Gossip

“ඔයා එන්නකෝ මම රෝස පාට ඇඳුමක් ඇඳලා පොත් වගයකුත් අතේ තියාගෙන ඉන්නේ”

සමහර ජීවිත කතා ගැන ඇහුවම හරි පුදුමයි.

අහම්බයෙන් අපිට ළං වෙන සමහර අය මුළු ජීවිතේම වෙනස් කරනවා.

ඒ විදිහට ගෙතුණු ජීවිත කතාවකි මේ.

එදා සෙනසුරාදා දිනයකි. සති අන්ත නිවාඩු දිනයක් වුවද අතපසු වූ වැඩ කොටසක් කිරීම සඳහා මම කාර්යාලයට පැමිණියෙමි. මේසය මත වූ දුරකථනය නාද වුයේ ඔය අතරය. මම රීසිවරය අතට ගත්තෙමි.

“අමල් මං සුබෝධා… ඇයි ඔයා ඊයේ ගෙදර ආවේ නැත්තෙ…?”

ඇය කියාගෙන ගියාය.

“අනේ ඊයේ එන්න බැරි වුණා. අද නම් කොහොම හරි එනවා.”

ඇය කාගේ කවුදැයි නොදත් මමද ඊට පිළිතුරු දුන්නෙමි.

“ඔය අමල් නෙමේ”

“නැහැ ළමයෝ මම අමල්. ඔයාට හඳුගන්න බැරිද….?”

“නැහැ ඔය අමල් නෙමේ.”

ඇය ඇමතුම විසන්ධි කළාය.

“ලස්සන කටහඬක් කවුද මේ”

ඇගේ කටහඬට මම වශී වුයෙමි. ඇයගේ දුරකථන අංකය මගේ දුරකථනයේ සදහන්ව ඇති නිසා යළි ඇයට පෙරළා ඇමතුමක් දෙන්නට මට සිතිණි. ඒත් ඒ සැණින් යළි මට ඇමතුමක් ලැබිණි. එයද ඇයගෙනි.

“මට අමල්ට කතා කතාකරන්න පුළුවන් ද?”

ඇය විමසුවාය.

“ඔව් අමල් තමයි කතාකරන්නේ…. කියන්න.”

“අනේ ඔය අමල් නෙමේ. මට අමල්ට දෙන්නකෝ”

ඇගේ කටහඬ මට මහත් මිහිරියාවක් ගෙන දුනි.

“ඔයාගේ කටහඬ හරි ලස්සනයි.”

මම කීවෙමි. ඇය ඊට දැක්වුයේ සිනහවකි.

“අනේ අමල්ට දෙන්නකෝ මම හදිසියකට ගන්නේ.”

ඇය යළිත් කියන්නට වුවාය. ඇය කතා කරන්නේ වැරදි අංකයකට බව මම සිතුවෙමි.

“අනේ බබෝ ඔයාට වැරදිලා මෙහෙ අමල් කියලා කෙනෙක් නැහැ.”

“නැහැ.”

“අනේ සොරි. එහෙනම් මම තියන්නම්”

“එපා එපා පොඩ්ඩක් ඉන්න. අමල් නැති වුණාට මම ඉන්නවානේ… ඔයා කොහෙන්ද කතා කරන්නේ…?”

“මම මොනරාගලින්.”

අපේ කතාව ඇරඹුණේ එලෙසිනි.

සියඹලාණ්ඩුව පැත්තේ විදුහලක සිංහල ගුරුවරියක ලෙස ඇය සේවය කරන්නීය. අමල් යනු ඇගේ සැමියාය.

වෙනදාට නිවාඩුවට ගෙදර එන සැමියා දින දෙක තුනක්ම නොපැමිණීම ගැන විමසන්නට ඇය එසේ දුරකථන ඇමතුමක් දෙන්නට වුවාය.

ඇගේ සැමියා කොළඹ විදුලිබල මණ්ඩල කාර්යාලයක ලිපිකරුවකු ලෙස සේවය කරන බව ඇය මට කීවාය. ඉන් පසු ඇය මටත් මම ඇයටත් නිතර නිතර දුරකථන ඇමතුම් දෙන්නට විය. ඒ අතරතුර අපි බොහෝ දේ කතා කළෙමු. ඒ වෙනකොට අපේ කතාබහට සති දෙක තුනක්ම ගෙවී ගොසිනි.

“මොකටද ඔච්චර මහත්තයා ගැන හොයන්නේ.”

මම ඇගෙන් නිකමට මෙන් ඇසුවෙමි. ඊට ඇය කීවේ සිතාගත නොහැකි පිළිතුරකි.

