Health & Beauty

ඔබ හිසකෙස් වර්ණ ගන්වන්න අදහසක් තියෙන කෙනෙක් ද?

කොන්‌ඩෙ පාට කරන එක ගොඩක් අය කැමති විලාසිතාවක්. හැබැයි අනිත් අය කරනවා දැකලා ඔයත් මේ විලාසිතාව ඔහේ කරන්න යන්න එපා. ඔයත් කොන්ඩෙ පාට කරන්න බලන් ඉන්න කෙනෙක්නම් මේ උපදෙස් ටික ඔයාට ගොඩක් වැදගත් වේවි.

1. ඔබ සහ ඔබේ සම

හෙයා කලර් එකක් හිතුණ ගමන් කරන්න එපා. මුලින්ම ඔයා රැකියාවක් කරනව නම් ඔයාගෙ රැකියාවේ ස්වභාවය, ගැවසෙන සමාජය සහ ඔයාගෙ පෞර්ෂය ගැන හිතල කලර් එකක් තීරණය කරන්න ඕන. වයිබ්‍රන්ට් එහෙම නැත්නම් කැපී පෙනෙන වර්ණ හැමෝටම ගැලපෙන්නෙ නෑ ආස උනත්. අනිත් කාරණය සමේ වර්ණයේ ස්වභාවය. ආසියාතික අපේ සම බොහෝ විට කහ පැහැයට හුරු, එහෙම නැත්නම් වෝම් (Warm) ස්කින් ටෝන් එකක්. රතට හුරු කූල් (Cool) ස්කින් ටෝන් එකක් තියෙන අයත් නැතුවම නෙවෙයි. ඔයාගෙ සමේ වර්ණය කූල්ද නැත්නම් වෝම්ද කියන එක මත කොණ්ඩෙට පාවිච්චි කරන කලර් එක තෝරගන්න. සමේ පැහැය අඳුරු කරවන පාටක් නැතුව සම දීප්තිමත්ව පෙන්වන වර්ණයක් තෝරගන්න එතකොට පුළුවන්.

2. තෝරාගන්න වර්ණය සහිත පින්තූරයක්

සැලෝන් එකට යනකොට ඔයා ගාන්න හිතන් ඉන්න වර්ණය සහිත පින්තූරයක් අමතක නොකර අරන් යන්න. අපි කටින් කියන පාට සමහරවිට සැලෝන් එකේ කෙනාට මැවෙන පාට නොවෙන්න පුළුවන්. වඩාත්ම සුදුසු කරන්න හිතන් ඉන්න කලර් එකේ ෆොටෝ එකක් අරන් යන එක.

3. ස්කින් ඇලර්ජි

සමහරුන්ට මේ පාවිච්චි කරන කෙමිකල්ස් වලට ආසාත්මිකතා එහෙම නැත්නම් ඇලර්ජීස් එන්න පුළුවන්. පළවෙනි පාරට කලර් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ස්කින් ටෙස්ට් එකක් කරගන්න ඕන. සැලෝන් එකකින් කරගන්නව නම් කලින් දවසෙ ගිහින් කණ පිටුපස සමේ ඒ් වර්ණයෙන් ස්වල්පයක් තවරගෙන එන්න. පැය 24ක් ඇතුලත ආසාත්මිකතාවයක් උනේ නැත්නම් බය නැතුව වර්ණ ගන්වන්න පුළුවන්.

4. කොණ්ඩය සෝදගෙන යන්න

සැලෝන් එකට යන්න කලින් හොඳින් හිසකෙස් ශැම්පු කරල සෝදගෙන යන්න. කන්ඩිශනර් පාවිච්චි කරන්න එපා. වෙනින් වැඩක් අතරතුර සැලෝන් එකට යනව නම් කලර් එකට කලින් හිසකෙස් සෝදන්න කියල මතක් කරන්න අමතක කරන්න එපා. අපේ හිස්කෙස් වල ස්වභාවයෙන්ම ඇති තෙල් ගතියත්, ඒ මත ඇති දුහුවිල්ලත් තියෙද්දි කලර් එකක් කළොත් හරියට වර්ණය අල්ල නොගන්න ඉඩ තියෙනව.

5. ලයිට් කලර්ස් සහ ඩාර්ක් කලර්ස්

බ්ලොන්ඩ් කලර්ස් එහෙම නැත්නම් ලා වර්ණ වලින් හිසකෙස් හයිලයිට් කරනවා නම් බ්ලීච් කරන්න සිද්ධ වෙනව. හිසකෙස් බ්ලීච් කරන එක නම් නිරෝගී කොණ්ඩයකට ඒ තරම්ම හොඳ දෙයක් නෙවෙයි. හිසකෙස් වලට හානි සිදුවෙන්න පුළුවන්. ඩාක් කලර්ස් වලින් වර්ණ ගන්වනකොට එහෙම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ. බ්ලීච් නොකරම වර්ණ ගන්වන්න පුළුවන්.

