Gossip

“මම මාස හයක් මේ රැකියාවෙන් ඈත්ව සිටියොත්, මගේ බොහෝ ගනුදෙනුකරුවන්ට මාව අමතක වෙලා යාවි” කෝවිඩ් 19 නිසා පිළිසරණක් නැති වූ ලිංගික ශ්‍රමිකයන්ගේ කතාව..

කොරෝනා වෛරසයේ ප්‍රතිවිපාකයක් වශයෙන් බල පැවැත්වෙන සමාජ දූරස්ථභාවයට අදාළ රෙගුලාසි සමග සමාජ ශාලා සහ ලිංගික ශ්‍රමික නිවාස (brothels) වසා දමනු ලැබීමෙන් එක ම එක රාත්‍රියක් ඇතුළත ලොවපුරා ලිංගික වෙළෙඳ ක්‍ෂේත්‍රයේ නිරතවන්නන්ගේ ආදායම් ඔවුන්ට අහිමි විය.

එවැනි වාතාවරණයක් තුළ ඇතැම් ලිංගික ශ්‍රමිකයෝ සිය ශරීර සෞඛ්‍යය Covid 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ සහ අනිත් අතින් තම ජීවිකා වෘත්තීන් රැක ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් අන්තර්ජාලය ඔස්සේ සිය සේවාවන් පවත්වා ගැනීමට යොමුව සිටිති. ඒ අතර තවත් පිරිසක් ශුභසාධක ආයතනවල පිහිට ඉල්ලා ඇත.

එස්ටෙල් ලූකාස් (Estelle Lucas) පසුගිය වසර දහයක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න්’ නගරයේ තම සේවය සපයමින් සිටි ලිංගික ශ්‍රමික කාන්තාවකි (sex worker). දුරකතනය මගින් ගිවිස ගත් පරිදි සිය සේවාදායකයා විසින් කැඳවනු ලබන ස්ථානයට ගොස් සිය සේවය සැපයීම (an escort) ඇයගේ රැකියාවයි.

බෙහෙවින් ප්‍රවේශම් සහගතව ගොඩනගා ගන්නා ලද ගනුදෙනුකරුවන් පිරිසක් ඇය සතු විය.

එහෙත් Covid 19 වසංගතය පැතිර යාමත් සමග බල පැවැත්වෙන සමාජ දූරස්ථභාවය ලිංගික ශ්‍රම සේවාවන් කෙරෙහි තහංචි දමනු ලැබ ඇති අතර එස්ටෙල්ගේ ජීවිකා වෘත්තියත් ඉතා ම අයහපත් අඩියකට වැටෙන තත්ත්වයක් උදා වී ඇත.

“මම මාස හයක් මේ රැකියාවෙන් ඈත්ව සිටියොත්, මගේ බොහෝ ගනුදෙනුකරුවන්ට මාව අමතක වෙලා යාවි,” එස්ටෙල් පවසන්නීය.

“මට මගේ ගනුදෙනුකරුවන් සමග එක්වෙන්න අවසරයක් නැහැ. දැන් තියෙන්නේ කතාබහක් විතරයි. ඒකෙන් මගේ රැකියාව අතින් තේරුමක් නැහැ. අපට අවශ්‍ය හමු වී කරන ආශ්‍රය. ඒත් අද පවතින වාතාවරණය යටතේ ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි.”

කොරෝනා වසංගතයට පෙර තමා සාමාන්‍ය මට්ටමට වඩා හොඳ ආදායමක් ඉපැයූ බව එස්ටෙල් පවසයි. එමගින් ‘මෙල්බර්න්’හි සිය නිවසේ උකසෙහි ඉතිරිය ගෙවා දැමීම ඇයගේ බලාපොරොත්තුව වී තිබිණි.

“අවාසනාවකට, පැවති තත්ත්වයෙන් තවත් තත්ත්වයකට පරිවර්තනය කරන්න බැරි දේවල් තියෙනවා. මම අන්තර්ජාලය තුළින් මගේ සබඳතා පවත්වා ගන්න යොමුවුණා. නමුත් හැම කෙනෙකුට ම තාක්ෂණික මට්ටමේ හැකියාවන් නැහැ. මගේ සමහර සේවාදායකයන්ට නවීන ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නේ කොහොම ද කියලවත් හරි දැනුමක් නැහැ,” එස්ටෙල් තමා මුහුණ දී ඇති අභියෝගය විස්තර කළාය.

මෙල්බර්න් නගරය අයත් ප්‍රාන්ත ආණ්ඩුව ආපන ශාලා, කැෆේ, වැනි ස්ථාන යළි විවෘත කිරීමේ මාර්ග සිතියමක් ඉදිරිපත් කර ඇති නමුත්, ලිංගික කර්මාන්තය ගැන එහි සඳහන් නොවේ. ඒ අතර ම, බොහෝ දෙනෙකු වෛරසයෙන් ඔබ්බෙහි තොරතුරු කිසිවක් නොදැනීම පවතින අවිනිශ්චිතභාවය දෙගුණයක් වීමට හේතු වී ඇති අතර, එමගින් බොහෝ ලිංගික ශ්‍රමිකයන් ගැඹුරු අවුල්සහගත තත්ත්වයකට හෙළා ඇත.

