Gossip

‘මුරලි නිසා මට ප‍්‍රශ්න එනකොට එයා ක‍්‍රිකට් නවත්තලා ගෙදර යන්න හැදුවා’… මුරලිව බේරගත් මෙහෙයුම ගැන අර්ජුන කියයි

‘‘මුරලි පන්දුව දමා ගසන බවට 1995 දී ඩැරල් හෙයාර් විනිසුරු සංඥා කරනකොට මම හිටියෙ ඩෙ‍්‍රසින් රූම් එකේ. මගේ කකුලෙ ආපු පොඩි ආබාධයකට එළියට ගිය වෙලාවෙ තමයි ඔය සිදුවීම ඇති වුණේ. අරවින්ද තමයි ඒ වෙලාවෙ පිට්ටනියෙ හිටියේ. සිදුවීම ඇති වුණ ගමන් මම පිට්ටනයිට ගිහිල්ලා නීතිය පැත්තෙන් මොකක්ද කරන්න ඕන කියලා කල්පනා කළා. මොකද නීතිය හරියට ක‍්‍රියාත්මක කළේ නැතිනම් මුරලි නැත්තටම නැති වෙන්නත් තිබුණා. එතනදි අපි මුරලිව පරිස්සම් කරලා දෙපැත්තටම පන්දුව දාන්න මුරලිට උපදෙස් දුන්නා. එතනදි අපි මුළු ලෝකයටම පෙන්නුවා මුරලිට අසාධාරණයක් කරන්නෙ කියලා.’’

‘‘අපි හුඟක් ප්ලෑන් කරලා මුරලිට කිව්වා විනිසුරුවරයාගේ පස්සෙන් ගිහිල්ලා බෝල් කරන්න සහ පා දඟ පන්දු යවන්න කියලා. සාමාන්‍යයෙන් පා දඟ පන්දුවක් යවනකොට අත නමන්න බැහැ. තාක්ෂණය අනූවත් නිගමනයකට ඇවිල්ලා තියෙනවා පා දඟ පන්දුවක් දමලා ගහන්න බැහැ කියලා. ඉතින් මුරලි යවපු පා දඟ පන්දුවත් නිපන්දුවක් කියලා ඩැරල් හෙයාර් සංඥා කළා. පාදඟ පන්දුවට ‘නෝ බෝල්’ කිවවහම මම ගිහිල්ලා කිව්වා මෙයා දැම්මෙ පා දඟ පන්දුවක් ඒක කොහොමද දමලා ගහනවා කියලා අල්ලන්නෙ කියලා. ඒත් ඩැරල් හෙයාර් කිව්වෙ නැහැ මෙයා දැම්මෙ එහෙම බෝලයක් නෙමෙයි කියලා. අපි මුළු ලෝකෙම රූපවාහිනී ප‍්‍රතිරූපණ වලිනුත් දැක්කා මුරලි යැව්වෙ පා දඟ පන්දුවක් කියලා.’’

‘‘ආයිත් 98දීත් මුරලිට ඔය ප‍්‍රශ්නෙම ආවා. එතනදි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා වගේම ක‍්‍රීඩා ඇමැති එස්.බී. දිසානායක මහත්තයා මට පෞද්ගලිකවම කතා කරලා ඇහැව්වා මොනවද වෙන්න ඕන කියලා. ඒ දේශපාලන නායකයන් එදා මට කිව්වා ඕන තීරණයක් අරන් දමලා ගහල ආයිත් ලංකාවට එනවනම් එන්න කියලා. ඒ අයට බයක් තිබ්බා මාව තහනම් කරයි කියලා. බැරි වෙලාවත් එදා මාව තහනම් කළානම් තරගාවලිය නවත්තලා කණ්ඩායම සමග ලංකාවට එන්න කියලත් කිව්වා. අපිට අසාධාරණයක් වෙන වෙලාවෙ අපි තනියම නෙමෙයි කියන හැඟීම මට එතනදි ආවා.

‘‘එදා බැරිම තැන මම පිට්ටනියෙන් කණ්ඩායමත් එක්ක එළියට යන්න ආවා. හැබැයි හතරේ සීමාවෙන් එහාට කවුරුත් යන්න එපා කියලා මම කට්ටියට කිව්වා. මොකද මට බයක් ආවා එදා අපි හැමෝම එළියට ගියානම් කට්ටියටම තරග තහනමක් එයි කියලා. පස්සෙ මම විතරක් එළියට ගියා. එතකොට තහනම එන්නෙ මට විතරයිනෙ. ඇත්තටම මම එහෙම කළේ මේ අය වැරදි දෙයක් කරන්නෙ කියලා ලෝකයට පෙන්වන්න. ටෝනි ග්‍රෙග්, ඉයන් චැපල්, ඉයන් බෝතම් වගේ විස්තර විචාරකයනුත් අපි වෙනුවෙන් කතා කළා. ඒකත් අපිට ශක්තියක් වුණා මේ ප‍්‍රශ්නෙන් ගොඩ එන්න.’’

‘‘මුරලිගෙ ප‍්‍රශ්නෙත් එක්ක මට ගොඩක් ප‍්‍රශ්න ආවා. අයි.සී.සී. එකෙන් ප‍්‍රශ්න කරනවා. ඒ වෙලාවෙ මුරලි ඇවිල්ලා මට කිව්වා අයියේ මම ගෙදර යන්නම් අයියට මම නිසා ප‍්‍රශ්න ගොඩක් එනවා කියලා. එතනදි මම මුරලිට කිව්වෙ මට එන ප‍්‍රශ්න මම බලාගන්නම් ඔයා හොඳ මානසිකත්වයෙන් ශක්තිමත් වෙලා ඉන්න එතකොට මේ ප‍්‍රශ්නෙන් අපිට ගොඩ යන්න ලෙහෙසියි කියලා.’’