“එයා ඔෆිස් එකේම තව ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා දැන් ගෙදර එන්නේ නැහැ. ඒ ගෑනිගේ ගෙදර නවතිනවාලු.”

සැමියා නිසා ඇයට සිදු වන අපහසුතාවය ඇය මට එකක් නෑර කීවාය. නොදුටු ඇය කියන දේ ඇත්ත බව මම සිතුවෙමි.

“ඔන්න ඔය මිනිහව අතහැරලා දාන්න. ඔහොම මිනිහෙක් එක්ක පවුල් කන්න පුළුවන්යැ.”

“ඔව් ඒක ඇත්ත. මම මේ දරුවා හින්දයි ඉවසන්නේ.”

ඇයට දරුවකු ඇති බව මා දැනගත්තේ ඉන්පසුවය. ඇගේ චුටි දියණියට වයස අවුරුදු හතකි.

“දුව අප්පච්චි කෝ කියලා අහනකොට මම මොනවද කියන්නේ.”

ඇගේ කතාවට මට ද උත්තරයක් නැත. මම ඒ සියල්ල අසා සිටියෙමි.

“ඉතිං අමල් ගෙදර එන්නේම නැද්ද…?”

“එයා මගේ ඇවස්ස මස්සිනා. අපේ ගෙවල් දෙකම තියෙන්නේ ළඟ ළඟ.ඉස්සර එයා වැඩ කළේ මොනරාගල. දැන් අවුරුද්දකට කලින් කොළඹට මාරුවීමක් ලැබුණා. ඉස්සර හැම සෙනසුරාදාවකම ගෙදර ආවා. පස්සේ පස්සේ එයා ගෙදර එන එක මඟ හැරියා. හොයලා බලද්දී එයා ඒ ඔෆිස් එකේම ගැහැනියක් එක්ක යාළුයි කියලා දැනගත්තා. දැන් එයා මෙහේ එන්නේ නැතිව ඒ ගෑනිගේ ගෙදර යනවලු.”

ඇය සිය සැමියා ගැන ඇත්ත කතාව දුරකථනයෙන් මට කීවාය. මට ඇය ගැන ඇත්තෙන්ම ඇති වුණේ දුකකි.

“මට ඔයා ගැන ඇත්තට දුකයි.”

“ඒකනේ බලන්නකො මට මාර ප්‍රශ්නයක් මේක. දුව තාත්තා කෝ කියලා අහනකොට මම මොනවද කියන්නේ.”

ඇය යළිත් ඒ කතාවම කීවාය. දියණිය සිය පියා ගැන විමසද්දී ඊට දියයුතු පිළිතුරක් ඇය සතුව නැත.

“මට දුවව බලන්න එන්න හිතෙනවා”.

“අනේ එන්න.”

ඇය මට කිහිප වතාවක්ම එළෙස ආරාධනා කළාය. ඒ අනුව මම දිනෙක ඇයත් දුවත් දැක බලා ගන්නට කොළඹින් මොනරාගල බලා පිටත් වුයෙමි. මොනරාගලට බසයෙන් ළඟා වෙද්දී දහවල් එකොළහ ද පසුව තිබිණ. බසයෙන් බැසගත් මම ඇයට ඇමතුමක් දුන්නෙමි.

“හරි ඔයා ඔහොම ම ස්ටෑන්ඩ් එකේ කෙළවරට එන්න.”

“ඉතින් මම කොහොමද ඔයාව හඳුගන්නේ කතා කළාට දැකලා නැහැනේ.”

“ඔයා එන්නකෝ මම රෝස පාට ඇඳුමක් ඇඳල පොත් වගයකුත් අතේ තියාගෙන ඉන්නේ.”

මම ඒ අනුව බස් නැවතුම් කෙළවරටම ගියෙමි. පොත් දෙක තුනක් ද පපුවට තුරුලුකරගෙන සිටි ඇය මා දුටු සැණින් සිනාසුනාය. මම ඇය ළඟට ගියෙමි.

“ඔයා මාව හඳුනගත්තා නේද?”

ඇය ඊට පිළිතුරු දුන්නේ සිනහවකිනි.

“මම හිතුවෙ නැහැ ගමේ මෙච්චර ලස්සන ළමයි ඉන්නවා කියලා.”

මම ඇය දෙස බලමින් කීවෙමි.

“ඇයි මම කැතයි කියලද හිතුවේ.”

“නැහැ කටහඬින්ම දැනගත්තා ඔයා ලස්සනයි කියලා.”

“ඒක නෙමෙයි මෙහෙම කතා කරන්න බැහැ. මේක අපේ ගම… ඒ නිසා අපේ ගෙදර යමු.”

“අපෝ බැහැ.”

“එහෙම කියන්න එපා. දවල්ට කෑම ටිකක් කාලා එහෙම නිදහසේ කතා කරමු.”

