Gossip

“පුතේ මේ මම ඔයා එක්ක කතා කරන අන්තිම වචන ටික, ඔය මූණ බලන්න මං ආයේ එන්නේ නෑ.” – අජාසත් පුතුගේ හැසිරීම නිසා අවසන් ගමන් ගිය පිය සෙනෙහස

මේ දිනවල දිවයින පුරා විවිධ ආකාරයේ අපරාධ වාර්තා වේ. ඝාතන සිදුවීම් ඒ අතර බහුලය. මේ කියන්නට යන කතාවද ඒ සිදුවීම් අතරේම වාර්තා වූ එකකි. එහෙත් එහි වෙනසක් තිබේ. ඒ බලබෝව ඇන්තූරියම් පෙදෙසේ මාර්ගයක තිබූ මළ සිරුරක් පිළිබඳ හටගත් සැකයක් නිසාය. එහෙත් පසුව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වූයේ මියගොස් සිටින්නේ අන්තර් දිස්ති‍්‍රක් සමස්ත ලංකා පාසල් සිසුන් ප‍්‍රවාහනය කිරීමේ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කිත්සිරි විජයානන්ද අමරසිංහ නමැති පුද්ගලයා බවය. ඔහු මිනුවන්ගොඩ නගරය අවට පාසල්වලට සිසු සිසුවියන් ප‍්‍රවාහනය කළ රියැදුරෙකි. කුඩාගොඩ නම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුව සිටි ඔහු 58 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම මරණය සිදුවී ඇත්තේ සැකකටයුතු අන්දමින් බව මිනුවන්ගොඩ පොලිසිය පැවසුවත් මළ සිරුර තිබෙන ස්ථානය වේයන්ගොඩ පොලිසියට අයත් බවට තහවුරු වීමෙන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ සිදුකිරීමට භාර වූයේ වේයන්ගොඩ පොලිසියටය. එම පරීක්‍ෂණත් සමග මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වන්නට විය. අවසානයේ හෙළි වූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දෙයකි.
සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සත්‍යය හෙළි වූයේ මරණකරුට අයත් පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථය මළ සිරුර ආසන්නයේ තිබී හමු වූ මොහොතේය. වෑන් රියේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබුණේ මරණකරුගේ අත් අකුරින් ලියා තිබූ ලිපියක් සහ වස බෝතලයකි. කතාවේ හොඳම හරිය ආරම්භ වන්නේ ලිපිය හමුවීමත් සමගය.
කිත්සිරි විජයානන්ද දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. ඔහු තම දරුවන්ට බෙහෙවින් ආදරය කළ ආදරණීය තාත්තා කෙනෙක්ය. තමන්ට මෙලොව දකින විට උපත ලබා දෙන්නට මුල්වූ තම පියාගේ විපත උදා කරන්නේද ඔහුගේම පුත‍්‍රරත්නය වීම අවාසනාවකි. කිත්සිරිගේ පුතණ්ඩියා විවාහකයෙකි. විවාහයක් කරගෙන හෝ තම දෙමාපියන්ට බරක් නොවී සිටින්නට ඔහුට උවමනාවක් තිබුණේ නැත. දවස ගානේ තාත්තා සමග මුදල්වලට ඔහු රණ්ඩු සරුවල් කෙරුවේය.
‘තාත්තේ මට සල්ලි ටිකක් ඕන පොඩි වැඩකට’
උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රියේ නින්දට යන මොහොත දක්වාම ඔහු තාත්තාගෙන් මුදල් ඉල්ලා නිවසේ රණ්ඩු සරුවල් ඇති කළේය. පුතාගේ මෙම නොහොබිනා ක්‍රියා කලාපය නිසා කිත්සිරි ජීවත් වූයේ දැඩි වේදනාවෙනි.
‘මෙහෙම ළමයි හැදුවේ ඇයි අපිට කිසිම සැනසීමක් නෑ හිතට.’
