Gossip

“බුද්ධි අංශ නිලධාරින් යම් සුවිශේෂ තොරතුරක් ගෙනල්ලා ඒක ඉහළට දැන්නුවට පස්සේ ඒ තොරතුරට වුණේ මොකක්ද කියලවත් දන්නේ නැහැ. ” – ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල සති කිහිපයක සිට අඛණ්ඩ ප්‍රසිද්ධියක් සහ ජනප්‍රිතාවයක් උසුලන්නේ නම් ඔහු හෝ ඇය බොහෝ විට දේශපාලන චරිතයක්, ක්‍රීඩාවට සම්බන්ධ අයෙක්, කලා කටයුතුවල නිරත වන්නෙක් හෝ පාතාල චරිතයක් විය යුතුය.
එසේ නොවී තම අධ්‍යාපනයෙන්, දැනුමෙන් සහ පුහුණුවෙන් රටේ තීරණාත්මක කාරණාවක් වන ජාතික ආරක්ෂාව වැනි අතිශයින්ම බැරෑරුම් කාරණාවක් පිළිබඳව ඉතාමත්ම සන්සුන්ව අදහස් දක්වන පුද්ගලයෙක් පසුගිය දිනවල අප හමුවට පැමිණියේය.
පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමඟම ඔහුගේ මාධ්‍ය ආගමනය ඉතාමත්ම තීරණාත්මක විය.
මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරට පැමිණ සිටින ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු බුද්ධි තොරතුරු විශ්ලේෂණ උපදේශක ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හිමිකර ගෙන ඇති ආචාර්ය කොලොන්නේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද හිමිකර ගෙන ඇති අතර බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය හිමිකර ගෙන ඇත.
මේ දිනවල රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල මෙන්ම පුවත්පත්වලද ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින ආචාර්ය කොලොන්නේ සමඟ වර්තමානයේ රටේ උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතකට කියූ කතාවයි මේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීම පිළිබඳව බුද්ධි අංශ දැනුවත් කළා නම් සහ ඒ පිළිබඳව නියමාකාරයෙන් ක්‍රියා නොකිරීමෙන් ඔවුන් දුර්මුඛ වෙන්න පුළුවන් නේද? ඒකම සතුරාට වාසියක් වීමට සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් නේද?
මේ වගේ අවස්ථාවක වෙන්න ඕන මොකක්ද කියල මම නැවතත් ඇමෙරිකන් උදාහරණයකින් කියන්නම්. දෙවැනි ලෝක යුද්ධයට ඇමෙරිකාව සම්බන්ධ වෙන්නේ ඔවුන්ගේ පර්ල් වරායට ජපානය බෝම්බ දැම්මට පස්සේ. ජපානය පර්ල් වරායට බෝම්බ දානවා කියලා අමෙරිකා බුද්ධි අංශ කලින් දැනගත්තා. අමෙරිකානුවෝ කාලයක් තිස්සේම ජපාන රහස් පණිවිඩලට සවන් දෙන්න සමත් වෙලා හිටියා.
ඔවුන් එක් අවස්ථාවක ඔවුන්ට ඇහුණා ජපන් යුද ආඥාදායකත්වය පර්ල් වරායට පහර දීමේ නියෝගය නිකුත් කිරීම. පර්ල් වරායට එල්ල කරන ප්‍රහාරය ගැන දැනගත්ත ගමන්ම බුද්ධි අංශ විසින් ඒ කාලේ හිටිය ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් ඇතුළු ඉහළම බලධාරීන් දැනුවත් කළා. නමුත් ඊට නිසි පියවර ගත්තේ නැති නිසා ප්‍රහාරය වළක්වන්න බැරි වුණා. බුද්ධි අංශ නිලධාරීන් අතිශයින්ම කළකිරුණා මේ සිදුවීම ගැන.
ඒ එක්කම ජනාධිපතිවරණයකුත් ආවා. රූස්වෙල්ට් ජනාධිපතිට එරෙහිව තරග කළේ ඩිවේ කියලා අපේක්ෂකයෙක්. එයාට බුද්ධි අංශ එක්ක සමීප සම්බන්ධකම් තිබුණා.