“එතකොට අහල පහළ අය මොකුත් හිතන්නේ නැද්ද?”

“ඒකට බය වෙන්න එපා. එයාලා ඇහුවොත් මම කියන්නම්කෝ ඔයා අපේ ගුරුවරයෙක් කියලා.”

සැමියාට දොස් කීවද ඇය ද කරන්නට හදන්නේ වැරදි දෙයක් බව මට සිතිණි. ඕවා කතාකරන්න ගියොත් ලැබෙන්නට තියෙන දෙයත් නැතිව යන බව දත් මා දියණියට ද චොක්ලට් කිහිපයක් රැගෙන ඇගේ ගෙදරට ගියේ මහත් සතුටකිනි.

අම්මා දුටු චුටි දියණිය දිව ආවාය. පොත් මිටිය පැත්තක තැබු ඇය චුටි දියණිය හොවාගෙන සිපගත්තාය. මම චොකල්ට් කිහිපය දියණිය අතට දුන්නෙමි. ඇය මා දෙස පුදුමයෙන් බලා සිටියාය.

“අප්පච්චි ඔයාට චොක්ලට් එවලා ගන්න පුතේ.”

ඇය කීවාය.

“ඔයා ඉන්න මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්.”

ඇත්තෙන්ම එය සුන්දර පරිසරයකි. කොළඹින් සැතපුම් ගණනකට ඈතින් පිහිටිය ද ගැමි සුන්දරත්වය තවමත් පහවී නොගොසිනි. හමා එන වියළි සුළඟ ගතට ගෙන එන්නේ අමුතුම සිසිලකි.

“මොනවද කල්පනා කරන්නේ”

“කොළඹට වඩා ගම කොච්චර හොඳද කියලා.”

දුන් කහට වතුර වීදුරුව අතට ගත් මම ඇයට කීවෙමි.”

“මේ මොනවද?”

“බෙලිමල් ඇඟට හරිම ගුණයි.”

“ඇත්තද මම නම් බීලම නැහැ.”

“ඒකනේ …. ගමටම එන්න ඕන ඕවා බොන්න.”

“අපි ඉතින් ටී නැත්තම් ප්ලේනටි තමයි.”

මගේ කතාවට ඇයට සිනහ ගියාය. ටිකෙන් ටික චුටි දියණිය ද මා හා මිතුරු වුවාය. මම ඇයව උකුලේ තබා ගෙන නොයෙකුත් දේ කීවෙමි. ඇය ඒ දෙස බලා සිටින්නේ සතුටකි.

“මෙයා මෙතෙක් වෙලා අප්පච්චි නැතුව දුකෙන් හිටියේ. දැන් ඒ සේරම අමතකයි.

“පව් අහිංසක කෙල්ල.”

අපි ඉන් පසුව බොහෝ දේ කතා කළෙමු. ඇගේ සැමියා ගැන ද කතා කළෙමු. දුවගේ අනාගතය ගැන කතා කළෙමු.

“මට එක වෙලාවකට හිතෙනවා මේ මිනිහගෙන් අයින් වෙන්න. තව ගෑනියෙක් එක්ක ඉන්දැද්දී ආයෙත් මොකට ද?”

ඇය කියාගෙන යන්නේ දැඩි වේදනාවකින්ය.

”ඒත්…”

“ඇයි ඒත් කිව්වේ…”

මම ඇගෙන් ඇසුවෙමි.

“ඒත් මේ කෙල්ලට තාත්තා කෙනෙක් නැති වෙනාවනේ. ඒකියි මට තියෙන ප්‍රශ්නේ?”

ඒ අතර දියණිය යළි මා තුරුලට පැමිණ චොක්ලට් පෙත්තක් මට කවන්නට වුවාය.

“ඒ අප්පච්චි නැති වුණාට මේ අප්පච්චි ඉන්නවනේ නැද්ද දුව“

මම දියණිය දෙස බලමින් කීවෙමි. සතුටුවන දියණිය දෙස බලා ඇයද සිටින්නේ සතුටිනි.

“එහෙම වුණොත් ඔයා මෙයාගේ අප්පච්චි වෙනවද?

දියණිය හොවා ගෙන සිටින මා අසලට පැමිණි ඇය මගෙන් එසේ විමසන්නට වුවාය. මම ඇය දෙස බැලීමි.

“ඔව් සත්තකින්ම”

ඇගේ දෙනෙත් කඳුළින් පිරිණි. දියණිය මෙන්ම ඇයද තුරුළු කරගත් මා එදින රාත්‍රිය එහි ගතකළේ සියල්ල අමතක කොට පසුදින කොළඹ යන බලාපොරොත්තුව සමඟිනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top