දෑස් අගට උනන කඳුළු බිඳු ආයාසයෙන් සඟවා ගනිමින් කිත්සිරි තම බිරිඳට සිය දුක පැවැසුවේය. දෙමාපියන්ට පමණක් නොව කිත්සිරිගේ පුතණ්ඩියා තම බිරිඳටත් එලෙසම චණ්ඩිකම් පෙන්වූවේය. ඔහු කිසිම පුද්ගලයෙකු පවසන වචනයක් හෝ කනකට ගත්තේ නැත. ඔහු ජීවත් වූයේ ඔහුගේම ලෝකයකය.
දිනපතා මුදල් ඉල්ලමින් කෑ ගසන තම පුතාගේ කි‍්‍රයා කලාපය දෙස කිත්සිරි බලා සිටියේ කඳුළු පිරුණු දෑසිනි. පුතා සමග දිනපතා ඔට්ටු වී ඔහුට දැනුණේ දැඩි කලකිරීමකි, සිත් වේදනාවකි.
ඉකුත් 28 වැනිදා උදෑසන පාසල් සිසුන් රැගෙන යෑම සඳහා කිත්සිරි තම නිවසේ සිට වෑන් රථයෙන් පිටත්ව ගියේය. ඔහු පිටත් වන්නට මොහොතකට පෙර නැවතත් නිවසට පැමිණියේ තම පුතා සමග කතා කරන්නටය.
‘පුතේ මේ මන් ඔයා එක්ක කතා කරන අන්තිම වචන ටික, ඔය මූණ බලන්න මං ආයේ එන්නේ නෑ…’
ජීවිතයේ මෙතෙක් කල් කළ කී දෑ දැනුණු වේදනා සේම තම පුතණ්ඩියාගේ කි‍්‍රයා කලාපයද ඔහුට තම ජීවිතය පිළිබඳව ඇති ආශාව අත හරින්නට හේතු වන්නට ඇත.
‘ජීවිතයේ දැනුණු ලොකුම කලකිරීම තම අජාසත් පුතාගේ නොහොබිනා ක්‍රියා කලාපය’ බව ඔහු පුන පුනා සිය ලිපියේ සඳහන් කර ඇත.
තාත්තා කෙනෙක් මහමෙර සේ දුක් උහුලන්නේය. සිය හැඟීම් ඔහු පිටතට නොපෙන්වා දරා ගන්නට වෙර දරන්නේය.
නමුත් කිත්සිරිට තවදුරටත් ඔහුගේ වේදනාවන් දරා ගන්නට නොහැකි වන්නට ඇත. ඒ නිසාම ජීවිතය පිළිබඳව ඔහුට ඇති ආශාව ගිලිහී යන්නට ඇත. සිය ජීවිතය පිළිබඳව ඇති ආශාව අහිමි වූ පසු කිත්සිරි තවත් මේ ලෝකයේ ජීවත් වන්නට කිසිදු කැමැත්තක් නොදැක්වූයේය.
අවසානයේ ඔහු තමදුක පැවැසුවේ වස කුප්පියකටය. වේයන්ගොඩ පොලිිසියේ පරීක්‍ෂණ කටයුතුවලින් අනාවරණය වූයේ මෙම මරණය සියදිවි නසා ගැනීමක් බවය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදුකෙරූ ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්‍ෂණාගාරයේ වාර්තාවලට අනුවද මෙම මරණය සියදිවි නසා ගැනීමක් බව සනාථ කළේය. මෙම සිද්ධියට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඉකුත් (30 දා) ගම්පහ මූලික රෝහලේදී සිදුවිය.
දැන් සියල්ල සිදුවී අවසානය. අවසානයේ තවත් අසරණ තාත්තා කෙනෙකුගේ ජීවිතයක් අහිමි විය. බිරිඳකට තම ආදරණීය සැමියා අහිමි විය. දරුවෙකුට තම පියා අහිමි විය. ඒ තාත්තාව තවත් බොහෝ කල් සතුටින් ජීවත් කරවන්නට ඔහුගේ පුතාට හැකියාව තිබිණි. නමුත් අවසානයේ මෙම අජාසත් පුතාගේ හැසිරීමම කිත්සිරිගේ ජීවිතය අහිමි වීමට හේතු විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!