Gossip

“මගේ වයස අවුරුදු 101 යි.. මම දරු මුණුපුරෝ 126 දෙනෙකුගේ අම්මා කෙනෙක්” – මැරවල බේබිනෝනා

“මගේ වයස අවුරුදු එකසිය එකයි. මම දරු මුණුපුරෝ එකසිය විසි හයදෙනෙකු ඉන්න අම්මා කෙනෙක්.” ඇය කතාව පටන්ගත්තේ එහෙමය.
ඒ වචන කිහිපයෙන් කියැවෙන කතාවට සරිලන බරක් එය පැවසූ ස්වරයෙහිද දැවටී තිබිණි.
එවැනි ආඩම්බරකාර ප්‍රකාශයක් කළ හැකි අය ඉන්නේ ලෝක ජනගහනයෙන් කොයි තරම් අතළොස්සක්ද? හලාවත මැරවල ජනපදයේ ජීවත් ඇය, වඩිගසිංහගේ මර්ලින් ප්‍රනාන්දු මාතාවයි. ප්‍රදේශයේ කා අතරත් ඇය ප්‍රසිද්ධව ඇත්තේ “බේබි නෝනා” යන නමිනි.
“මට දරුවෝ දොළොස් දෙනෙක් ඉන්නවා. මගේ බාල පුතාගේ වයස අවුරුදු පනස් හයයි.
ලොකුම මුනුපුරාගේ වයස අවුරුදු හැට එකයි.” ඇය සිය අනගි වංශ කතාවේ තවත් උදෘතයක් ගෙන හැර පෑවාය. අත බලා සාස්තර කීම සේම වත බලා සාස්තර කීමටද බොහෝ දෙනෙකුට හැකිය.
මා බේබි නෝනාගේද වත දෙස බලා ඇය ගැන සිතින් සාස්තර කියමින් සිටියදී, ඇගේ අටවැනි දියණිය ලාලනී සුවිනීතා මගේ මුහුණ බලා සාස්තරයක් කීවාය.
” අම්මට හොඳට කතා කරන්න පුළුවන්. හොඳ මතකයක් තියනවා.
නමුත් අම්මගෙන් යමක් දැන ගන්න ඒක ලේසි නැහැ.
ඒක හරියට ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ”
පසුගිය 17 වැනිදා බේබි නෝනා මාතාවගේ නිවසට මා යන විට ඇගේ දරු මුනුපුරන් පිරිසක් මා එන පෙරමග බලා සිටියෝය. ඔවුන් එලෙස සැදී පැහැදී සිටියේ මා පෙරදින එම නිවසට ගොස් පසුදින පැමිණෙන බව දන්වා තිබීම හේතුවෙනි.
බේබි නෝනා මේ වන විට එක් තැන්ව සිටින්නේ මිට වසර හයකට පෙර සිදුවූ අනතුරක් හේතුවෙනි. එහිදී ඇයගේ උකුල් ඇටය ආබාධයකට ලක්ව ඇති අතර එදින සිට කිසිවකුගේ ආධාරයක් නැතිව ඇයට ඔබ මොබ යා නොහැකිය.
“අම්මට හොඳට පේනවා. මීටර් සීයක් දෙසීයක් දුර ඉන්න කෙනෙක්වත් හදුනාගන්න පුළුවන්.
පොඩි අකුරුත් පේනවා. හොඳට කන් ඇහෙනවා.” බේබි නෝනාගේ දසවැනි දියණිය මේරියන් ශ්‍රීමතී පැවසුවාය.
“හරි බලමුකෝ මේක කියවන්න පුලුවන්ද කියලා මම බේබි නෝනාගේ වැඩිහිටි හැදුනුම් පත ඇය අත තැබීමි.
මා පුදුමයට පත් කරමින් ඇය අකුරු ගළපමින් කියවන්නට වූවාය. ඩ…බ් මා..ර්ලි.. න් ප්‍රනාන්දු.. නොම්මර තිස් හය, මැරවල ජනපදය, හලාවත.
ෂා…නියමයිනේ … අම්මා දක්ෂයි …මේ වචන කීපය මගේ මුවින් පිටවීමත් සමග බේබි නෝනාගේ වත පෙරට වඩා පියකරු වූ අතර මුවට සිනාවක්ද නැගිණි . ඒ සිනහව මගේ කැමරා කාචයේද සටහන් කර ගැනීමට මට හැකිවිණි.

