Gossip

කොරෝනා මෙල්ල කරන්න ඩ්‍රෝන යානා පෙරට එයි

කලින් කලට විවිධ මාදිලියේ මෙවලම් ලෝකය පුරා ජනාදරයට පත්වෙයි.
එය දියුණුවන තාක්‍ෂණයේ ලක්‍ෂණයයි. ජංගම දුරකථනවල පෙරළිකාර නව පරම්පරාගත හැඩහුරුකම් සහිත තරගකාරී මාදිලීන් කලක් අප ආක‍්‍රමණය කළේය. එය තවමත් එසේමය. එකිනෙකට නොදෙවැනි වූ පරිගණක කී‍්‍රඩාද පාසල් විය ආක‍්‍රමණය කර වැඩිහිටියන් ද ආකර්ෂණයට නතුකර ඇත.
දශකයකට පමණ ආසන්න කාලයක සිට ලොව පුරා ඉහළ අවධානයක් දිනා ගන්නට සමත්කම් දක්වන තවත් මාතෘකාවක් ලෙස නියමුවන් රහිත සැහැල්ලූ යානා හා ඩ්‍රෝන යානා සංකල්පය හඳුන්වා දිය හැකිය.
පසුගිය කාලය පුරා මෙම ක්ෂේත්‍රයේ ගමන් මග පිළිබඳව විමර්ශනාත්මකව විමසා බැලූවේ නම් ලොව ප‍්‍රමුඛ පෙළේ ගුවන්තොටුපළ දින දෙක තුනක් අඛණ්ඩව වසා තැබිය හැකි තරමට තර්ජනාත්මක විය. මෙම ක්ෂේත්‍රයේ ශීඝ‍්‍ර පිබිදීම සහ නවීන තාක්‍ෂණයේ යෙදවුම් ඒ හා මුසුවීම ජනතාව, විශේෂයෙන් බාල පරම්පරාව අතර ප‍්‍රචලිත වීමට බලපෑ අතර බොහෝවිට තර්ජනාත්මක සහ සාමාන්‍ය ජීවිතයට බාධා පමුණුවන්නක් ලෙස කි‍්‍රයාත්මක වීම කිසිසේත් අපේක්‍ෂා කළ නොහැකි තත්ත්වයකි.
එනිසා ගුවන් සේවා නීති පනවන ආයතන වෙත මෙම ඩ්‍රෝන හා අනෙකුත් නියමුවන් රහිත දුරස්ථ පාලන යානා සපලදායී ලෙස මෙහෙයවීම වෙනුවෙන් මෙහෙයුම්කරුවන් පෙළ ගැස්වීමට නව නීති හඳුන්වාදීම සඳහා දිරිගන්වන්නක් සහ උනන්දු කරවන්නක් විය.
එම නීතින් ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රඳවා ගනිමින් නවකයන් ආකර්ෂණය වන අන්දමින් නම්‍යශීලී ලෙස සකස් විය යුතුය යන්න ක්‍ෂේත‍්‍රයේ නියැලෙන්නන්ගේ අදහසයි. කෙසේ වෙතත් රාජ්‍ය ආරක්‍ෂාව ප‍්‍රමුඛතම කාර්ය ලෙස ඉදිරියෙන් තැබිය යුතු සේම සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට කිසිසේත් බාධාවන් නොවන පරිදි මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මෙහෙයුම්කරුවන් පෙළ ගැස්වීම අතිශය වැදගත්ය. ඔවුනට මෙහෙයුම් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදී තිබීම ඉතා වැදගත්ය.
එමෙන්ම යානාවේ යෝග්‍යතාවය, මෙහෙයුම්කරුගේ කුසලතාවය හා ශාරීරික යෝග්‍යතාවය වැනි කරුණු මනාව අධීක්‍ෂණය කර බලපත‍්‍ර ලබාදීමේ සහ යාවත්කාලීන කිරීමේ කි‍්‍රයාවලියක් හඳුන්වාදීම තුළින් නිසි පළපුරුද්දක් හෝ අත්දැකීම් රහිත පුද්ගලයන්ගෙන් මෙම ක්ෂේත්‍රයේ පැවැත්මට හා අනාගතයට සිදුවන හානිය අවම කළ හැකිවනු ඇත.
නියමුවන් රහිත දුරස්ථ පාලන ගුවන් යානා හෝ ඩ්‍රෝන යානා ඵලදායී ලෙස යොදාගත හැකි ක‍්‍රමවේදයන් පිළිබඳව පුළුල්ව අධ්‍යයනය කළහොත් එහි යෙදවුම් පරාසය තවදුරටත් විකාශනය කිරීම වෙනුවෙන් ක‍්‍රමවේදයන් සකස් කිරීම ඉතා වැදගත් කි‍්‍රයාවකි. ඩ්‍රෝන කැමරාවකින් පටිගත වන රූප රාමුවල කිසියම් නොදුටු සෞන්දර්යාත්මක කෝණ පරාසයක් පවතී. එහි අන්තර්ගත ආකර්ෂණීය බව බොහෝ රූපවාහිනී වෙළෙඳ නිවේදන හා වාර්තා වැඩසටහන් නැරඹීමේ දී පසක් වන කරුණකි.
