Gossip

“මාධවීගේ ඇඳුම මගේ එකක් -ඩිසයිනර් කෙනෙක් කවදාවත් බලෙන් ඇඳුමක් අන්දන්නෙ නැහැ”- රැෆෙලා ෆර්නැන්ඩු

නිර්මාණකරුවකුට තමන් ජීවත්වන පරිසරය පිළිබඳව කොයි වගේ අවබෝධයක් තියෙන්න ඕනෙද?
අපේ සමාජයේ එක කොට්ඨාසයක් ඉන්නවා සංස්කෘතිය පැත්තට යන, තවත් කොට්ඨාසයක් ඉන්නවා ෆැෂන් නොකරන, තව කොට්ඨාසයක් ඉන්නවා ෆැෂන් කරන. මේ නිසා අපි ජීවත්වන පරිසරය ඇතුළේ මෝස්තර නිර්මාණය කරන ශිල්පියෙක්ට මේ සමාජය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ. අපි කරන නිර්මාණයකදි අපේ සේවාදායකයා කොයිතරම් Comfortable ද කියන කාරණය වගේම එ් නිර්මාණය සමාජයේ කියවීමට ලක්වන්නේ කෙසේද යන්නත් අදාළ වෙන්නේ අපේ කාර්යභාරයටමයි.

කෑන්ස් සම්මාන උළෙලේදී එක්තරා ජනප‍්‍රිය නිළියකගේ ඇඳුමෙන් කොටසක් අනපේක්ෂිත ලෙස ගැලවී යනවා. මෙවැනි දේ සිදුවිය හැකිද? මේ වගකීම විස්තර කළොත්?
ඔව්. ඇත්තටම එ්ක ලොකු වගකීමක්. නමුත් ඩිසයිනර් කෙනෙක් කවදාවත් බලෙන් ඇඳුමක් අන්දන්නෙ නැහැ. එතනදි පාවිච්චි කරන පාවහන් විලාසිතා, ආභරණ විලාසිතා වගේම සෙලිබ්‍රිටීස්ලා එ් විලාසිතාව සම්බන්ධයෙන් කොයිතරම් සූදානම්ද ආදී මේ හැම දෙයක්ම අදාළ වෙනවා. මේ නිසා ඩිසයිනර් කෙනෙක්ට විතරක්ම අවදානම ගන්න බැහැ. අපි ඩිසයින් කරලා දෙන ඩ්‍රෙස් එක දිගවැඩියි ද හිරයිද? අපහසුතාවක් තියෙනවාද? මේ හැමදෙයක් සම්බන්ධයෙන්ම එ් විලාසිතාවෙන් හැඩවෙන කෙනා සෑහීමකට පත් වුණාට පසුවයි මේ කාර්යභාරය නිමා වෙන්නේ. මේ නිසා සම්පූර්ණ අවදානම අපිට තනියම ගන්න බැහැ.

සංස්කෘතිය මුල් ඇදගත්ත රටක මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වීම මොන වගේ අභියෝගයක් වුණාද?
ඇත්ටම මේ දක්වා ආවේ හරිම කටුක ගමනක්. අද වනවිට මම රටවල් ගණනාවකට ගිහිං මගේ Fashion Shows කරලා තියෙනවා. මෑතකදිම මම ලන්ඩන්වල ෂෝ එකක් කළා. ඇත්තටම එතැනදි මම මගේ අත්දැකීමෙන්ම දැකපු දෙයක් තිබුණා. එ් තමයි මෝස්තර නිර්මාණ ක්ෂේත‍්‍රය කියන්නේ වර්ණ භේදය උඩුදුවපු තැනක් කියන කාරණය. උපතින්ම ලැබුණ කළු සම නිසා මම එ් අත්දැකීම අත්විඳලා තියෙනවා. කොහොම වුණත් මගේ නම බැලූ බැල්මට ඉතාලි නමක් වගේ නිසා මට London Fashion Week එකේ Top Three Collection වලට එන්න පුළුවන් වුණා. ශ‍්‍රී ලංකාවේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට ඉදිරිපත් වෙලා සිටියේ මම විතරයි. ඊටපස්සේ මගේ ආර්ටිකල්ස් එහෙම පළවෙද්දි තමයි ඔවුන් මම ඉතාලි ජාතිකයෙක් නොවන බව හඳුනගත්තේ. ඇත්තටම මාව දැකපු අවස්ථාවේ ඔවුන් ගේ වෙනස් වීම අත්දැක්ක නිසා සමෙහි වර්ණයත් මෝස්තර නිර්මාණයත් අතර ඇති නෑකම මට අවබෝධ වුණා. කොහොම වුණත් එදා මගේ ඇඳුම් නිර්මාණ දැකලා ඉතාම හොඳ ප‍්‍රතිචාර ලැබුණා. නමුත් මාව ඇත්තටම කවුද කියලා දැනගත්ත මොහොතේ ඔවුන්ගේ හැසිරීම මට නිරීක්ෂණය කරන්න ලැබුණා. ඔවුන් දැනගෙන සිටියා නම් මම ලංකාවෙ කෙනෙක් කියලා, කවදාවත් මට එ් චාන්ස් එක ලැබෙන්නෙ නැහැ. එ් අනුව මම තේරුම් ගත්ත දෙයක් තමයි, මේ ක්ෂේත‍්‍රයේ එක ස්ථරයක් ඉහළට යන්න නම් සමේ වර්ණයත් බලපානවා. අපි කොයිතරම් දක්ෂද කියලා තීරණය කරද්දි විශේෂයෙන්ම එංගලන්තය වගේ රටක ඡුවි වර්ණය ගැන සැලකිලිමත් වෙනවා. අනෙක් අතට ඔබ කියන විදියට ලංකාව වගේ රටක් ඇතුළෙදි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ට යම් යම් සීමා පැනවෙන බව ඇත්ත. එහෙම ලංකාවෙදි කරන්න හිතන්නවත් බැරි ෆැෂන් ෂෝස් මම වෙනත් රටවලදි කරනවා.

