Gossip

“එයා මට නිතරම කිව්වේ අපිට සැපවත් ජීවිතයක් දෙනවා කියලා. වෛද්‍ය විද්‍යාලයට යන්න බැරිවුණු නිසා හෙදියක් වුණා” – ඇමරිකාවට ගිය ලංකාවේ හෙදිය

සිත ඇත්නම් පත කුඩාද යන පැරණි කියමන සනාථ කළ වත්මන් දිරිය කත ඇයය. කුමන බාධකය පැමිණියද, තමන් කෙසේ හෝ අරමුණ කරා ළඟාවන්නෙමි යන චේතනාවෙන් ධෛර්යයවන්තව සිය දැනුම මෙහෙයවමින් ශක්තිවන්ත ලෙස කරීමා සමාගම සහ විදේශසේවා නියුක්ති කාර්යාංශය විසින් මෙහෙයවූ අන්තර්ජාල සජීවි විභාග සියල්ල ජය ගනිමින් ඇය ඇයගේ වාසනාව උදා කර ගත්තාය.
රුවිනි රණසිංහ නම් වූ ඇය ශ‍්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවයද සහිතව හෙදියක ලෙස පත්ව ගිය ප‍්‍රථම කාන්තාවය.
ඉකුත් මාර්තු අටවැනිදා රුවිනි රණසිංහ සිය ආදරණීය ස්වාමියා යාන්ත‍්‍රික ඉංජිනේරුවරයකු වන නුවන් චන්දිමාල් සහ පුතුන් දෙදෙනාත් දියණියත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ , මිචිගන් අර්බන් හිල්ස් ප‍්‍රදේශයේ පදිංචියට ගියාය. ඒ සඳහා සියලූ උපදෙස් මෙහෙයවීම් සම්බන්ධීකරණයන් සිදුකොට ඇත්තේ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ඇමරිකාවේ කරිමා සමාගමත්ය.
මාරස්සන, කොට්ටගස්මුල්ල, සැනසුම නිවසේ කෙලිදෙලෙන් ගත කළ රුවිනි, දියණියන් තිදෙනකුගේ පවුලේ වැඩිමහල් දියණියය.
එම්. එම්. ජී. රණසිංහ බණ්ඩා වන පියාටත් ලාලනී කුසුමා ජයවීර මවටත් දාව එක්දහස් නවසිය අසූ දෙකේ, මැයි හත් වැනි දින පේරාදෙණිය රෝහලේදි උපන් ඇය උපතින්ම බුද්ධිමත් භාවය රැගෙන ආ බව කියන්නේ ඇයගේ මවය.
මාරස්සන කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ මයිලපිටිය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ රුවිනි උසස් අධ්‍යාපනය සඳහා මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ඇතුළත් විය. අපොස සාමාන්‍ය පෙළ උසස් ප‍්‍රතිඵල ලබා විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇයගේ එකම අභිප‍්‍රාය වී ඇත්තේ, වෛද්‍යවරියක වීමය.
විශ්වවිද්‍යාල වරම් නොලැබීමේ අවස්ථාව සමග ඇයට සිය ජීවන ගමන හෙදිය ලෙස සේවයේ යෙදෙමින් ඉදිරියට යන්නැයි අවවාද දී ඇත්තේ පියා වන මයිලපිටිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි රණසිංහ බණ්ඩා මහතාය. මහනුවර රජයේ හෙද විදුහලෙන් හෙදකම උගත් රුවිනිගේ පළමු පත්වීම මහරගම පිළිකා රෝහලටය.
දෙවැනි සේවය, කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයටය. තෙවැනුව මහනුවර ශික්ෂණ මහාරෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකය වෙතය.
එහිදී ඇයගේ රෝගී සත්කාර සේවාව අතිශය මානුෂීය බවත්, සියලූම කාර්යය මණ්ඩල සමග සහයෝගයෙන් උද්යෝගයෙන් කටයුතු කළ බවත් කියා සිටියේ මහනුවර රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකය භාර ලලිතා කුමාරි හෙද සොයුරියය. අය හා කාර්යය මණ්ඩලය රුවිනි රණසිංහ සිය ඒකකයේ නොමැතිවීම රෝගී සත්කාරය සඳහා දැඩි අඩුපාඩුවක් වුවද, නව දැනුම සොයා යෑමට නිතර උත්සාහ දරණ රුවිනිගේ දියුණුව උදෙසා ඇමරිකා එක්සත් ජනපදයට යෑමට ලැබීම පිළිබඳව සතුටින් සුබපතන බවද ඇය කීවාය.