එයා දැනගෙන හිටියා. බුද්ධි අංශ නිසි පරිදි තොරතුරු දුන්නත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධව ක්‍රියා නොකළ බවත් ඒ වන විටත් බුද්ධි අංශ දැඩිව කළකිරිලා සිටින බවත්.
මේ අවස්ථාවේදී සී. අයි. ඒ. ප්‍රධානියා හිටියේ ජෙනරාල් මාෂල්. ඔහු ඩිවේ මුණගැහිලා කිව්වා පර්ල් වරායට පහරදීම වළක්වන්න ජනාධිපතිවරයා කිසිවක් නොකර සිටීම ගැනත්, බුද්ධි අංශ කලකිරී සිටින බවත්, ඩිවේ දන්න බව. ඒ වුණත් මේ සිදුවීම මැතිවරණ වේදිකාවේදී පාවිච්චි කරන්න එපා කියලා ඒ එක්කම ජෙනරාල් මාෂල්, ඩිවේට කිව්වා. එහෙම වුණොත් ජපානය දැන ගන්නවා කියලා ඔවුන්ගේ රහස් පණිවිඩවලට අමෙරිකාව සවන් දෙනවා කියලා. ඒවා ඔවුන් වෙනස් කරන්න පුළුවන්, ඒ වගේම ඒවා වෙනස් නොකර ඒ මඟින් වැරදි තොරතුරු අමෙරිකානුවන්ට ලැබෙන්න සලස්වන්න පුළුවන් කියලා. අවසානයේ ඩිවේ ඒක පිළිගත්තා. එයා මැතිවරණ වේදිකාවට ඒක ගෙනාවේ නැහැ. මැතිවරණයෙන් ජනාධිපති රූස්වෙල්ට්ම දිනුවා.
නමුත් එතැනදි අපිට දකින්න පුළුවන් රටේ දැවෙන ප්‍රශ්නයක් ගැන කටයුතු කරද්දි තමන් ගැන නොසිතා රට ගැන හිතන්නේ කොහොමද කියලා. ඒක අපේ රටේ අයටත් ඉතා වැදගත්.

ඕනෑම සිදුවීමක් අපේ සමාජයට මතක තියෙන්නේ ඉතාම ටික කාලයක් කියන දේ සමාජ සම්මතයක් වෙලා. යුද්ධය වගේම සාමයත් පරිස්සමත් හැම දෙයක්ම එහෙමයි නේද?
එතනදි වෙන්නේ ජනතාව ඊට හැඩ ගැහෙන එක. යම් සිදුවීමක් වුණාට පස්සේ ඒ ගැන හිතලා ඒ සිදුවීම තුළම ඉන්නේ නැහැ.
ඒකට හැඩගැහෙනවා. උදාහරණයකට බස් රථවල, දුම්රියවල බෝම්බ පුපුරපු කාලෙදි ගෙදර අම්මයි තාත්තයි එක බස් එකේ එක දුම්රියේ ගමන් කළේ නැහැ.
ඒ ළමයි වෙනුවෙන් එක්කෙනෙක් හරි ඉතුරු වෙන්න ඕන කියලා. ඒක ඒ දිනවල ගත්තු කාලෝචිත සහ ප්‍රායෝගික හොඳ තීරණයක්. එහෙම නැතුව ගමන් බිමන් නොගිහින් හිටියේ නැහැ. ඒ තත්ත්වයට අනුව හැඩගැහෙන්න පුරුදු වුණා.
අමතක වීමක් හැටියට තමයි අපි ඒක දකින්නේ. නමුත් ඒක එහෙම දෙයක් නෙවෙයි. තමන්ට ආවේණික පියවර ගන්නවා ඒ තත්ත්වයට හැඩ ගැහෙන්න. ඒ තුළින් තමයි සාමාන්‍ය ජන ජීවිතය නැවත ගොඩනැඟෙන්නේ.