6. හිසකෙස් වල වොලියුම් එක අඩු නම්

කොණ්ඩයේ වොලියුම් එක එහෙම නැත්නම් ඝණ බව අඩු කෙනෙක්ට හෙයා කලර් එකකදී පොඩි ඇස්බැන්දුමක් කරන්න පුළුවන්. වර්ණ දෙකක ශේඩ්ස් පාවිච්චි කරල හයිලයිට් එකක් කරනව නම් හෙයා වොලියුම් එක වැඩි කරල පෙන්වන්න පුළුවන්.

7. විවෘත වෙන්න, කතා කරන්න

කා එක්කවත් නෙවෙයි මේ කිව්වෙ කොණ්ඩය කලර් කරන කෙනා එහෙම නැත්නම් ඔයා යන සැලෝන් එකේ කෙනා එක්ක කතා කරන්න. තමන්ගෙ අවශ්‍යතාවය හරියට සන්නිවේදනය කරන්න. කොණ්ඩයට මොන වගේ පෙනුමක්ද අවශ්‍ය, තමන් කැමති වර්ණය, හෙයා කට් එකකුත් කරනවද නැද්ද, හිසකෙස් වල ස්වභාවය, බ්ලීච් කරනවට කැමතිද අකමැතිද කියන එක වගේ හැමදෙයක් ගැනම කතා කරන්න. ගැටළු තියෙනව නම් අහල දැනගන්න. පාවිච්චි කරන කලර්ස් වල බ්‍රෑන්ඩ් එක මොකක්ද කියන එකත් අහන්න අමතක කරන්න එපා. හැමවිටම තත්ත්වයෙන් හොඳ නිෂ්පාදන පාවිච්චි කරන එකෙන් හිසකෙස් වලට වෙන හානිය අවම කරගන්න පුළුවන්.

8. කලර් කළාට පස්සෙ

හෙයා කලර් එකක් කළාට පස්සෙ මෙච්චර දවස් පාවිච්චි කරපු ෂැම්පු එකයි කන්ඩිෂනර් එකයි පැත්තකට දාන්න වෙනව. කලර් ප්‍රොටෙක්ශන් ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එකෙන් වර්ණය වැඩි කාලයක් පවත්වගන්න පුළුවන්.
අව්වට හිසකෙස් නිරාවරණය කරන එක හැකි තරම් අඩු කරන්න. සිලිකන් ඔයිල් හෝ ලීව් ඕන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කරන එක වඩාත් සුදුසුයි.
පූල් වල බහින්නෙ කල්පනාවෙන්. පූල් වලට පාවිච්චි කරන ක්ලෝරීන් හෙයා කලර් එකක් ෆේඩ් කරන්න සමත්. නිතර ස්විමින් කරන කෙනෙක් නම් හෙයා මාස්ක් එකක් පාවිච්චි කරන එක සුදුසුයි.

9. ආයෙ කලර් කරන්න ඕන කොච්චර කාලෙකින්ද?

වර්ණ ගැන්වූ ස්ටයිල් එක අනුව සති 6-8ත් අතර කාලෙකින් නැවත හෙයා කලර් එකක් කරන්න තියෙන ඉඩ වැඩියි. උදාහරණයක් විදියට බ්ලොන්ඩ් හයිලයිට් එකක් කළා නම් මාසෙකට අනිවාර්යයෙන්ම වැවෙන හිසකෙස් වල අඟල් භාගය බ්ලොන්ඩ් එක නැතුව කැපිල පේන්න ගන්නව. ඔයා බලාපොරොත්තු වෙන පෙනුම ඒකෙන් නැති වෙන්න පුළුවන්. ස්වභාවික හිසකෙස් වල වර්ණයත් එක්කම ශේඩ් වෙන පාටකින් කලර් කලා නම් මාස හයකට වතාවක් කලර් කරන කාලය දික් කරගන්න පුළුවන්.

10. අවසාන වශයෙන්

කලර් එකක් කරන්න යන ගාණ තීරණය වෙන්නෙ ඔයාගෙ කොණ්ඩයේ දිග, ඝණකම සහ පාවිච්චි කරන නිෂ්පාදනයේ බ්‍රෑන්ඩ් එක අනුව. එක පාරටම සැලෝන් එකකට ගිහින් කලර් එකක් කරගන්න කලින් අවශ්‍යතාවය ගැන කියල ගණන් මිනුම් දැනගෙන බජට් එක හදාගන්න.

උපුයා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!