Gossip

ඇයි මාධවී නංගී මට මෙහෙම කරන්නේ, මාව අමතක කරන්න එපා, මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ

අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ කියලා සිංදුවක් ඔබත් අහලා ඇති.
ආදරය වෛරයකට පෙරලිලා සිදුවුණු මහා අපරාධයක අතීත කතාවකි මේ.
වසර දෙකක් පුරා නිසොල්මනේ ගලා ගිය ප්‍රේම පුරාවතක අවසානය සනිටුහන් වන හෝරාව එළැඹ ඇත.
එහෙත්….. ඒ යථාර්ථයට මුහුණ දීමට ඔහු සුදානම් නැත. ඇය නම් ඒ සඳහා හිත හදාගෙන ඇති සෙයකි.
දෙපාර්ශ්වයේ මවුවරුන්ගේ ඉල්ලීම මත ඔහු තමා සන්තකයේ තිබු පෙම් සිහිවටන සිය මවට භාර දුන්නේය.
ඇය ද තමා සතුව තිබු සිහිවටන ඔහුගේ මවට භාර දුන්නාය. ඒ… පේ‍්‍රම පුරාවතේ නෂ්ඨාවශේෂ වු පෙම් හසුන් හා ඡායාරූප ඔහුගේ මව සියලු දෙනා ඉදිරිපිට දී ගිනි කූරක් ගසා දවා අළු කර දැම්මේ ය.
ඉතින්……… ඇය තමාගෙන් සමුගෙන යන අවසන් මොහොත උදා වී ඇත.
“අනේ…. ඇයි මාධවී නංගී මට මෙහෙම කරන්නේ… මාව අමතක කරන්න එපා. .. මට ඔයා නැතිව ජීවත් වෙන්න බෑ..
මම ඔයාට කොච්චර ආදරේ ද? ඇයි… මාව දාලා යන්නේ….”
සාලයේ බිම හිඳගත් හෙතෙම දෙනෙතින් උතුරා ගලා යන කඳුළු කැට දෑතින් පිස දමමින් පොළොවේ හැපෙන්නට විය.
“මට ඔයා එපා… මට මේ කරදරෙන් අයින් වෙන්න ඕනේ. ඒ නිසා කරුණාකරලා මේ සම්බන්ධය නවත්වන්න.. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.”
මාධවී ගේ සිතෙහි කිසිදු තෙත් ගතියක් නැති සෙයකි. ඇය ඒකමතිකවම කියා සිටියේ තමාට ඔහුව අනවශ්‍යය බවයි.
පොළොවේ හැපෙමින් හඬා වැටුණ ද
යාචකයකු සේ සෙනෙහස අයැද සිටිය ද ඇයගේ හදවත උණු නොවන සෙයකි. ඔහු එතැනින් ඉවත්ව ගියේ වෙන කළ හැකි කිසිවක් නොවු බැවිනි.
දෙහදක දළුලා වැඩුණු පේ‍්‍රමයක් ඒක පාර්ශ්විකව අවසන් කර ඇත. හුවමාරු කරගත් පෙම් හසුන් ඡායාරූප අළු ගොඩක් වී තිබේ. එසේ නම් සියල්ල අවසන් ය. මින් ඉදිරියට මාධවී හා ඔහු අතර කිසදු සබඳකමක් නැත. කෑගැසීම්, සිත් රිදීම් හා කඳුළු අතරින් සියල්ල හොඳින් විසැඳී ඇති සෙයකි.
මාධවී හා මව එම නිවෙසින් පිට වුයේ සැහැල්ලු සිතින් සිය නිවෙස බලා යාම සඳහා ය. කුලියට රැගෙන ආ ත්‍රිරෝද රථය ද පාර අයිනේ නවතා ඇත. දෙදෙනා නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටතට එන විට ඔහු ඉස්තෝප්පුවේ බිම හිඳගෙන සිටියේ කඳුළු වියැලී යන දෑස ඈත අනන්තය වෙත යොමු කරගෙනය. ඔහු දෙස ඇස් කොනකින් වත් නොබැලු ඇය සිය මව හා ඔහුට පිටුපා යන්නට ගියාය. ඇයගේ නව මස්හැවිරිදි පුංචි නැගනිය ද මවගේ අතේ සිටී.