පහුගියදා වඩාත් කතාබහට ලක් වූ චන්දිමාල්ගේ රෝයල් බර්ත් ඬේ පාර්ටි එකේදි රැුෆෙලාගේ ඇඳුම් නිර්මාණ කීයක් තිබුණාද?
මම ශලනි, මාධවී, නදීෂා යන අයගේ ඇඳුම ඩිසයින් කළා. සුලේකාව ස්ටයිල් කළා සචිනිගේ හෙයා ඇක්සසරීස් ඩිසයින් කළා.

මාධවීගේ ඇඳුම බොහෝ දෙනාගේ හොඳ නරක විවේචනවලට ලක් වුණා. කොහොමද එ් ඩිසයින් එකට ප‍්‍රවේශය ගන්නේ?
ඔව් මාධවීගේ ඇඳුම මගේ එකක්. මුලින්ම කියන්න ඕන දේ තමයි, ඩිසයිනර් කෙනෙක් කවදාවත් බලෙන් ඇඳුමක් අන්දවන්නෙ නැහැ. ඇත්තටම එ්ක මාධවීට කරපු එකක් නෙමෙයි. පහුගියදා මම සහභාගි වුණ ලන්ඩන් ෆැෂන් ෂෝ එකට තියපු ඇඳුමක්. එදා එ් ඇඳුමට ගොඩක් හොඳ කමෙන්ට්ස් ලැබුණා. මාධවී කියන්නේ අපේ රටේ සිටින සෙලිබ්‍රිටීස්ලා අතර සිටින ඉතාම හොඳ සිරුරක් තියෙන කෙනෙක්. එ් නිසා එයාට මේ ඇඳුම හරියටම ගැළපුණා. එතනදි මම මේ ඇඳුම නිර්මාණය කරන්නෙ ඊජිප්තු දෙවඟනක ඇසුරෙන්.

ශලනිගේ ඇඳුම සම්බන්ධයෙන් ලැබුණ ප‍්‍රතිචාරත් එ් තරම් හොඳ මදි නේද? කොහොමද එ් ඇඳුම නිර්මාණය වෙන්නේ?
ශලනි ඇඳලා ඉන්නේ ඇත්තටම ජම්ප් සූට් එකක්. එ් ඇඳුමේ අත් දෙක කර වැහිලා තියෙනවා. කකුල් දෙක පමණක් නිරාවරණය වෙලා නිසා ඇතැම් අයට එ්ක නුසුදුසුයි කියලා දැනෙනවා. ඇත්තටම ශලනි එ් ප‍්‍රමාණයට දිග ෂෝට් ස්කර්ට් එකක් ඇන්දනම් ඔය කියන අය විරුද්ධ වෙන්නෙ නැහැ. එ්ක තමයි ඇත්ත. ආර්ටිස් කෙනෙක්ගේ ඇඟ පෙන්නලා ආකර්ෂණය ගන්නවා කියන එක නෙමෙයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ අරමුණ වෙන්නේ. නමුත් ආර්ටිස් කෙනෙක් කියන්නේ කොහොමටත් අවධානය දිනාගත යුතු කෙනෙක්. එ් ඇටෙන්ෂන් එක ලැබෙන්න නම් ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් විලාසිතාවත් වැදගත්.