අකුරු සතර
බේබි නෝනා තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාය. ඇගේ නැගණියන් දෙදෙනාගෙන් එක් අයකු තවමත් ජීවත් වන අතර අනෙක් නැගණිය මීට ටික කලකට පෙර මියගොසිනි. මැරවල ග්‍රාමයේ කුඩා කල සිටම ජීවත්ව ඇති බේබි නෝනා අධ්‍යාපනය ලබා ඇත්තේ මැරවල රෝමානු කතෝලික විදුහලිනි.
”මම ඉස්කෝලේ ගියේ තුනට විතරයි. ඊට එහා ඉගෙන ගන්න පුළුවන් වත් පොහොසත් කමක් අපට තිබුණේ නැහැ.
ඉස්කෝලේ ගමන නතර වුණාට ගෙදර දොරේ වැඩ කරගෙන ජීවත් වුණා. මගේ අම්මා හලාවත ටවුන් එකේ වෙළෙඳාම් කළා. අම්ම කළේ බුලත් විටට කන හුණු විකුණපු එකෙ. මගේ අම්මගේ නම මේරි ඇග්නස් මගේ ලොකු නංගී මේරි හිල්ඩා එයා දැන් නැහැ. පොඩි නංගි සුපිරියට් ඉන්නවා එයාටත් දැන් අනූව පැනලා” ඇය පියා ගැන සඳහනක් නොකළාය. ඇය මට පිළිතුරු දීමට ආරම්භ කළ අවස්ථාවේ ඇගේ වතේ තිබූ සිනහව හා පැහැදිලි බව පිළිතුර අවසානයේ දකින්නට නොලැබිණි. ඉන් කියවුණේ ඇයට ළමා වියේ විඳීමට සිදුවූ කටුක අත්දැකීම් මිස වෙනත් දෙයක් නොවන බව මට සිතිණි.

බණ්ඩා සාරිය
බේබි නෝනා දරුවන්ට මහත් ආදරයක් දක්වන බව මට මනාව පසක් වූයේ ඇගේ බාල පුතණුවන් පැමිණි විටයි. දැන් ඇය වටා ඇගේ දරුවන් තිදෙනෙකු සිටින අතර මුනුපුරු මිනිපිරියන් කීප දෙනෙක්ද සිටිති.
බාල පුතුණුවන්ගේ පැමිණීමත් සමග ඇයගේ වත කමල බැබිලිණි. ඇයගෙන් යමක් දැනගැනීමට මෙය හොඳ අවස්ථාවකි. මේ සදහා යොදා ගත යුත්තේද ඇගේ බාල පුතුණුවන්ය. අම්මේ කොහොමද තාත්තාව හම්බ වුණේ කියන්නකෝ… බේබි නෝනාගේ බාල පුතුණුවන් වන අයිවන් ප්‍රියන්ත මහතා සිය මවගෙන් විමසුවේ මා වෙනුවෙනි.
“මම විල්බට් විවාහ කර ගත්තේ යාළු වෙලා. එයා ඇහුවා මම ‘හා’ කිව්වා. එකට මගේ දෙමාපියොත් කැමති වුණා. ජයට මගුල ගත්තා. මම ඇන්දේ ‘බණ්ඩා සාරිය’ හැබැයි ඒක ගවුමකුත් නෙමෙයි සරියකුත් නෙමෙයි. බැලු බැල්මට පෙන්නේ සාරියක් කියල තමයි. මේක කොටස් දෙකයි. යට කොටස දිග සාය. උඩ කොටස හැට්ටය. මේ හැට්ටේ අත් දිගයි. අත් බෝරිච්චි කරලා හරීම ලස්සනයි.” බේබි නෝනා කියා ගෙන කියා ගෙන යයි.
“තාත්තා මොනවාද අම්මට දුන්නේ …” අයිවන්ගේ දෙවන පැනයද ඇය වෙත යොමු විණි .
කිසිවෙකුත් නොසිතුවක් ඇගෙන් කියැවිණි ………! සියලු දෙනාට සිනහව පාලනය කර ගත නොහැකි විණි. පරම්පරා තුනක් මහා සිනා සාගරයක ගිලී ගියේය. මේරි නෝනාද සිනාසුණාය. ‘මේකනම් ලියන්න එපා’ අයිවන් සිනාසෙමින්ම ඉල්ලුවේය.
“ළමයි 12ක් ඉන්නේ… වෙන මොනවා දෙන්නද ඉතින් “….. බේබි නෝනා, තමන් කියූ දේ මට ලියන්නට හැකි පරිදි සංස්කරණය කර පැවසුවාය.