සාර්ථක රාජකාරියකින් පසු බුද්ධි අංශ නිලධාරීන්ට දැනෙන්නේ කුමක්ද? මොකද ඔවුන්ව සමාජය දන්නේ නැහැ? ප්‍රසිද්ධියක් නැහැ?
බුද්ධි අංශ නිලධාරීන් කියන්නේ තමන් කරන කාර්යයට කවදාවත් ප්‍රතිලාභ බලාපොරොත්තු නොවෙන පිරිසක්.
බුද්ධි අංශ නිලධාරින් යම් සුවිශේෂ තොරතුරක් ගෙනල්ලා ඒක ඉහළට දැන්නුවට පස්සේ ඒ තොරතුරට වුණේ මොකක්ද කියලවත් දන්නේ නැහැ.
ඒ අනුව ක්‍රියාත්මක වීම ඉහළ අයගේ කාර්යයක්. ඉහළ නිලධාරීන් ඒ කටයුත්ත කරනවා.
ඒක සාර්ථක තොරතුරක් වුණත් බුද්ධි අංශ නිලධාරියාට ප්‍රතිලාභයක් හිමි වෙන්නේ නැහැ ඒ තොරතුර ලබා දුන්නට. දැන් පොලිසියේ නිලධාරියෙක් යම් සාර්ථක තොරතුරක් දුන්නොත් ඔහුට ත්‍යාග හිමි වෙනවා. බුද්ධි අංශ නිලධාරීන්ට එහෙම ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන්නට තියෙන එකම ත්‍යාගය තමයි ආත්ම තෘප්තිය.
මම කියපු දේ හරහා වෙන්න ගිය ලොකු විනාශයක් මම වළක්වාගත්තා කියන ආත්ම තෘප්තිය. බුද්ධි අංශ නිලධාරීන්ගේ මනස හැඩ ගැහිලා තියෙන්නේ ඒ විදියට.

එකිනෙකට ප්‍රතිවිරුද්ධ බුද්ධි අංශ අතර තිබෙන ගැටුමකදි බලවත් වෙන්නේ කුමන හැකියාවක් තිබෙන පාර්ශ්වයද?
සාමාන්‍යයෙන් ඕනෑම ත්‍රස්ත සංවිධානයකට තියෙනවා බුද්ධි අංශයක්. එල්.ටී.ටී.ඊ. එකටත් තිබුණු බුද්ධි අංශයක් පොට්ටු අම්මාන් යටතේ. ප්‍රතිවිරුද්ධ බුද්ධි අංශ අතර ගැටුමකදි වඩාත්ම වැදගත් වෙන්නේ තමන්ගේ මිනිස්සු කොච්චර අනිත් පාර්ශ්වය ඇතුළේ ක්‍රියාකාරීව වැඩකරනවද කියන එකයි.
ඒ පැත්තෙන් ඉස්සරහින් ඉන්න පාර්ශ්වයට තමයි වැඩියෙන් ශක්තිය තියෙන්නේ. ඒ කියන්නේ එක් පාර්ශවයකට පුළුවන් නම් ඒ අයගේ මිනිස්සුන්ව ප්‍රතිවිරුද්ධ සංවිධානය ඇතුළට දාගන්න, එතන තියෙන ඉහළම මට්ටමේ තීරණ ගන්න අය ළඟට යවන්න, තීරණ ක්‍රියාත්මක කරන අය ඉන්න තැනට වඩා ඒක වටිනවා.
ඒ කියන්නේ බුද්ධි තොරතුරු දෙන නියෝජිතයන් කොටස් දෙකක් ඉන්නවා. එතන තීරණ ගන්න තැනට බුද්ධි අංශ නියෝජිතයෙක් දාගන්න එක තමයි බුද්ධි අංශයක පරමාර්ථය විය යුත්තේ. ඒ කියන්නේ තීරණ ගන්න මට්ටමේ තැනකට තමන්ගේ කෙනෙක් දාගන්න එක හරි, ඒ මට්ටමේ කෙනෙක්ව තමන් ළඟට ගන්න එක හරි තමයි කරන්න ඕන. එතකොට තමයි හරිම තොරතුරු එන්නේ. ඒක කල් යන වැඩක්. ඒ පැත්තෙන් සාර්ථක වෙන පාර්ශ්වය තමයි බුද්ධි අංශ අතර තියෙන සටනකදි බලවත් වෙන්නේ.
