Gossip

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

ලොව පුරා බොදු ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා 3ක් මුල් කරගෙනය.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සමරනවා.

මීට අමතරව බුඳුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවටයි බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ.

ඒ අනුව සිරිපා වන්දනා සමය වෙසක් පොහෝය දිනයෙන් නිමාවට පත්වෙයි.

1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්යනන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

වෙසක් පුන් පොහෝ දිනයේ දී ආගමික මධ්‍යස්ථාන සහ අනෙකුත් ආයතන කෙන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වෙයි.

මේ යටතේ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් දන්සැල් පැවැත්වීම, බෝධි පූජා, පහන් පූජා පැවැත්වීම, අසරණයින්ට පිහිටවීම වැනි කටයුතු ද සංවිධානත්මකව සිදුවෙයි.

වෙසක් තොරණ ඉදිකිරීම, පහන් කූඩු ප්‍රදර්ශනය ආදිය වෙසක් සතියේ දී සියලුදෙනාගේ අවධානයට ලක් වේ.

මෙවරත් රටපුරා වෙසක් කලාප රැසක් පැවැත්වෙයි.

ඒ අනුව දෙරණ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන දෙරණාභිවන්දනා ශ්‍රී කල්‍යාණි වෙසක් කලාපය මෙවරත් කැළණිය පුදබිම කේන්ද්‍ර කර ගනිමින් අද අළුයම 05.00 සිට දවස පුරා පැවැත්වෙයි.

ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් දාන, ශිල , භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් එහිදී පැවැත්විමට නියමිත අතර මෙය ටී.වි දෙරණ ඔස්සේ සජිවීව විකාශය කෙරෙයි.

මීට අමතරව දෙරණ මාධ්‍ය ජාලය සහ කොළඹ මහ නගර සභාව එක්ව සංවිධානය කරන වෙසක් කලාපය අද සිට මැයි මස 01 වනදා දක්වා කොළඹ මහ නගර සභාවේ සහ විහාරමහාදේවී එළිමහන් පරිශ්‍රයේදි පැවැත්විමට නියමිතය.

මෙහිදී ප්‍රථම වරට මුහුදු වැලිවලින් නිර්මාණය කෙරුණු පොලොන්නරුව ගල්විහාරයේ දැවැන්ත ආකෘතියක් ද ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

මේ අතර අද රාත්‍රී සිට පිටකොටුව, පෑලියගොඩ, දෙමටගොඩ, තොටලඟ, කොට්ටාව, මහරගම, කිරිබත්ගොඩ, ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසක් තොරණ ප්‍රදර්ශනය කිරිමට නියමිතය.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොම්පඤ්ඤවීදීය, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, පෙරහැර මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන මාර්ගවල අද සිට මැයි 02 වන දින දක්වා රාත්‍රී 7.00න් පසු වරින් වර වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.

වෙසක් සිරි නැරඹීම සදහා පැමිණෙන රථ වාහන ගාල් කිරීම සදහා ස්ථාන හඳුන්වා දී ඇති අතර ඒ සඳහා උපදෙස් ලබාදීමට පොලීසිය රාජකාරියේ යොදවා තිබේ.

මේ අතර වෙසක් සතියට සමගාමීව විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ මැයි මස 01 වැනි දින දක්වා විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!