එමෙන්ම මෙම ක්‍ෂේත‍්‍රය කෘෂිකර්මාන්තය, පළිබෝධ පාලනය, මිනුම්කරණය, ආපදා කළමනාකරණය, වනජීවී අධ්‍යයනයන්, වන සංරක්‍ෂණ කටයුතු, වාරිමාර්ග සහ ජලසම්පාදන කටයුතු, ආරක්‍ෂක කටයුතු, මාධ්‍ය කටයුතු වැනි දේ සඳහා කිසියම් වෙනසක් තුළින් සඵලදායී ලෙස යෙදවීමට තරුණ පරපුර යොමු කිරීම වැදගත් කරුණකි. සාම්ප‍්‍රදායික ලෙස හුදෙක් විනෝදාස්වාදය හෝ උත්සව අවස්ථාවන් ආවරණය කිරීම වැනි කටයුතුවලින් වෙනස්වූ නව මානයන් සොයා ඒ වෙනුවෙන් ක්ෂේත්‍රය විකාශනය කිරීමට උත්සුක වීම සඳහා දැන් කාලය පැමිණ ඇත. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඇතැම් ප‍්‍රවාහන කටයුතු, නාගරික රථ වාහන තදබදය පාලනය, නීති විරෝධී කටයුතු හඳුනා ගැනීම, ආහාර ඇණවුම් බෙදාහැරීම, පාර්සල් බෙදාහැරීම වැනි කටයුතු වෙනුවෙන් නව භාවිතයන් ලෙස මෙම යානා යොදාගත හැකි තවත් අවස්ථා කිහිපයක් පිළිබඳව ජාත්‍යන්තර අධ්‍යයනයන් තුළින් ද හඳුනාගෙන සැලසුම් සහගතව ක්‍රියාවේ යෙදවිය හැකිය.
මෙම වකවානුවේ ගෝලීය වසංගතයක්ව පවතින කොරෝනා වසංගත ව්‍යාප්ති පාලනය වෙනුවෙන් ඩ්‍රෝන යානා යොදවා ගැනීම ඉතා කාලෝචිත කි‍්‍රයාවකි. විශේෂයෙන් හුදෙකලා ප‍්‍රදේශවල මිනිස් චර්යා රටා අධ්‍යයන සඳහා මෙම ක‍්‍රමවේදය පහසුවෙන් භාවිතා කළ හැකියි. ආරක්‍ෂණ අංශවලට මහත් පහසුවක් වේවි. ඒ වගේම සාම්පල රසායනාගාර වෙත යොමු කිරීම, හදිසි බෙහෙත් ද්‍රව්‍ය හුදෙකලා ප‍්‍රදේශවලට යොමු කිරීම වැනි දේ සැලසුම්ගතව සිදුකරන්න අවස්ථාද දැකිය හැකිය.
කොරෝනා ව්‍යාප්ති පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගත් ප‍්‍රශස්ථ වැඩපිළිවෙළ හේතුවෙන් ලෝකයෙන් දෙවැනි ස්ථානය අත්කර ගන්නට ලැබීම ඉමහත් ආඩම්බරයට කරුණකි. එහෙත් අදහාගත නොහැකි ලෙස යළි ආරම්භ වී ව්‍යාප්ත වන රැුල්ල පාලනය තරමක් අභියෝගාත්මක බවද අසන්නට ලැබෙන දෙයකි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයන් පාලනය වෙනුවෙන් මිනිස් සම්පත භාවිත කර තවදුරටත් ජීවිත අවදානමකට ලක් කරනවාට වඩා තාක්‍ෂණික මෙවලම් කෙරෙහි විශ්වාසය තැබීමට හුරුවීමට මෙය කදිම අවස්ථාවකි.
මේ සඳහා විදේශීය රටවල් උදාහරණයට ගනිමින් හෝ සෞඛ්‍ය, ගුවන් හා ආරක්‍ෂක යන තෙඅංශයේ මැදිහත් වීම කඩිනමින් සිදුවිය යුතු කාලයයි.
විධිමත් ඩ්‍රෝන යානා මෙහෙයුම් ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය, එකලස් කිරීම, නඩත්තු කිරීම, මෙහෙයවීම, කොටස් අලෙවිය, නියාමනය, ව්‍යාපාරික ආදී වශයෙන් විවිධ මට්ටමේ සෘජු සහ වක‍්‍ර ලෙස ජනනය කළ හැකි නව රැුකියා ප‍්‍රමාණය ඉතා ඉහළය. කෙසේ වෙතත් මෙම ක්‍ෂේත‍්‍රයේ උන්නතිය සහ යහපැවැත්ම වෙනුවෙන් සවිමත්, නම්‍යශීලී, අපහසුතාවයෙන් තොර නියාමන ක‍්‍රමවේදයක් හඳුන්වාදීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම ඉතා වැදගත් කාරණාවකි. එහිදී දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීම, විධිමත් හා ආචාරශීලී භාවිතය සඳහා යොමු කිරීම, භාවිතයේ පවතින යානා නිසි ලියාපදිංචියකට ලක් කිරීම, නීති කඩ කරන්නවුන් වෙතොත් නිසි දඬුවම් පැනවීම, භාවිතය පිළිබඳව අධීක්‍ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වාදීම වැනි කරුණු සලකා බැලීම වැදගත් වනු ඇත.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!