Gossip

අපි චිත්‍රපටයක ලැබෙන පිටපතට අනුව ඒ කතා තේමාවට ජීවය ලබා දෙන්න උපරිමය කරනවා. සම්භාව්‍ය කියන්නේ නිරුවත පෙන්වීම නෙවෙයි – ගයනි ගිසන්තිකා

හරියට රගපාන හැටි කියා දෙන්න ගිය ඔබ, අද සම්මානනීය රංගන ශිල්පිනියක්…?
ඔව්නේ. ඒක හරි අපූරු සිද්ධියක්. හොරණ දොන් ප්‍රේද්‍රිස් මහා විද්‍යාලයේදී තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. සංගීතය තමයි මම උසස් පෙළට කළේ. භාත් කාණ්ඬේ විභාගයත් කළා. කොහොමහරි යම් තැනකදී මට කෙනකුට රගපාන්න කියා දෙන්න සිද්ධ වුණා. නමුත් එයාට ඒක හරි හැටි කරන්න බැරි වුණා. ඊට පස්සේ ඒ රගපෑම කරන්න වුණේ මට. ඒක තමයි මගේ රංගන දිවියේ ආරම්භය වුණේ. 1993 දී උසස් පෙළට මුහුණදීමෙන් පසුව මම රංගනය ගැන වැඩිදුර හැදෑරීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව හා එක්වුණා. එහිදී ප්‍රවීණ කලා ශිල්පී මංගල සේනානායක මහතා යටතේ මා නාට්‍ය හා රංග කලාව හදාරනු ලැබුවා.

තිත්ත කුසලානයක් දෝතට ගත්තත් ඔබ…ඒ වසරේදීම හොඳම නිළිය බවට පත්වෙනවා…?
ඔව්. මගේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගනය වුණේ ‘තිත්ත කුසලාන’. මම එහි රංගගත වෙන්නේ 1993 දී. හැබැයි ඒ වසරේම පැවති යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය බවට පත් වෙන්නට මම වාසනාවන්ත වුණා.

ඊට පසුව ඔබ අපේ රටේ ප්‍රවීණතම නිර්මාණවේදීන් යටතේ වේදිකාවේ රංගගත වෙනවා…?
ධර්මසිරි බණ්ඩාරණායක, ප්‍රසන්න විතානගේ, රාජිත දිසානායක, තුමිඳු දොඩංතැන්න, බුද්ධික ධමයන්ත ඇතුළු ප්‍රවීණ නිර්මාණවේදීන් යටතේ මා රංගගත වුණා. ඒ අතුරින් ‘ට්‍රෝජන් කාන්තාවෝ’, ‘අරුන්දතී’, ‘හොරු සමග හෙළුවෙන්’, ‘හංසයන්ටත් මං ආසයි’ සහ ‘අසිනි වළාවක’ ඇතුළු වේදිකා නාට්‍ය රැසක මා රංගගත වූයේ අපේ කලා ලොවේ ප්‍රවීණතමයන් සමග. ඒ වගේම මේ සෑම තැනකදීම සජීවීව මා ප්‍රේකෂක ප්‍රතිචාර ලැබුවා. මම හිතන්නේ මගේ රංගන හැකියාව වගේම ඒ නිසාවෙන්ම ලැබුණු ජනතා ප්‍රසාදය නිසා මට ඉක්මනින්ම කැමරාව ඉදිරියට එන්නටත් වාසනාව ලැබුණා.

ඒ ලැබුණු වාසනාවෙනුත් ඔබ මෙරට පුංචි තිරයේ නොමැකෙන මතක ඉතිරි කරනවා…?
මම මුලින්ම කැමරාව ඉදිරියේ පෙනී සිටියේ ‘අම්මාවරුනේ’ නම් වූ ඒකාංගික නාට්‍ය නිර්මාණය සමගින්. ඊට පසුව ප්‍රවීණ කලා ශිල්පී ප්‍රසන්න ජයකොඩිගේ ‘ඉමදිය මංකඩ’ හී රගපෑමට වරම් ලැබුවා. මේ නාට්‍ය හුගක් ජනප්‍රිය වුණා. ඉන් පසු ටෙලි නිට්‍ය රැසක රංඟගත වුණා.