“මගේ රැකියාව බිංදුවට ම වැටෙයි කියන බයෙන් මම ඉන්නේ. මම මේ රැකියාව පළමු වරට ආරම්භ කරපු අවස්ථාවේ වගේ ආයෙත් ඉතා දුෂ්කර තැනකින් පටන් ගන්න වේවි,” එස්ටෙල් පවසයි.

එපමණක් නොව සිය සේවාදායකයන් ‘Covid 19’ ආසාදිතයන් විය නොහැකි ද? ඔවුන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් ද ඇයට බියක් පවතී.

කොරෝනාවෛරසය නිසා රැකියා අහිමි වූවන්ට මූල්‍ය ආධාර සැපයීමේ වැඩපිළිවෙළක් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව විසින් පෙරට තබනු ලැබ ඇති නමුත්, ඒ සඳහා සුදුසුකම් ලැබීමට ඔවුන් විසින් එතෙක් රජයට ගෙවනු ලැබ ඇති බදු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුව ඇත. ලියාපදිංචියක් නොමැති ලිංගික ශ්‍රමිකයන්, ලිංගික සංක්‍රාන්තිකයන් සහ සංක්‍රමණිකයන් වැනි සමාජ කණ්ඩායම්වලට එවැනි බදු තොරතුරු ඉදිරිපත් කිරීම කළ නොහැක්කකි.

”එය ලොව පුරා ලිංගික ශ්‍රමිකයන් රාශියක් මුහුණ දී ඇති ගැටලුවක්” ලෙස්ටර් සරසවියේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටීලා සැන්ඩර්ස් පෙන්වා දෙන්නීය.

”විශේෂයෙන් ම, ස්වයං-රැකියාවන්හි නිරතවන්නන් ඇතුළුව, සමාජයේ බහුතරයට ආණ්ඩු මගින් සමාජමය සුරක්ෂිතභාවයක් ලබා දීම යහපත්. නමුත්, ලිංගික ශ්‍රමිකයන් ඊට ඇතුළත් කරලා නැහැ,” මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.

එවැනි තත්ත්වයක් යටතේ හදිසි අරමුදලක් වෙනුවෙන් දායක වෙන ලෙස ලිංගික ශ්‍රමිකයන්ගේ හවුලක් සහ උපදේශන කණ්ඩායම් මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එහිදී, ‘ලාස් වේගාස්’හි ලිංගික ශ්‍රමිකයන්ගේ සංවිධානයක් විසින් කරන ලද ඉල්ලීමක් අනුව, ඇමෙරිකානු ඩොලර් 19,000 ක් මුදලක් එකතු විය. ඉතාලියේ උපකාර කණ්ඩායම්වල සන්ධානයක් විසින් දියත් කරන ලද ව්‍යාපාරයකින් යුරෝ 21,700 ක මුදලක් එක්රැස් කෙරිණි.

“ඇත්තෙන් ම, ඒක ලිංගික ශ්‍රමිකයන්ගේ හදිසි බිල්පත් ගෙවීමට සහ ආහාර ටිකක් මිලට ගැනීමට සැබෑ ආධාරයක් වෙනවා” මහාචාර්ය ටීලා සැන්ඩර්ස් සඳහන් කළාය.

දිළිඳු රටවල් ගත් විට ලිංගික ශ්‍රමිකයා ඔවුන්ගේ පවුල්වල එක ම උපයන්නා බවට පත්වෙයි. ඔවුන්ට ඔවුන්ගේ දරුවන්, පමණක් නොව, සිය සහෝදර සහෝදරියන් ඇතැම්විට ඔවුන්ගේ මව්පියන්ගේ දෙමව්පියන් පවා පෝෂණය කිරීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් යටතේ දැන් උද්ගතව පවතින තත්ත්වය ලිංගික ශ්‍රමිකයාගේ සමස්ත ‘විසිරුණ පවුලකට’ බල පා ඇත.

“එංගලන්තයේ බොහෝ ලිංගික ශ්‍රමිකයන් දරුවන් ඉන්න මව්වරුන්. ඔවුන් තවමත් රැකියාව කරනවා නම්, ඒ අන් කිසි ම දෙයක් නිසා නොවෙයි, ජීවත්වෙන්න මුදල් අවශ්‍ය කරන නිසා.”

එහෙත් රැකියාව කරගෙන යාමට අවශ්‍ය කරන නමුත්, ඇතැමුන්ට දිගට ම වෘත්තීය කරගෙන යාම අසීරු වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!