රුපියල් විස්ස
“අපි කුඩා කාලේ තාත්තා කළේ හුණු පෝරණු රස්සාව. පුත්තලමේ තමයි මේ හුණු පොරුණු තිබුණේ” අයිවන් තම කුඩා කාලය ආවර්ජනය කරයි.
“අම්මා හැම සතියකම මාවත් එක්කගෙන යනවා පුත්තලමට සල්ලි ගේන්න. තාත්තා අපිට සතියේ වියදමට දෙන්නේ රුපියල් විස්සයි. අපි 13 දෙනා මුළු සතියක්ම ජීවත්වෙන්නේ මේ රුපියල් විස්සෙන් තමයි.” සිය බාල පුතුගේ මේ ප්‍රකාශයත් සමග මෙතෙක් නිහඩව සිටි බේබි නෝනා නැවතත් සිය කටහඬ අවදි කළාය.
“ඒ විස්සෙන් ජීවත් වෙන්න බැහැ. මම ගොඩක් වැඩ කළා. පොල් අතු විව්වා. කලපුවට බැහැල බෙල්ලෝ ගොඩ දැම්මා. ගෙවල් ගානේ ගිහින් කුලී වැඩ කළා. මට අවුරුදු හැත්තෑව වගේ වෙනකම්ම මම වැඩ කළා. එහෙම තමයි මේ දරුවෝ හැදුවේ. අද මට මගේ දරුවෝ ගැන සතුටුයි. මට කවනවා, පොවනවා, නාවනවා. එක්කෙනෙක් මගේ ළගින් යනකොට අනෙක් කෙනා එනවා. මගේ බාල පුතා පොඩි අයිවන් මාව හොඳට බලා ගන්නවා. එයාගේ නෝනා, එයත් එහෙමයි. දරු මුනුපුරොත් එහෙමයි.

දිය බත්
දරුවන් සමග ඉඳ ගත් සමූහ ඡයාරූපයකට මුහුණ දුන් පසු, බේබි නෝනා මාතාව වඩාත් ප්‍රබෝධයෙන් කතා කළාය.
” මම ළමයි හැදුව හැටි, උඩ ඉන්න දෙයියෝ විතරයි දන්නේ. සමහර දවසට, දවසටම එක වේලයි. ඒත් කවුරුත් ලෙඩ වුණේ නැහැ. මොකද පුළුවන් වෙලාවට හොඳ, රස, ගුණදායි කෑම් වේලක් දුන්නා. අද කාලේ නම් ගෑස් කියයි, ගැස්ට්‍රික් කියයි උපන්දා සිට ලෙඩ. එදා මේ ලෙඩ අපේ ළමයිට තිබුණේ නැහැ. මොකද මම මගේ ළමයින්ට දියබත් දුන්නා. මේ දිය බත් කාලා ඒ වතුර බිව්වම දරුවන්ට ලොකු ශක්තියක් අවා. දිය බත් වතුර හදා ගන්නේ රෑ ඉතුරු වෙන බත්වලට වතුර ටිකක් දාල රතුලූනු ගෙඩි කීපයක් දානවා. ඊට පස්සේ ටිකක් වෙලා ළිපේ තියලා ඒ වතුර පෙරලා දරුවන්ට බොන්න දෙනවා. ඊට පස්සේ පොල් කිරි ටිකක් දාල මිරිස් කරලක් විතර පුච්චලා දානවා. මේක කෑවම සමහර දවසට ආයේ කෑම දෙන්නේ රෑට තමයි. ආයේ මොන ගෑස්ටික් වත් නැහැ.”

රැකවරණය
දිගාසිරි චාරිකාවේ මට හමු වූ බොහෝ දෙනෙකුට අහිමිව තිබූ දරුවන්ගේ ආදරය, රැකවරණය බේබි නෝනාට නම් අහිමිව නොතිබිණි.
දරු මුනුපුරන් වටකරගෙන ජීවත් වන ඇයට ඇති ඒකම කරදරය දරුවන්ගෙන් නිතර නිතර ඇසෙන “අම්මේ මේ ටිකත් කන්නකෝ. මේ සුප් ටික බිලා හිටියානම්” වැනි බල කිරීම්ය. ඒ නිසාදෝ බේබි නෝනා මා ගැනත් සිතන්නට ඇත්තේ කරදරකාරයකු ලෙසින් වන්නට පුළුවන.
ඇය අන්තිමට පැවසූ දෙයින් මට එවැන්නක් වැටහිණි. “ගහනවා ගහනවා ඉවරයක් නැහැ…
අහනවා අහනවා ඉවරයක් නැහැ. මොන කරදරයක්ද මේ? එසේ කියූ ඇය මා දෙස හොරැහින් බලා සිනාසුණාය.

ප්‍රසාද් පූර්ණමාල්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!