ඔබේ රංගන දිවියෙදී නිරූපණය කළ යුතු බවට සිතා සිටි චරිත මේ වන විට ලැබී තිබෙනවාද…?
ඇත්තෙන්ම. චරිත පමණක් නෙවී, මා කැමැත්තෙන් සිටි ප්‍රවීණ සහ දක්ෂ අධ්‍යක්ෂවරු යටතේ රංගගත වීමේ වාසනාව සහ භාග්‍යයත් ලැබුවා. බොහෝ විට මම කළ චරිත එකිනෙකට වෙනස් වූණා. ඒ වගේම මට ලැබුණු පිටපත් තුළ මගේ රංගනයේ තෘප්තිය රැඳී තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒ තුළින් මම රංගනයට මගේ දේත් එකතු කළා කියලා ලොකු සතුටක් තියනවා.

බොහෝ රංගන ශිල්පිනියන් අද යම් සීමාවකට යටත්ව රගපෑමට එකතු වෙන කතාවක් තමයි කියන්නේ. මේ තත්ත්වය ඔබ විග්‍රහ කරන්නේ කුමනාකාරයෙන්ද…?
ඔව්. මමත් ඒ සීමාවට කොටුවෙලා තමයි රංගනය මුදා හරින්නේ. අද සමාජය හරි වෙනස්. නමුත් මේ සමාජය ආකල්පමය ලෙස වෙනස් වී නැහැ. ඒ නිසා තමයි අපට යම් සීමාවක් දමා ගැනීමට සිදුව තිබෙන්නේ. අපේ සමාජය බොහෝ වෙලාවට අප නිරූපණය කරන සමහර චරිත පිළිගන්නේ නෑ. ඒ නිසාවෙනුත් අපට යම් සීමා මායිමක් සලකුණු කර ගැනීමට සිදුව තිබෙනවා. ඒක සමහර විට එක්තරා විදියක වාරණයක් වගේ. මමත් ඒ තුළ ඉන්නවා. අපි චිත්‍රපටයක ලැබෙන පිටපතට අනුව ඒ කතා තේමාවට ජීවය ලබා දෙන්න උපරිමය කරනවා. සම්භාව්‍ය කියන්නේ නිරුවත පෙන්වීම නෙවෙයි. නමුත් අපේ සිනමා ප්‍රේක්ෂකයා මේ දේ හරියාකාරව තේරුම් ගෙනද ඉන්නේ කියන ප්‍රශ්නය අපට තියනවා. අපි කලාව කළාට මේ සමාජයේ සාමාන්‍ය මිනිස්සු. නමුත් අපි කරන සමහර චරිත දිහා මේ සමාජය දකින්නේ වැරදි විදිහට. ඒ වගේම සමාජයේ ප්‍රචලිත වෙන්නෙත් වැරදි පැත්ත විතරයි. නමුත් ඒ දකින නරක පැත්ත වගේම හොඳ පැත්තකුත් තියෙන්න පුළුවන්නේ. ඒ වගේම හැමෝටම පුද්ගලිකත්වයක් කියලා එකකුත් තියනවා. ඕනෑම වැඩකදී තමන්ගේ සීමාව දැනගෙන හැසිරීමටත් වගබලා ගත යුතුයි. විශේෂයෙන්ම කලාකාරිනියන්. සමහර රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් එකතු වෙන කලාකාරිනියන් ඒ තැන්වලදී හැසිරෙන විදිහ ගැනත් උගත් සමාජයේ තිබෙන ආකල්පය හොඳ එකක් නෙවෙයි.

තියන වැරදි හදාගෙන ඉදිරියට යන්න අකමැති පිරිසක් කලාවේ ඉන්නව කියලා චෝදනාවක් තියනවා…?
එහෙම වෙන්නේ තමන් කවුද කියලා තමන් හඳුනගෙන නැති නිසා. එහෙම අය කලාව ඇතුළේ අතරමංව ඉන්නවා. සමහර දක්ෂ අය ඉදිරියට යන්න වැරදි පාරවල් හොයාගෙන තියෙනවා. නමුත් කලාව කියන්නේ ගෞරවණීය ස්ථානයකට. ඒක ඒ අයට අමතක වෙලා ඇති. නමුත් කලාවේ ගෞරවය ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා. මට නම් කවුරුත් මූණට වැරදි කියලා චෝදනා කරලා නැහැ. හැබැයි තියනවා නම් ඒක මූණටම කියනවට තමයි මම කැමති. මොකද එහෙම වුණොත් මට ඒ වැරදි හදාගන්න පහසුයි.