ගත වුයේ නිමේෂයකි. පිහියක් අමෝරාගෙන මාධවී ගේ ඉදිරියට ඔහු පැන්නේ මාරාවේෂ වුවකු ලෙසිනි. ඔහු එම පිහියෙන් ඇයගේ බෙල්ලත් පපුවත් අතරට තද පහරක් එල්ල කළේය.
“බුදු අම්මෝ…….. කියාගෙන ඇය මුනින් අතට බිම ඇද වැටිණි. ඒ සමඟ ම මාධවීගේ මවගේ අත වු චුටි දරුවා ද බිම වැටිණේය.
මවට ඒ ගැන සිහියක් නැත.මාරයකු සේ සිය දියණිය බිලිගන්න සැරසෙන මේ මිනී මරුවාගෙන් සිය දියණිය ගලවා ගත යුතුය.
ඇය ඔහු වෙතට ළං වුයේ දියණිය ආරක්ෂා කර ගැනීමට ය . එහෙත්.. සිදු වුයේ අනෙකකි. ඔහු සිය අත වු පිහය දෙපසට වනන්නට විය. පිහිය ඇයගේ උදරය කපාගෙන ගියේය.
මේ සිදුවීම දෑසින් දුටු ත්‍රීරෝද රථ රියැදුරු වහා එතැනට දිව ගියේ ආවේගශිලිව සිටින තරුණයා මෙල්ල කිරිමටය.
ඔහු දිවගොස් තරුණයාගේ පිහිය වු අත තදින් අල්ලා ගත්තේය .
එහෙත් ඔහුට හසුවුයේ පිහියයි. ඔහුගේ අත ද කැපිණි. මේ හඬ ඇසුණු තරුණයාගේ මව ද වහා දිවවිත් තරුණයා මෙල්ල කිරීමට උත්සහ කළ ද එය ද ව්‍යර්ථ විය. පුතා එල්ල කළ පිහි පහරවලින් ඇය බරපතල තුවාල ලැබුවාය. රෝගී පියාට අතට හසුවුයේ හෝස් බටයකි. ඔහු එයින් සිය පුත්‍රයාට පහර දෙන්නට විය.
එහෙත්… මේ කිසිවකුටත් ඔහු මෙල්ල කිරිමට හැකි වුයේ නැත. යළිත් මාධවී වෙත ඔහු ළඟා වුයේ වෛරයෙන් දිළිසෙන දෑස් මුනින් අතට බිම වැතිර සිටින ඇය වෙත එල්ල කරගෙනය.
ඔහු ඇය වෙත නැඹුරුව ඇය ඔසවා සිය පපුවට තද කරගත්තේය. නළල් තලයට වම් අත තබා තදින් අල්ලා සිය සිරුරට ඇය සිරකරගත් ඔහු ඉන්පසුව කළේ කුමක්ද ?
සිය අත වු පිහියෙන් ඇයගේ ගෙල කපා දැමීමයි. යළි බිම පතිත වු ඇය වෙත නැඹුරුව පිහි පහර කිහිපයක් ද එල්ල කළ ඔහු අත වු පිහිය ද එතැනම දමා නිවෙස වෙත හෙමින් හෙමින් පිය මැන්නේ ය.
“මාධවී නැති වුණොත් වහ බොනවා” යැයි නිතර කියමින් සිටි ඔහු ඒ සඳහා අවශ්‍ය වස බෝතලය ද සුදානම් කරගෙන සිටියේ ය .
සඟවා තිබු තැනින් වස බෝතලය ගත් හෙතෙම රසවත් පානයක් සේ තලුමරමින් එය පානය කරමින් ගෙවත්තෙන් පිට ව කුඹුරු යාය දෙසට නිසොල්මනේ ගමන් කළේය.
සෙනඟ වට වී බලා සිටී. ඇය මිය ගොසිනි. පොලිස් කණ්ඩායමක් වහා එතැනට පැමිණෙන විට ද ඔහු කුඹුරු යාය අසල නිසොල්මන්ව සිටියේ වස බෝතලය ද අතැතිව ය .