ඇයගේ ජීවන තොරතුරු අපට පවසන්නේ ඇයට ශක්තියක් වූ මවය. පියාය. ස්වාමියාගේ මව සහ පියාය. සියල්ලෝම ඇයගේ දියුණුව ප‍්‍රාර්ථනා කරමින් ඇයගේ ඉගෙනීමට පොත පත පාඩම් කිරීමට සහාය වූහ. මව වන කුසුමා ජයවීර මහත්මිය, සතුටු කඳුළු දෑසේ පුරවාගනිමින්, පැවසූයේ ” අපි ගමේ ජීවත් වෙන මිනිස්සු .. අපිට කවදාවත් බෑ ලෝකය අල්ලන්න.
ඒත් මගේ ලොකු දුව පොඩි කාලේ ඉඳලාම කවදා හරි මම අම්මාටයි අප්පච්චිටයි සැපවත් ජීවිතයක් ගත කරන්න ඉඩ හදාගන්නවා කියලා කිව්වා. අද එයා ඒ හීනය හැබෑ කරගෙන ඉන්නවා. දුවගේ එකම අරමුණ වුණේ තමන්ගේ බුද්ධියෙන් දියුණු වෙන්න. ඊටම හරියන සැමියෙක් එයාට ලැබුණා. නුවන්ගේ දෙමව්පියෝ වන කේ. ජී. සුගතදාස මහතාත් චන්ද්‍රා පල්ලියගුරු මහත්මියත් නැන්දම්මා කෙනෙකුත් මාමා කෙනෙකුත් වගේ නෙවෙයි තමන්ගේම අම්මා තාත්තා වගේ රුවිනිට සැලකුවේ. ඒ දෙමව්පියෝ රුවිනිගේ අධ්‍යාපනයට අවශ්‍ය පසුබිම හදා දුන්නා බොහොම සද්භාවයෙන්.
දුවගේ දරුවෝ බලා ගත්තේ ඒ දෙමව්පියො. දුව නිවාඩු දවස්වල දරුවො තුන්දෙනාට නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දීලා පොතේ පතේ වැඩවලමයි යෙදුණේ. එයාට තිබුණා ලොකු ආසාවක් ඉගෙන ගන්න. අපි හැමෝම එයාට ඒ ඉගෙනීමට උදව් කළා. මහන්සියෙන් අද දුව ජයග‍්‍රහණය ලබා ගෙන ඉන්නවා. හොඳ දරුවෙක් විදිහට සැම සතුටක්ම අපට ලබා දුන්න රුවිනි අද තමන්ගේ ජයග‍්‍රහණයෙනුත් දෙමව්පියන්ට ගෞරවය ලබා දීලා තිබෙනවා. ඒ ගැන ඇත්තෙන්ම සතුටුයි’.
සුළු වේලාවකදී අන්තර්ජාලය ඔස්සේ අදහස් දැක්වූ රුවිනි කියා සිටියේ, ”මට මේ තැනට එන්න මා වටා සිටි සියලූම දෙනා උදව් කළා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. මහනුවර රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරිය ලලිතා කුමාරි මහත්මිය ලබා දුන් සහාය වචනින් නිම කරන්න බැහැ.
මම මේ ලබා ගත් ජයග‍්‍රහණය ලබා ගන්න උනන්දුව තිබෙන කාට වුවත් පුළුවන්. මට පසුව මෙම අවස්ථාව ලබා ගත් තවත් ශ‍්‍රී ලාංකිකයන් කිහිප දෙනකුම සිටිනවා. තනිව හෝ මහන්සි වෙලා උත්සාහ කරන්න. අපට කරන්න බැරි දෙයක් නැහැ. උත්සාහය පමණයි අවශ්‍ය වන්නේ….”
රුවිනි රණසිංහ සිය දෙමව්පියන්ට පවුලට පමණක් නොව, හෙද සේවයටත් මහනුවර මහා රෝහලටත් උගත් පාසල් මව්වරුන්ටත් ගෞරවයක් ආඩම්බරයක් හිමි කර දී ඇත. ඇයට මග පෙන්වූ සියලූ දෙනාටම ඇය කෘතගුණ සලකා ඇත්තේ ස්වෝත්සාහයෙන් පෙන්වූ මගෙහි තනිව ගමන් කිරීමෙනි. එය රටේ කොයි කාටත් ආදර්ශයකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!