ඔබ අද කලාව ගැන යම් කලකිරීමකින් පසුවෙන බව පැවසුවා…?
කලකිරීමක් තියෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර හරසුන් ටෙලි නාට්‍ය හරහා සමාජයට දායාද කළ හැකි දෙයක් නොමැති නිසා. අපට අද යම් බලපෑමකුත් තියනවා. සමහර පුද්ගලයන් සමග වැඩ කිරීම අපහසුයි. නිර්මාණයක රගපෑම වෙනුවෙන් අපට ගෙවන මුදලත් බොහොම මදි. ඒ දෙන එකත් වෙලාවට දෙන්නේ නෑ. අද හැදෙන ටෙලි නාට්‍ය නාළිකාවන්ට දා ගන්න ගියාම එතනත් ප්‍රශ්න. ඒවටත් සරිලන මුදලක් හරියට ගෙවන්නේ නෑ. මේ හැම දෙයක් නිසාම කලාවේ ගුණාත්මක පැත්ත දිනෙන් දින පිරිහීමට ලක්ව තිබෙනවා. කොහොමටත් ලෝ බජට්වලින් නිර්මාණ එළිදක්වලා කලාවේ ඉදිරිය යහපත් වෙයි කියලා සිහින මවන්න බෑ. අද හොඳ තිර පිටපත් නෑ. ඒ නිසා හරසුන් නිර්මාණ තමයි අපේ ප්‍රේක්ෂකයාට බලන්න ලැබෙන්නේ. අපිට රගපෑම තුළ හරිහැටි දෙයක් කරන්න අවස්ථාව නොලැබෙන්නේ පිටපත් අවුල් තත්ත්වයේ තියන නිසා. නමුත් අපි අපේ වෘත්තිය කරගෙන යා යුතුව තිබෙනවා. අපි රංගනය හරහා උත්සාහ කරන්නේ සමාජයට වැඩදායි වගේම හරවත් පණිවුඩයක් ඉදිරිපත් කරන්න. හැබැයි ඒකට හොඳ වස්තු බීජයක් තිබිය යුතුයි. ඒකයි මම කීවේ නිර්මාණයකදී පිටපත හරි ප්‍රබල දෙයක් කියලා. රගපෑම අපේ වෘත්තිය වුණත් වර්තමාන ටෙලි නාට්‍ය කලාව තියෙන්නේ පාවෙන තැනක කියලත් මේ තකාබහේදී නොකියා බැහැ. ඒ වගේම කලාකාරිනියන්ට කරන අකටයුතුකම් මා දැඩිව හෙළා දකිනවා කියලත් කිව යුතුයි. කවුරුන් හෝ අනවශ්‍ය ලෙස අප ගැන සෙවීම සහ බලපෑම් කිරීම යුතු නෑ. එහෙම වුණාම අපට අපේ ජීවිතය ගොඩනඟාගන්න අපහසුයි.

ඔබ තුළ සැගව තිබූ කවිකාර අදහස් එළි දැක්වූ බව මේ කතා බහේදී කියවුණා. ඒ ගැන…?
ඔව්නේ. මම ‘අමුත්තා’ නමින් මා ලියූ කාව්‍ය සංග්‍රහය රසිකයන්ට පිරිනැමුවා. සතුටුයි. හුඟක් හොඳ ප්‍රතිචාර ලැබුණා සහ ලැබෙමින් පවතිනවා.

ඔබේ පවුලේ තොරතුරු සහ ඉදිරි නිර්මාණ දායකත්වයන් පිළිබඳව පැවසුවොත්…?
මම විවාහකයි. මගේ සැමියා තරුපති මුණසිංහ. මයෝන් සහ මිතුන් අපේ පුතාලා. මගේ ජීවිතයේ වැඩි කාලයක් ගෙවෙන්නේ ගෙදරට. ඒ මගේ පවුල වෙනුවෙන්. ඉඩ ලැබෙන වෙලාව තමයි කලාවට වෙන් කරලා තියෙන්නේ. මේ දිනවලත් කලා නිර්මාණ කිහිපයකට සම්බන්ධව සිටිනවා. ඉතිං…මට කලාව නිසා ලැබුණු ගෞරව ඇගයීම් සහ හැමදාම ලැබෙමින් පවතින දයාබර ප්‍රේක්ෂක ආදරය නිසාත් කලාව සමග යන මේ ගමන විටෙක සුන්දරයි කියලත් හිතෙනවා.

උපුටා ගැනීමකි..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!