නම් ලොවෙන් හම්බ වෙන්නෙ නෑ. ඒක අමුතු ටේස්ට් එකක්.
ඒ වගේම ඒ ගංජා සුරුට්ටු මද පමණින් අරගෙන වැඩට බැස්සොත් ගස් ගල් වුණත් පෙරළන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා කියලා මට දැනුණා. ඒ වගේම වාඩියේ දඩමස් වෑංජනය ඊට දෙවැනි නෑ. පුදුම රසක්. මම ගිය හැම ගංජා හේනකදීම හොඳ රසට කෑම බීම ලැබුණා.
සමහර හේන්වල මට නතර වෙන්නත් කියලා තියෙනවා. එහෙම යෝජනා කරන්නේ මම හොඳ විශ්වාසවන්තයෙක් කියලා තේරුණාට පස්සෙයි. ඒ වගේම තමයි පිටින් යන අය හේනෙ වැඩ කරන අයට සැක හිතුණොත් ආයෙත් පණපිටින් ඒම බොරු. සදාකාලික අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක් වෙනවා. එහෙම දේවල් ඕන තරම් වෙනවා. ඒවා දන්නෙ ගංජා හේන්වල වැඩ කරන මිනිස්සු විතරයි…’’
‘‘සමහර ගංජා හේන්වලට ගියාට පස්සෙ ආයෙමත් ගෙදර එන්නෙ සතියකට, දෙකකට විතර පස්සෙ.
කාලා බීලා සුරුට්ටුව ගහගෙන ඉන්නකොට ගෙවල් අමතකයි. ඒක අමුතු ලෝකයක්. දැන් තමයි මට හිතෙන්නෙ ඒක පව්කාර ලෝකයක් කියලා. මම වැඩ කළේ දරුවො ගැනවත් හිතලා නෙමෙයි අයියෙ… මම ජීවිතය කරගෙන හිටියේ ගංජා, කුඩු, යාළුවො විතරයි. ගොවිතැන් වැඩවලටවත් තාත්තාට උදව් වුණේ නෑ. අම්මගේ බතික් වැඩවලට මම උදව් කළේ නෑ. උදේ ගෙදරින් එළියට බැස්සට පස්සෙ හැන්දෑ වෙනකම්ම ගංජා, කුඩු බිබී ඇවිද්දා. ගෙදර ගියේ නිදාගන්න ඩිංගට විතරයි. මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන විත්තිය වයිෆ්ටත් තේරිලා තිබුණේ.
ඒත් අපේ ගම්වල ගංජා සුරුට්ටුවක් බොන එක සාමාන්‍ය දෙයක්. එයට වඩා විෂ දෙයක් පාවිච්චි කරන විත්තිය වයිෆ්ට තේරුණාට පස්සේ නිතරම නෝක්කාඩුවීම් ඇති වුණා. ඒත් කිසිම දවසක ගහ මරා ගන්න තැනට ආරවුල් දික් ගැස්සුණේ නෑ. මගේ වයිෆ් බුද්ධිමත් නිසා තමයි අදටත් මාත් එක්ක ඉන්නෙ. නැති නම් මෙලහකට දික්කසාද වෙලා ගිහින්. ඒ වගේම මාව මත්ද්‍රව්‍යවලින්
බේරගන්න අම්මයි, තාත්තයි පුදුම විදිහට වලි කෑවා. අන්තිමේ මම කියන කිසිම දෙයක් ගෙදරින් පිළිගන්නේ නැතිව ගියා.
ගමේ අය මම ගැන කියන කයි කතන්දර සේරම පිළිගත්තා. ඒක මට අවුල් වුණා. ඒත් මම ගෙදර කිසිම කෙනෙක් එක්ක කටගහගෙන ගියේ නෑ. මට හිතට දුකක් දැනුණු ගමන් පොට් එකකට දුවගෙන
ගිහින් කුඩු ටිකක් හරි ගංජා ටිකක් හරි බොනවා. සමහර දවස්වලට ගෙදරට යන්නෙ නැතිව ත‍්‍රීවීල් එකේ නිදා ගන්නවා..’’
‘අපේ ත‍්‍රීවීල් පාක් එකත් තනිකරම මත්ද්‍රව්‍ය විමානයක්. හැම කෙනෙක් අතේම මොනවාහරි චුට්ටක් තියෙනවා.
අතේ සතේ නැති වුණත් පාක් එකට ගිහාම ඇති වෙන්න මත් වෙන්න පුළුවන්. මම මේ පන්සලට එන්න සතියකට ඉස්සර වෙලා අපේ ත‍්‍රීවීල් පාක් එකට වලාන පොලිසියෙන් පැනල ගංජා, කුඩු තිබුණු අටදෙනෙක් පොලිසිය අරගෙන ගිහින් තිබුණා. මගේ වෙලාවට පොලිසියෙන් පනින වෙලාවේ මම හයර් එකක් ගිහින් හිටියේ.
