Gossip

කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තිබ්බේ ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට

කතරගම කිරිවෙහෙර විහාරධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තබා ඇත්තේ රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවක් මත බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වෙමින් පවතින බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසනවා.

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් මහසෙන් දේවාලයේ කපු මහතා ලෙස සේවය කළ පුද්ගලයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු පසුගියදා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට පත් වුයේ කිරිවෙහෙර, මහසෙන් දේවාලයේ කපු ධුරය දරන ලද බෝපේගෙදර අසේල ලක්මාල් බණ්ඩාර (40), නිවුන් සහෝදරයන් දෙදෙනෙකු වූ ජයවික්‍රම කංකානම්ගේ නුවන් කුමාර හා ධනුෂ්ක කුමාර (24) යන තිදෙනායි.

මොවුන් තිදෙනා පැපිලියානේ, ලුතිනන් සජිත් ශ්‍යාමල් මාවතේ සිටින අසේල නැමැත්තාගේ සහෝදරියකගේ නිවසට යමින් සිටියදී ‍පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම හිමියන්ට වෙඩි තැබිම කර ඇත්තේ ගිනි අවි දෙකකින් පුද්ගලයන් දෙදෙනකු බව මේ වන විට අනාවරණය වී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

අසේල නැමැත්තා සමග වෙඩි තැබිමට විහාරස්ථානයට ගිය වෙඩික්කරුවන් වූ කතරගම, ගාමිණීපුර, ගංඉවුර පදිංචි කවිෂ්ක දිල්ෂාන් නොහොත් කුරුළු (18) හා ගාමිණීපුර පදිංචි ගල්වල ගමගේ හෂාන් අනුරාධ නොහොත් මල්ලි (18) යන අයද පසුගිය 17 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුලු නැමැත්තා වල්ලිමාතාගම කැලෑබද ප්‍රදේශයේ වාඩියක සැඟවී සිටියදී අත්අඩංගුවට පත් වූ බවත් වෙඩි තැබිමට යොදා ගන්නා ලද පතොරම් තුවක්කුව ගාමිණීපුර මැණික් ගඟ ආසන්නයේ සඟවා තිබියදී සොයා ගත් බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

මෙම පතොරොම් තුවක්කුව අසේල නැමැත්තාට අයත් එකක් බවත් එය 2016 වසරින් පසු බලපත්‍රය අලුත් කරගෙන නොමැති බවද ඒ මහතා පැවැසීය. මල්ලි නැමැත්තා ගාමිණීපුර ප්‍රදේශයේ සිටියදීම ‍පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෙඩි තැබිමට යොදා ගත් ගල්කටස් වර්ගයේ ගිනි අවිය ගාමිණීපුර කැලෑබද ප්‍රදේශයක සඟවා තිබියදීද සොයා ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබිම සඳහා ඒ අනුව පුද්ගලයන් පස් දෙනෙකු පැමිණ තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!