‘‘ඒ කාලෙ අපි හැම ප‍්‍රාන්තයකටම යනකොට ඩිනර් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඇඩිලේඞ් මැච් එක ඉවර වෙලා අපිට ඩිනර් ඩාන්ස් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඒකට අරවින්දත් එක්ක කණ්ඩායම යවලා මමයි රංජිත් ප‍්‍රනාන්දු සහ රෝයි ඩයස් පරක්කු වෙලා ගියා. මම පරක්කු වෙලා ගියේ ඔස්ටේ‍්‍රලියාවේ ඉන්න හොඳම නීතිඥයන් සමග මුරලිගෙ ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරපු නිසා. හැබැයි මම එතනට ගිහිල්ලා පැයක් ඇතුළත ආයිත් ඇවිල්ලා නීතිඥයන් සමග ප‍්‍රශ්නය සාකච්ඡුා කළා.’’

‘‘මට තේරුණා ඒ සිදුවීමත් එක්ක මුරලි මානසිකව වැටිලා කියලා. කොහොම හරි ඊළඟ තරගයේදි අපි මුරලිව එළියෙන් තිබ්බා. පස්සෙ අතිරේක ක‍්‍රීඩකයෙක් විදිහට පන්දු රකින්න ගෙනාවා. ඒ විතරක් නෙමෙයි පිට්ටනියෙන් එහාදිත් අපි මුරලිත් එක්ක හිටියා. මම කොහේ හරි උත්සවයකට හරි යාළුවකුගෙ ගෙදර හරි යනවනම් මුරලිව එක්කගෙන ගියා. අරවින්දත් ඒ දේ කළා. රොෂාන්, හෂාන් සහ ගුරුසිංහත් මුරලිව යන යන තැන එක්කගෙන ගියා. එහෙම කරලා තමයි මුරලිගෙ මානසිකත්වය හැදුවේ. ඒකාලේ ජ්‍යෙෂ්ට ක‍්‍රීඩකයන්ගෙ පුදුම ලෙන්ගතුකමක් සහෝදර ක‍්‍රීඩකයන් වෙනුවෙන් තිබ්බා.’’

‘‘කොහොම හරි 1999 වෙනකොට ලොකු ප‍්‍රශ්න ආවා. කණ්ඩායමේ බේද ඇති වුණා. කට්ටියකට ලොකු වුවමනාවක් තිබ්බා අපිව වෙනස් කරන්න. 99 දී අපි ලෝක කුසලානට යනකොට ක‍්‍රිකට්වලට දේශපාලනය රිංගලා තිබ්බෙ. ඔයාට ඊළඟට කැප්ටන් කරන්න පුළුවන් කියලා එක එක මත හැදුවා. 99 දී අපි ලෝක කුසලානට යනකොට 96 තිබුණ එකමුතුකම තිබුණෙ නැහැ. මම ඒක ගොඩනගන්න කොච්චර උත්සහ කළත් කණ්ඩායමක් හැටියට එකට සෙල්ලම් කරන්න බැරි වුණා. කාසියේ වාසිය පැරදුනා. හැම පැත්තෙනම් වාසනාව තිබුණෙ නැහැ.’’

‘‘96 ලෝක කුසලාන ඉවරවෙනකොට මට අයින් වෙන්න කියලා කිව්වා. මම ඇහුව්වා ඇයි මම විතරද මේකට වැරදි කියලා. ඊට පස්සෙ මට කවදාවත් එක්දින තරග ගහන්න දුන්නෙ නැහැ. ටෙස්ට් තරග විතරයි දුන්නෙ. ක‍්‍රිකට් ආයතනයේ කට්ටිය මාව ලැජ්ජා කරලා එලවන්න ප්ලෑන් කළා. 2000 දී තමයි මට මේක හරියටම තේරුණේ. මම අන්තිම ටෙස්ට් තරගයේදීත් හොඳට කළා. හැබැයි හුඟ දෙනෙක් කැමැති වුණේ නැහැ මම අයින් වෙනවට. සංජීවයි සමදරයි කිව්වා අයියා අයින් වෙන එක හොඳයි ඔයාට ලොකු කැපිල්ලක් එනවා කියලා.’’

‘‘මට ටෙස්ට් තරග 100 ක් ගහන්න ඕන වුණා. එක්දින තරග 300 ක් ගහන්න ආසාවක් තිබ්බා. ඒක කරන්න මට ඉඩ දුන්නෙ නැහැ. දැන් ආපහු හැරිලා බලනකොට මගේ ක‍්‍රිකට් ජීවිතය ගැන මට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. අනිත් අයට වඩා මම තරග දිනවලා තියෙනවා. මම වෙනම ක‍්‍රිකට් සංස්කෘතියක් හැදුවා. ඒ නිසා මට මේ රටේ ජනතාව තවම ආදරය කරන්නෙ මම ගහපු 100 හෝ 50 ට නෙමෙයි. මම ක‍්‍රිකට්වලට කරපු හොඳ දේවල් නිසා.’’

අසේල විතාන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!