පොලිස් නිලධාරීන් ඔහු අසලට පැමිණෙද් දී බෝතලයේ වු ඉතිරි වස ටික ද පානය කළ හෙතෙම පොලිසියට කැමැත්තක් කරන්නට ඉඩ දී කරබාගත්තේය.
වෛරයක් වු ප්‍රේමයක සමාප්තිය සටහන් කෙරුණේ එලෙසිනි.
කැකිරාව පොලිස් වසමේ කාගම එකේ ඇළ ප්‍රදේශයේ පදිංචි ශෂිකලා මාධවී ජයසිංහ දාහත් හැවිරිදි පාසල් සිසුවියකි. පවුලේ වැඩිමල් දියණියයි. ඇයට බාල සහෝදරියක සිටී. ඇය නව මස් හැවිරිදිය .ගංකිරියාගම මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරමින් සිටියාය.
කැකිරාව පොලිස් වසමේ තිබිබටු වැව ඇළ පාරේ පදිංචි දමිත් විසි හැවිරිදි තරුණයෙකි. යුද හමුදා ආධුනික සෙබළෙකි. දඹුලු හල්මිල්ලෑව තුන්වන යාන්ත්‍රික පාබල කඳවුරේ පුහුණුවෙමින් සිටියේය. යුද හමුදාවට බැඳී ගෙවී ගියේ මසක් පමණි.
මාධවී හා දමිත් හමුවන්නේ මීට වසර දෙකකට පමණ ඉහත දී කැකිරාව නගරය ප්‍රදේශයේ දි ය. දිනක් ඇයගේ දසුන ඔහුගේ දෙනෙතෙහි ගැටුණේ අහම්බෙන් මෙනි. ඒ දුටු සැනින් ඔහුගේ සිත ඇය කෙරෙහි ඇදි යන්නට වුයේ කාන්දමක් වෙත
ඇදෙන අල්පෙනිත්තක් මෙනි. හදවතෙහි ඇයගේ රූපය හැඳගත් හෙතෙම ජංගම දුරකථනයෙන් ඇයගේ ඡායාරූපයක් ද ගත්තේ ඒ මුහුණ තව දුරටත් බල බලා සිටීමට ඇති වු කැමැත්ත නිසාය.
මාධවී ගේ යෙහෙළියක දමිත් ද හඳුනයි. මාධවී හා දමිත් අතර හිතවත් කමක් ඇති වන්නේ මේ මිතුරියගේ ද ආධාර උපකාර ඇතිවය. පාසල් අධ්‍යාපන කටයුතු වලට බොහෝ උනන්දුවක් දැක් වු මාධවි දමිත් හා ප්‍රේමය සබඳතාවකට පෙළැඹුණේ
තුරුණු හදවතෙහි දළුලා වැඩෙන ප්‍රේමනීය සිතුවිලි තවදුරටත් සඟවා තබා ගෙන සිටිය නොහැකි වු බැවිනි.
කාලය ගෙවී යයි. දෙදෙනාගේ මේ පෙම් පලහිලව්ව දෙපාර්ශ්වයේ ම වැඩිහිටියන්ගේ කන්වලට යන්න ද වැඩිකල් ගියේ නැත.
“දුවේ…. ඔය සම්බන්ධකම නවත්වන්න. ඔයා තවම ඉස්කෝලේ යන ළමයෙක් නේ… ඒවට තව කල් තියෙනවා.”
දමිත් ගේ ඇසුරත් සමඟ බොහෝ වැඩ අතපසු කරනා මාධවීට මවුපියන් එසේ අවවාද කළේ දියණියගේ ඉගෙනීම මේ සියල්ලටම වඩා වටිනා බව තේරුම්ගත් නිසාය. මාධවීලාගේ ගෙදර සී.ඩී.එම්.ඒ. දුරකථනයක් ඇත. පියාට ජංගම දුරකථනයක් ඇත. දමිත් මේ ගෙදරට නිතරම ඇමතුම් දෙන්නට පටන් ගන්නේ කඳවුරේ රාජකාරී අතරතුරේ දි ය .