ත්‍රස්තවාදී සංවිධානයක් ගැන විමර්ශනය කරනවා නම් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ ප්‍රතිපත්ති තීරණ ගන්න කණ්ඩායමේ තොරතුරු තමයි අපිට ලැබෙන්න ඕන.
එහෙම ගන්න නම් අපේ එක්කෙනෙක්ව දීර්ඝකාලීනව සැලසුම්කරලා ඒ තැනට යවන්න ඕන. නැත්නම් ඒ පැත්තෙ කෙනෙක්ව ගන්න ඕන.
ඒකට උදාහරණයක් කියන්නම්. සදාම් හුසේන්ගෙ පුතාලා දෙන්නා අවසන් දින කිහිපයේ ගෙදරක සැඟවිලා හිටියා. සදාම් හුසේන් වැඩියෙන්ම විශ්වාස කරපු පුදගලයකුගේ ගෙදර තමයි ඒ දෙන්නා හිටියේ. අමෙරිකන් හමුදාව හරියටම ඒ නිවස ඉලක්කරලා එල්ල කරපු රොකට් වෙඩි ප්‍රහාරයකින් තමයි සදාම් හුසේන්ගේ පුතාලා දෙන්නා මිය ගියේ. ඔත්තුව ගියේ කාහෙන්ද?
අර සදාම් හුසේන්ගේ විශ්වාසවන්තම පුද්ගලයා වුණු ගේ අයිතිකාරයාගෙන් තමයි ඔත්තුව ගියේ. එයා ඔත්තුව දීලා ගෙදරින් එළියට ගියා.
එතැන වුණේ අමෙරිකන් ඩොලර් මිලියන 30ක ගනුදෙනුවක්. අමෙරිකන් රජයට ආර්ථික ශක්තිය තිබුණා මිලියන 30ක් දීල තමන්ට අවශ්‍ය කරන පුද්ගලයන් දෙන්නා ඉන්න තැන හරියටම දැන ගන්න. ත්‍රස්ත සංවිධානයක තීරණ ගන්න මට්ට්මේ අයට තමයි අපිට ප්‍රවේශය තියෙන්න ඕන. එතැන වැදගත්ම දේ තමයි ත්‍රස්තවාදී සංවිධානයේ අභ්‍යන්තරයටම අපිට කිඳා බහින්න පුළුවන්ද කියන එක.

ලෝකයේ තියුණුම බුද්ධි සේවය ලෙස හඳුන්වන්න පුළුවන් කුමන බුද්ධි සේවයද?
මගේ දැනීමේ හැටියට නම් මම හඳුන්වන්නේ ඊශ්‍රායලයේ මොසාඩ්. මොකද අනිකුත් බුද්ධි සේවා එක්ක බලනකොට ඒගොල්ලන් අතින් වෙලා තියෙන්නේ ඉතාමත්ම අඩු අතපසුවීම්. කාර්යක්ෂමව සහ සඵලව පවත්වාගෙන යන ඔත්තු සේවයක් හැටියට මොසාඩ් ඔත්තු සේවය හඳුන්වන්න පුළුවන්. ඒක මගේ පෞද්ගලික මතයක්.

ජනමාධ්‍යවලින් මේ අවස්ථාවේදී තරගයට වගේ සැකකරුවන් පෙන්වීම සහ ඉතා ඉක්මනින් මේ සම්බන්ධව පුවත් පළ කිරීම වෙනවා. ඇතැම් විට වැරදි ප්‍රවෘත්ති පළ කිරීම පවා සිදු වෙනවා. විශේෂයෙන්ම විමර්ශන නිලධාරීන්ට වගකීමක් නැද්ද සැකකරුවන් මාධ්‍යයට නොපෙන්වා සිටීමට අනවශ්‍ය අවස්ථාවලදි?