ශලනිගේ ඇඳුම සම්බන්ධයෙන් ඇය සතුටු වුණාද?
ශලනි ඇත්තටම සතුටු වුණා එ් ඇඳුමට. මට කතා කරලත් කිව්වා එයා ඇඳුමට ගොඩක් කැමතියි කියලා. එ්ක ඇත්තටම සිම්පල් ඇඳුමක්. අපි ඇඳුම කරද්දි කතාබහ කරලා තමයි එ්කෙ නිමාව සකස් කරන්නෙ. මුලින්ම මම ඩිසයින් එක කරලා එ්ක හරියටම ගැළපෙයි කියලා මම හිතන කෙනෙක්ට ඉදිරිපත් කරනවා. එ් අනුව තමයි ශලනිට මේ ඩිසයින් එක යෝජනා වෙන්නෙ. ශලනි එ් ඇඳුමට අකැමැතියි නම් එයා මේකට කැමති නෑ කියන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඇත්තටම ශලනි එ් ඇඳුමේ අවුට් ෆිට් එකට කැමති වුණා.

මාධවීගේ ඇඳුම සම්බන්ධයෙන් ලැබුණ ප‍්‍රතිචාර ගැන මොකද හිතන්නෙ?
මාධවී මට දුරකතන ඇමතුමක් අරගෙන කිව්වෙ කවුරු මොනවා කිව්වත් එයා එ් ඇඳුමට ආසයි කියලා. බැලූ බැල්මට එ් ඇඳුමේ ශරීරය නිරාවරණය වෙනවා වගේ පෙනුනට ඇත්තටම එ්ක සම්පූර්ණ සිරුරම ආවරණය වූ ඇඳුමක්. ස්කින් කලර් එකෙන් මහපු එකක් තමයි එ් විදියට පෙනෙන්නෙ. මේ ඇඳුම Carry කරන්න පුළුවන් සිරුරක් මාධවීට තියෙනවා. මම එ් ඇඳුම් නිර්මාණය අරගෙන යන්නේ ලන්ඩන්වල ෆැෂන් ෂෝ එකකට. එහේ මිනිස්සු ඉතාම ප‍්‍රශංසා කරපු නිර්මාණයක්.

මේ සාදයේ ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් එල්ලවුණ, ”රෝයල්” කියන තේමා පාඨය අවභාවිත කළා කියන චෝදනාව සම්බන්ධයෙන් මොකද හිතන්නෙ?
ඇත්තටම චන්දිමාල් මුලින්ම අපිට එවපු ඉන්විටේෂන් කාඞ් එකේ තිබුණේ රෝයල් ඇන්ඞ් හොලිවුඞ් කියන තේමාව. රෝයල් කිව්වම වුණත් එ්ක අපිට වෙනස් විදියට හිතන්න නිදහස තියෙනවා. රෝයල් ෆැමිලි එකත් එක්ක හිතනවා නම් එතනදි අපිට රීති පද්ධතියකට ගරු කරන්න සිදු වනවා. ළා පැහැති වර්ණයන් භාවිත කරන්න වෙනවා. එ් වගේම නිය ආලේපන ගැල්වීම, දෙතොල් ආලේපන ගැල්වීම වැනි දේවල් පවා කරන්න බැහැ. ශලනිගේ ඇඳුමෙදි මම එවැනි රෝයල් කලර්ස් භාවිත කරනවා. කොහොම වුණත් රෝයල් කියන අදහස අපිට එංගලන්ත රජ පවුලෙන් මිදිලා වුණත් තේරුම් ගන්න පුළුවන්. ඩිසයිනර් කෙනෙක්ට එ් නිදහස් මනස සහ අවබෝධය අවශ්‍යයි. මාධවීගේ ඇඳුම නිර්මාණය වන්නේ එ් ආකාරයට. ඊජිප්තුවේ රාජකීය ඇඳුම් විලාසිතාවකට එ් ඇඳුම නෑකම් කියනවා. ඊජිප්තු දෙවඟනන්ගේ සළුපිළි නිර්මාණය වන්නේ බොහෝ විට ඡුවි වර්ණයෙන්. දෙවිවරුන්ගේ සිරුර බොහෝ සෙයින් නිරාවරණය වී තියෙනවා. මාධවීගේ ඇඳුමට ස්කින් කලර් එක පාවිච්චි කරන්නේ එ් අදහසින්. ඇත්තටම එ් ඇඳුම් විලාසිතාව බැන්ඬේජ් ස්ටයිල් එකක්. දැන් අපිට රෝයල් කියන අදහසින් ඩිසයින් එකක් කරනවා නම් ලංකාවේ රජ පවුල් ආශ‍්‍රිත කරගෙන වගේම සීගිරි අප්සරාවන් ආශ‍්‍රය කරගෙන වුණත් නිර්මාණයක් කරන්න පුළුවන්. රෝයල් කිව්වම ඩිසයිනර් කෙනෙක්ට එංගලන්තයේ රජ පවුල ඉලක්ක කරගෙන පමණක් හිතන්න බැහැ. එ් නිසා රෙඞ් කාපර්ට් එකට ගැළපෙන ආකාරයේ ඇඳුමක් ඩිසයින් කරන්න අපිට නිදහස තියෙනවා. ශලනිගේ ඇඳුම නිර්මාණය වන්නේ වයිට් හවුස් තීම් එකට. වයිට් හවුස් එකේ ආකිටෙක්චරල් ඩිසයින් එකකින් තමයි එ් ප‍්‍රවේශය ගන්නේ. නදීෂා හේමමාලිගේ ඇඳුම නිර්මාණය වන්නෙත් රෝයල් ආර්කිටෙක්චර්ස් කියන සංකල්පයත් එක්ක. එතැනදි මම එතනදි ආභාසය ගත්තේ ග‍්‍රීක් රෝයල්ටි සහ ඊජිප්ට් රෝයල්ටි කියන අර්ථයෙන්.