මාධවී පාසල් අවසන්ව පැමිණි විට දමිත් දවසේ රාජකාරි නිමකොට ඇයට දුරකථන ඇමැතුම් දී පැය ගාණක් කතා කිරීමට පුරුදු විය.
මේ පිළිවෙළ මාධවී ගේ මවුපියන් විසින් තරයේම ප්‍රතික්ෂේප කරනු ලැබීය. මවුපිය දැඩි විරෝධය හේතුවෙන් මාධවී තීරණයක් ගැනීමට සිතුවාය. ඒ අනුව ඇය දමිත්ව ටිකෙන් ටික ප්‍රතික්ෂේප කරන්නට වුවාය. එසේ ඔහු ප්‍රතික්ෂේප කිරීමට මූලිකම කරුණ වුයේ මවුපිය විරෝධයම පමණක් ද යන්න ගැටලුවකි.
පසුව ඇයට ඔහුත් මවුපියනුත් දෙපාර්ශ්වයම වුවමනා වු සෙයකි.
“හරි…….. එහෙනම් ඔයා ඌත් එක්කම යන්න. මේකේ ඉවරයක් තියෙන්න ඕනනේ…” මාධවීගේ මව මානෙල් එදිරිසිංහ සිය දියණියට තරවටු කළාය.
පියා නන්දන ජයසිංහ සිය වැඩිමල් දියණියගේ මේ පෙම් හබය පිළිබඳ එතරම් දැන නොසිටිය ද දැන සිටි තරමින් ඔහු ද දියණියට අවවාද කළේය.
“නෑ….. අප්පච්චි, මම හොඳට ඉගෙන ගන්නවා. මට රස්සාවක් කරලා ඕගොල්ලන්ට සලකන්න ඕන. ඒක නිසා මම මේ සම්බන්ධය අත ඇරලා දාන්නම්” ඇය සිය පියාණන්ට පොරොන්දු වූවාය.
එහෙත්……… ඇයගෙන් තොර වු ජීවිතයක් පිළිබඳ දමිත්ට නම් සිතන්නට වත් බැරි තරම්ය. මාධවී දැන් දැන් ඔහුව මඟ හරී. එය ඔහුට දරා ගැනීමට නොහැකි ය. ඔහු දිගට හරහට ඇයගේ නිවෙසට දුරකථන ඇමතුම් දීමට පටන් ගත්තේය.
“රෑ දහයට එකොළහට දොළහට විතරක් නොව පාන්දරත් කෝල් කරනවා. ගෙදර ෆෝන් එක වැඩ නැතිනම් මගේ ෆෝන් එකට කතා කරලා මාධවීට කතා කරන්න ඕන කියනවා. එයා නිදි කිව්වත්
අහන්නේ නෑ. කරදර කර කර ඉල්ලනවා.” පියා පැවසීය.
දමිත් ඉන් නැවතුණේ නැත. ඇය යන මඟ ගොස් තමා හැර නොයන ලෙසට ඇයගෙන් ඉල්ලීම් කළේය. දැන් දැන් මාධවීට ද ඔහු හිසරදයකි. මේ කරදරයේ අවසානයක් තිබිය යුතුය.
මාධවී සිය මව හා කැකිරාව පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කළේ පසුගිය දෙවැනිදාය. ඒ වනවිට දමිත් වෛද්‍ය නිවාඩු ලැබ නිවෙසෙහි කල් ගත කළේ උදරයෙහි සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙනි.
පොලිසිය මේ ප්‍රශ්නය හැකි ඉක්මනින් සමථයට පත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව දෙපාර්ශ්වයටම ඊට පහුවැනිදා එනම් තුන්වැනිදා උදේ නවයට පොලිසියට පැමිණෙන ලෙස දැන්වීය.
තුන් වැනිදා උදේ මාධවී හා මව බාල දියණිය ද සමඟ කැකිරාව පොලිසිය වෙත පැමිණෙමින් සිටියේය. ඔවුන් ඉදිරියට කාන්තාවක් පැමිණේ. ඇය දමිත්ගේ මවයි. මාධවී ගේ මව දමිත්ගේ මව හඳුනන්නේ නැත.