මාධ්‍යවලින් මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන. විමර්ශන නිලධාරීන්ට තියෙන්නේ හරිම අමාරු කාර්යයක්.
දැන් සැකකරුවන්ව අත්අඩංගුවට අරන් ජීප් එකට දාගන්න අවස්ථාවෙදි කැමරා අල්ලන එක විමර්ශන නිලධාරීන්ට වලක්වන්න අසීරුයි.
එතනදි ජනමාධ්‍ය අතර තියෙන තරගය අති ප්‍රබලයි. ජනමාධ්‍ය අතර තරගයක් තියෙනවා ප්‍රවෘත්ති සම්පාදනයට. අනිත් අයට ඡායාරූපය ගන්න බැරි තැනදි ඡායාරූපය ගන්න කෙනා තමයි වීරයා වෙන්නේ. වඩා ඉක්මනින් සහ පුළුවන්තරම් වැඩියෙන් හෙළිදරවු කරන කෙනාට එතනදි වීරත්වය ආදේශ කර ගන්නවා. මිනිස්සුත් වීරත්වය ආදේශ කරලා දෙනවා.
මිනිස්සුන්ට අවබෝධයක් නැහැ ඒ හෙළිදරවු කිරීම්වලින් වන අගතිය ගැන. අනිත් එක මම දකින්නේ බොහෝ වේලාවට ජනමාධ්‍යවලින් කරන්නේ දැනුවත් කරනවාට වඩා කුතුහලය අවුස්සන එක. ඊළඟට වෙන්නේ මොකක්ද, ඊළඟට වෙන්නේ මොකක්ද කියලා දැනගන්න මිනිස්සුන්ව තමන් ළඟම රඳවලා තියාගන්න එක තමයි බොහෝ ජනමාධ්‍ය කරන්නේ. ජනමාධ්‍යවේදීන්ට දොස් කියන්න බැහැ, ඒගොල්ලන්ගේ රැකියාව ඒක.

ජනමාධ්‍යවලින් ප්‍රමුඛත්වය දෙන්නේ අවශ්‍යම පුවත්වලටද?
අපි ඕනෑම පත්තරයක් ගත්තම ඒකේ ප්‍රධාන සිරස්තලය වෙන්නේ ඊට කලින් පැය 24ක් ඇතුළත සිදුවුණු මිනිස්සුන්ට කිසිම තේරුමක් නොවන ප්‍රවෘත්තියක් වෙන්නත් පුළුවන්, සමහර විට කොහේවත් ඉන්න පාතාලයෙක්ව වීරයෙක් කරන ප්‍රවෘත්තියක් වෙන්නත් පුළුවන්.
පාතාල නායකයෙක් රටක ප්‍රවෘත්තියක ප්‍රධාන සිරස්තලයට එනවා කියන්නේ මට තේරුම් ගන්න බැරි දෙයක්. මේ වගේ අනවශ්‍ය පුද්ගලයන්ව ජනමාධ්‍ය විසින් ප්‍රබල පුද්ගලයන් බවට පත් කරන එක අපරාධයක්. පාතාල ගැන කථාකරනකොට පාතාල නායකයෙක් ගැන ප්‍රධාන සිරස්තල දාන එක මම දකින්නේ ඒක සමාජයට කරන අපරාධයක් විදියට.
මුල් පිටුවට ගියාට කමක් නැහැ, හැබැයි ඒක ප්‍රධාන ප්‍රවෘත්තිය නොකරගත යුතුයි. මොකක් හරි දැනගත්තු ගමන් ඒකට උපරිම ප්‍රචාරය දෙන්න තමයි ජනමාධ්‍ය උත්සාහ කරන්නේ. එතැනදි ජනමාධ්‍යවේදීන් මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න ඉගෙන ගන්න ඕන. අනවශ්‍ය පුද්ගලයන් වීරයන් නොකර.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!