Gossip

ඒ හැඟීම බයක්ද පිළිකුලක්ද කියලා වෙලාවකට මමම කල්පනා කරනවා – අද ඉඳලා ඒ රහසත් හෙළි වෙනවා – වොල්ගා කල්පනී

ගොඩක් දෙනෙක් කැමතියි සුරතල් සතුන් ආදරයෙන් ඇති දැඩි කරන්න. මේ විදියට විවිධාකාර සත්තු ඇති දැඩි කරන අය අප අතර ඕනෑ තරම් ඉන්නවා. මමත් එහෙම තමයි. ඉස්සර මම සුරත‍ලේට ඇති කරපු බල්ලෙක් හිටියා. දැන් නම් කාර්ය බහුලකම හින්දා බල්ලෝ හදන්න මට වෙලාවක් නැහැ.

හැබැයි ඉතින් බොහොමයක් දෙනා සුරතල් සතෙක් විදියට ඇති කරන එක්තරා සතෙක් ඉන්නවා. මම මේ ලෝකෙ වැඩියෙන්ම බය සත්තු අතර එයත් ඉන්නවා. අලි, කොටි, වලස්සු, සර්පයෝ වගේ අයනේ අපි හැමෝම භයානක සත්තු විදියට නම් කරන්නේ. ඒත් මට නම් ඔය සත්තු අතරට මම මේ කියන කෙනාගේ නමත් ඇතුළත් කරන්න වෙනවා. මගේ මේ සත්ව භීතිකාව ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි ඉතින් අද ඉඳලා ඒ රහසත් හෙළි වෙනවා.

හැමෝම ආදරය කරන බොහෝ අය සුරත‍ලේට ඇති කරන “පූසා” තමයි මට පෙන්නන්නට බැරි භයානකම සතා, පූසෙක් මගේ ඉස්සරහට එනකොට මට ඇතිවෙන්නේ සර්පයෙක්, කොටියෙක්, වලහෙක් මගේ ළඟට එනවා වගේ හැඟීමක්. ඒ හැඟීිම බයක්ද පිළිකුලක්ද කියලා වෙලාවකට මමම කල්පනා කරනවා.

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් තමන්ගේ ගෙවල්වල හුරත‍ලේට පූසන් ඇති කරනවානේ. මම මේ විදියට පූසන්ට බයයි කියලා දැන ගත්තම සමහරු මගෙන් අහනවා “අ‍පොයි දෙයියනේ මොන හේතුවක් හින්දද ඔය විදියට පූසන්ට බය?” කියලා. හැබැයි ඉතින් ඒකට නම් පැහැදිලි උත්තරයක් මගේ ළඟ නැහැ. මොකද යන්තම් තේරෙන වයසේ ඉඳන් මම පූසන්ට බයයි. ඒත් අම්මා නම් කියන්නේ වෙනස් කතාවක්. මම චූටිම කා‍ලේ ඒ කියන්නේ වයස 3,4 විතර කාලෙදී අපේ ගෙදර සුරතල් පූස් පැටව් කීප දෙනෙක්ම හිටියලු. ඒ කා‍ලේ මම මේ පූස් පැටව් ටික ළං කරගෙන සෙල්ලම් කරනවාලු. ඔය දවස්වල මම නිතරම මල්ලක් කරේ දාගෙනලු ඉන්නේ. එක දවසක් අම්මා බලනකොට හිටපු පූස් පැටව් අතරින් එක පූස් පැටියෙක් අඩුයිලු. බලනකොට මම ඒ පූස් පැටියව අර මල්ල ඇතුළේ දාගෙන ඉන්නවාලු. හැබැයි මට ඔය සිද්ධිය මතක නෑ. මම පුංචි කා‍ලේ අපේ ගෙදර පූස් පැටව් හිටියද කියලවත් මතක නැහැ. හැබැයි මට මතක ඇති කාලෙක ඉඳන් අපේ ගෙදර පූසන් ඇති කළේ නැහැ. ඒ මම හින්දා.

අපිට රඟපෑම හින්දා ලංකාවේ විවිධ තැන්වලට යන්න සිදු වෙනවානේ. ඒ විදියට කොහේ හරි දර්ශන තලයකට යද්දී ඈතින් හරි පූසෙක් ඉන්නවා දැක්කොත් මම එතැන වාඩි වෙන්නෙත් හරිම කල්පනාවෙන්. ඒ වගේ වෙලාවට කට්ටිය ලෑස්ති වෙලා තමන්ගේ දර්ශනයට පෙනී ඉන්න සූදානම් වුණාට මම නම් කරන්නේ අර පූසා දිහා අවධානයෙන් ඉන්න එක විතරයි. කොයි මොහොතේ ඒ සතා මගේ ළඟට එයිද කියන හැඟීම තමයි ඒ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ.

මම පූසන්ට බයයි කියන එක මට සමීප හුඟක් අය දන්නවා. ඒ හින්දා කොහේ හරි තැනකට ගියාම ඒ වටාපිටාවේ පූසෙක් හිටියොත් ඒ අය මම ගැන අවධානෙන් තමයි ඉන්නේ. ඇයි ඉතින් මම අර පූසට බය වෙලා කොයි මොහොතේ කලබලයක් කරයිද දන්නේ නැහැනේ.

අහම්බෙන් මග තොටදී හමුවන පූසන් හින්දා මම කලබලයට පත් වූ අවස්ථා නම් අනන්තවත් තියෙනවා. මේ ළඟදී අපූරු වැඩක් වුණා. එදා අපි කට්ටිය රූගත කිරීමකට ගියා. එදා අපිට තිබුණේ එළිමහනක රූගත කිරීමක් කරන්නයි. ඒ වෙලාවේ එතැන පූසෙක් හිටියා. ඒ පූසා ඒ මේ අත ඇවිද ඇවිද තමයි හිටියේ. නිෂ්පාදක කණ්ඩායමත් පුටු තියාගෙන ඒ පුටුවල වාඩි වෙලා කතා කර කර හිටියා. මම නම් ඒ කතා බහට සම්බන්ධ වුණේ නැහැ. මම කකුල් දෙකත් උස්සගෙන බිම බලාගෙන හිටියේ අර පූසා කොයි වෙලාවේ මගේ ළඟට කඩා පනියිදෝ කියලා හිත හිතායි. ඔය වෙලාවේ මගේ ළඟ වාඩි වෙලා හිටපු අනුරාධා එදිරිසිංහගේ කකුල මගේ කකු‍ලේ වැදුණා. මට එකපාරටම හිතුණේ ළඟ හිටපු පූසා මගේ කකු‍ලේ වැදුණා කියලයි. මම මහ හයියෙන් විලාප තියලා හයියෙන් කෑ ගැහුවා. ඒ විතරක් නෙමෙයි, කකුල ගසලා මම දඟලපු පාරට මගේ කකුලත් එතැන තිබුණු පුටුවේ තදින්ම වැදුණා. මේ කතා කරන මොහොත වෙද්දිත් මම ඒ කකුලට බෙහෙත් දානවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!