මම පොලිසියට මාට්ටු වුණා නම් අවුරුදු ගානකට හිරේ. එදා මගේ ත‍්‍රීවීල් එකේ කුඩු ග‍්‍රෑම් දෙකක කුඩු පැකට් තිබුණා. ඒ සිද්ධියෙන් පස්සෙ මට ලොකු බයක් දැනුණා.
මගේ ජීවිතේට මම පොලිස් කුඩුවක ඉඳලා නෑ. උසාවියකට ගිහින් නෑ. මගේ තිබුණු වරද මිනිස්සු එක්ක රන්ඩු සරුවල් ඇති කරගන්න එක මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක සහ යාළුවො කියන තැන්වලට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරලා දෙන එක. ඒත් ගංජා කුඩු ප‍්‍රවාහනය කරන එක නතර කරන්න බෑ.
එහෙම වුණොත් කුඩු බොන්න සල්ලි නැති වෙනවා. හිටි ගමන් අමුතු වුණේ මොකද කියලා ඕනර් සැක හිතනවා. ඒක ලොකු අවුලක්. පස්සේ මම පාක් එකට යන එක අඩු කළා. ඒත් මාව පොලිසියෙන් හොයන බව නංගිට ආරංචි වෙලා තිබුණා. නංගි වැඩ කළේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. ඊට පස්සේ නංගි මටත් නොකියා මේ පන්සල ගැන තොරතුරු හොයාගෙන ගෙදර අයට කියලා තිබුණා. දවසක් මාමලාගේ ගෙදර යනවා කියලා පවුලේ සේරම වාහනයක් අරගෙන ආවා.
මම දැනගත්තේ පන්සලට ආවාට පස්සෙ. මට ලොකු තරහක් ආවා. ඒත් මට නැවත ගෙදර යන්න ලැබුණේ නෑ. මෙහෙම තැනකට එන්නෙ කියලා එදා දැන ගත්තා නම් මම එන්නේ නෑ. ඒත් මේ ආයතනයට මාව ගෙනත් භාර දුන්නට අද මම පවුලේ අයට පිං දෙනවා…’’
‘‘දැන් මම සියලූ මත්ද්‍රව්‍යයෙන් මිදිලා ඉන්නෙ. නැවත කිසිම දවසක සිගරට් එකක්වත් බොන්නෙ නෑ.
සිගරට් එක තමයි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන මුල. ඕනෑම මත්ද්‍රව්‍යයකට තදින්ම ඇබ්බැහි වෙනවා කියන්නේ අපි ලෙඞ්ඩු වෙනවා කියන ඒක.
මේ ආයතනයට මම එනකොට මගේ ශක්තිය හොඳටම හීන වෙලා තිබුණේ. ඒ වගේම විෂ දුමට පෙනහලූ තැම්බිලා පොඩි කැස්සටත් අමුතු ගඳක් කටෙන් ආවා. ඒක බොක්කෙන්ම ආපු ගඳක්. පපුව දැවිල්ල ගත්තා. දැන් ඒ කිසිම අමාරුවක් නෑ. ඒ වගේම ඉස්සර මම කෙනෙක්ගේ මූණ දිහා බලාගෙන කතා කළේ නෑ. ඒ තරම්වත් මට පෞරුෂයක් තිබුණේ නෑ.
දැන් නම් මට දේශපාලන වේදිකාවක වුණත් කතා කරන්න පුළුවන්. ඒ මානසිකත්වය සහ පෞරුෂය හැදුවේ මේ ආයතනයෙන්.
දැන් මම ආත්මශක්තියෙන් පිරිපුන් මිනිහෙක්. ඕනෑම සමාජයකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්.
ඒ නිසා දැන් මගේ එකම සිහිනය මේ ආයතනයෙන් ගිහින් අම්මගේ බතික් ව්‍යාපාරය දියුණු කරගෙන පවුලේ අයත් එක්ක සතුටින් ජීවත්වීමයි…’’
අහිංසක ප‍්‍රාර්ථනා කරන සතුට වැඩි ඈතක නැත. තව නොබෝ දිනකින් සම්පූර්ණයෙන්ම මතින් නිදහස් වූ ඔහු සමාජගත වන බව අපට දැනගැනීමට ලැබිණි. දැන් අපේ සතුට ඔහු ගමට ගොස් නැවත අපාය සහායක මිතුරන් ඇසුරට නොවැටී යහපත් පුද්ගලයකු ලෙස සමාජයේ ජීවත් වනු දැකීමය..

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!