ඇඳුම් නිර්මාණයකට පස්සේ එ් විලාසිතාවට ලැබෙන ප‍්‍රතිචාර නිසා ඔබට දෝෂාරෝපණ එල්ල වූ අවස්ථා නැද්ද?
ඇත්තමයි අද වෙනකල් මගේ ඇඳුම් නිර්මාණයක් සම්බන්ධයෙන් එ් වගේ ප‍්‍රතිචාරයක් නම් ලැබිලා නැහැ. මම හිතනවා ඉස්සරහටත් එහෙම වෙයි කියලා. මොකද මම කවදාවත් ක්ලයන්ට්ගේ කැමැත්ත නැතිව කිසිම ඇඳුමක් ඩිසයින් කරන්නෙ නැහැ. මේ සියලූම දෙනා මම නිර්මාණය කරලා දුන්න දේ සම්බන්ධයෙන් තෘප්තිමත්. සමාජයේ කියවීම විවිධයි. සම්පූර්ණ සමාජයක්ම තෘප්තිමත් කරන්න නම් කොහොමටවත් බැහැ.

සාමාන්‍යයෙන් මේ වගේ ඇඳුමක් නිර්මාණය කරන්න කීයක් ගන්නවාද?
මෙහෙමයි, මම තෝරාගත් කිහිප දෙනෙක්ට විතරයි ඇඳුම් නිර්මාණය කරන්නේ. අපි ඩිසයින් එකකට වැය කරන කාලයක්, වගේම ශ‍්‍රමයක් තියෙනවානේ. එ් වගේම ඩිසයිනර් කෙනෙක් විදියට අපේ ක‍්‍රියේටිවිටි පාවිච්චි වෙනවා. මේ කාරණා නිසා මම සාමාන්‍යයෙන් ෆ‍්‍රී ඩිසයින් එකක් කරනවා නම් අඩුයි. කොහොම වුණත් අය කිරීමක් නම් කරනවා. එ්ක මෙච්චරයි කියලා කියන්න නම් අපහසුයි.

අපේ රටේ මිනිස්සුන්ට මෝස්තර නිර්මාණ කලාව තේරුම් ගැනීමේ බුද්ධිය තියෙනවාද?
මෙහෙමයි කිහිපදෙනෙක් ඉන්නවා මේ කලාව නොතේරෙන. එ් අය තමයි සෙක්සි, ඇට‍්‍රෑක්ටිව් වගේ වචන පවා රුස්සන්නෙ නැත්තේ. නමුත් ඩිසයිනර් කෙනෙක්ට සෙක්සි කියන්නේ කෙනෙකුගේ සුන්දරත්වය දකින විදියක්. නමුත් මම කියන්න ඕනෙම දෙයක් තියෙනවා. අපේ රටේ ඩිසයිනර් කෙනෙක්ව තේරුම් ගන්න තරම් ඥනය තියෙන අති විශාල පිරිසක් ඉන්නවා. ෆැෂන් ෂෝවලදි ලැබෙන ප‍්‍රතිචාරවලදි වගේම මට ලැබෙන වැඩත් එක්ක එ්ක මට අත්දැකීමෙන්ම කියන්න පුළුවන්. අපිව තේරුම් ගන්න ප‍්‍රමාණය තේරුම් නොගන්න ප‍්‍රමාණයට වඩා වැඩියි. මේ වෙලාවේ ඇතිවෙලා තියෙන සමාජ කතාබහ නම් මට දැනෙන්නෙ රැුල්ලට යාමක් විදියට. එක්කෙනෙක් පෝස්ට් එකක් දැම්මාම තව එක්කෙනෙක් දානවා. ඔය විදියට හැමෝම මොනවාම හරි පෝස්ට් කරන්න උත්සාහ ගන්නවා. එ්ක මේ සෝෂල් මීඩියාවල සිදුවන දෙයක් මිසක එළියේ සමාජයේ සිදුවීමක් නෙමෙයි.

වාසනා සුරංගිකා විතානගේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!