එහෙත් මාධවී ඇය දැන සිටියාය. ඇය මාධවීගේ මව හා කතා කළාය.
“මේවට අපි පොලිසි යන්න ඕන නෑ. ගොඩින් බේරගමු. පුතාත් ගෙදර නෑ.යමු අපේ ගෙදර ඔය ලියුම් ටිකෙයි ෆොටෝ ටිකෙයි ගනුදෙනුව ඉවරයක් කරලා මේ ප්‍රශ්නය ඉවරයක් කරගමු.”
ඇයගේ සුහදශිලි වදන් හමුවේ මාධවීත් මව මානෙලුත් ඇය හා ඇයගේ නිවෙස කරා ගියහ. බසයෙන් ටික දුරක් ගිය පිරිස එතැනින් ත්‍රිරෝද රථයක නැගි නිවෙස බලා ගියහ. එම ත්‍රීරෝද රථය මානෙල් විසින් නවත්වා ගන්නේ ප්‍රශ්නය විසඳීමෙන් අනතුරුව යළි මහපාර වෙත පයින් පැමිණීම අපහසු නිසාය.
එහෙත්………. අවසානයේ සිදුවුයේ කුමක්ද?
“කොල්ලගේ ගෙදර ගිහින් ටික වේලාවකින් කොල්ලා ආවා.බලද්දී එයා ගෙදර ඉඳලා.මම අපේ දුවට කිව්වා එහෙනම් ඔයා මෙයා එක්ක මෙහේ නවතින්න කියලා. මොකද කොල්ලා හරියට බැගෑපත් වුණා. ඒත්… දුව කිව්වා නෑ… මට මෙයාව ඕනෙ නෑ.. මට ඉගෙන ගන්න ඕන. මම මේක නවත්වනවා කියලා. කොල්ලා කිව්වා වහ බොනවා කියලා. දුව කිව්වා වහ බිව්වත් මට කරන්න දෙයක් නෑ. මම මේ සම්බන්ධය නවත්වනවා කියලා.”
“කතාව ඉවරයක් කරලා අපි තුන්දෙනා එළියට බැහැපු වේලාවේ තමයි දමිත් මගේ ඇස් ඉදිරියේ මේ අපරාධය කළේ”.
කට්ටිය වටේ බලාගෙන හිටියා. මම කෑ ගැහුවා. මගේ දරුවා බේරගන්න කවුරුත් නැද්දෝ…. අනේ… මගේ දරුවා බේරලා දෙන්න. එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න. කිය කියා ඒත්……. කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. මම දන්නවා ඒ වෙද්දී දරුවා මැරිලා කියලා.
මගේ අතේ හිටපු චුටි දුවත් එතැන වැටිලා හිටියා. පස්සේ මම එයාවත් අරගෙන අනේ මගේ කෙල්ලව දාලා ත්‍රීවිල් එකෙන් පොලිසියට ගියා. ඕ.අයි.සී. මහත්තයා කට්ටියක් එතැනට යවලා මාව කැකිරාව රෝහලට අරගෙන ගියා.”
උදරයට මැහුම් අටක් දමා ඇත. දමිත්ගේ මව බරපතල තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.මේ වන විට ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර ඇත.
සියල්ල සිදු වුයේ එලෙසිනි. දැන් දමිත් පියවි සිහිය ලබා ඇත. ඉතින්… මාධවී යන්නටම ගියාය. දමිත් ට ඇය හා ඒ ගමන යන්නට හැකි වුයේ නැත. ඔහු අද මිනීමරුවෙකි. මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකි.
“ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගසකට සමයි
ප්‍රේමයත් වෛරයත් අතර වු වෙනස කවියකු සිය කවි ඇසින් දුටුවේ එලෙසිනි. මාධවී හා දමිත් පේ‍්‍රම පුරාවක අවසානය ඒ වදන සත්‍යයක් බව පසක් කොට ඇත.
අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න, සහකාර පොලිස් අධිකාරි කැළුම් තිලකරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක පුෂ්පකුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අන්වර්දීන් ඇතුළු පිරිසක් මෙම පරීක්ෂන කටයුතු වල නිරත වූහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!