Gossip

“මාර්තු මාසයේදී ලැබුණු තොරතුරෙන් කියවුණේ සහරාන් තවත් දරුවකු ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වූ බව.” – හිටපු පොලිස්පති සහරාන් ගැන කියූ අලුත් කතාව මෙන්න

සහරාන් තවත් දරුවෙකු ලබා ගැනීම සඳහා මාර්තු මාසයේදී වෛද්‍යවරයකු හමු වූ බව තමන්ට දැන ගන්නට ලැබුණු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඊයේ (29 දා) පැවසීය.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම කොමිෂන් සභාව රැස්වූ අතර, රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ සාක්ෂි විමසීම හමුවේ හිටපු පොලිස්පතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

කොමිසම – ඌමා නිවුස් නමැති සමාජ මාධ්‍ය ජාලය විසින් අයි. එස්. සංවිධානයට පක්ෂව කරුණු දක්වා තිබෙන බවත්, එහි පරිපාලන නිලධාරියා මොහොමඞ් ෆාරුක් නමැති ශී‍්‍ර ලාංකිකයකු බවත් සඳහන් කර තිබෙනවා නේද?

සාක්ෂිකරු – එසේ සඳහන් වී තිබෙනවා ස්වාමිනී.
කොමිසම – ඒ පිළිබඳව වැඩිදුරටත් සොයන්න ඕනී කියලා වැටහුණාද?

සාක්ෂිකරු – ඒ අවස්ථාවේදී සිතුණ දේ දැන් මතක් වෙන්නේ නැහැ ස්වාමීනි.
කොමිසම – ඔබ එම ලිපියේ යොදා ඇති සටහන කුමක්ද? එම සටහනේ තිබෙන්නේ කාගේ අත් අකුරුද?

සාක්ෂිකරු – අත් අකුරු විෂය භාර නිලධාරියාගේ අත්සන මගේ. ඒ පිළිබඳව සොයා බලා වාර්තා කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

කොමිසම – එම ලිපියේ අල්කයිඩා සංවිධානයේ ඉන්ස්තායර් සඟරාවේ 17 වන කලාපය නිකුත් කිරීම පිළිබඳවත්, එහි තිබෙන තොරතුරුවලින් බටහිර ජාතිකයන් මැරීම සඳහා දුම්රිය යොදා ගැනීමට අභිප්‍රේරණය කර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා නේද?

සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – අයි. එස්. සංවිධානයේ බලය ඉරාකයේ සහ සිරියාවේ පිරිහීමත් සමග එම සංවිධානයේ කටයුතු ආසියානු කලාපය තුළ පුළුල් කිරීම පිළිබඳවත් එම ලිපියේ සඳහන් වනවා නේද?

සාක්ෂිකරු – සඳහන් වනවා ස්වාමීනි.

කොමිසම – ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කළාද?

සාක්ෂිකරු – ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

කොමිසම – ඔබ යොදා ඇති සටහනේ ඔබේ අත්අකුරු නැත්තේ ඇයි?

සාක්ෂිකරු – පොලිස්පතිවරයාට විවිධ විෂයන් යටතේ ලිපි රාශියක් ලැබෙනවා. එම නිසා සමහර ලිපිවලට විෂය භාර නිලධාරියා සටහන් යොදනවා.

කොමිසම – ඔබ ලිපිය කියවන්නේ නැද්ද? නැත්නම් විෂය භාර නිලධාරියා යොදන සටහනට ඔබ නිකම්ම අත්සන පමණක් යොදනවාද?

සාක්ෂිකරු – විෂය භාර නිලධාරියා ලිපිය බැලීමෙන් පසු එය මටත් යොමු කරනවා.

කොමිසම – ඉන්දියාවේ යම් දෙයක් සිද්ධ වුවහොත්, එහි බලපෑම ලංකාවටත් එනවා නේද?

සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – 2017 නොවැම්බර් 22 වන දින රාජ්‍ය බුද්ධි සේවය විසින් ඔබගේ නමට යොමු කර ඇති ලිපියේ.
එහි සඳහන් වනවා අයි. එස්. අනුගාමිකයන්ට ඉන්දියාව තුළ සටන් දියත් කරන ලෙස සඳහන් හඬ පටයක් නිකුත් කිරීම පිළිබඳව එහි සඳහන් වී තිබෙන නම කුමක්ද?

සාක්ෂිකරු – රෂිඞ් අබ්දුල්ලා

කොමිසම – එම පුද්ගලයා 2015 දෙසැම්බර් 04 සිට 2016 අපේ‍්‍රල් 16 දක්වා මේ රට තිබෙන සලව් අරාබි පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා නේද?

එම පුද්ගලයා හඬපට 50 ක් ප‍්‍රචාරය කර තිබෙන බවත්, එම හඬපට මගින් අයි. එස්. අනුගාමිකයන්ට යම් යම් උපදෙස් ලබාදීමක් කර ඇති බවත් එම ලිපියේ සඳහන් වනවා නේද?
සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – ප‍්‍රහාරවලට සම්බන්ධ විය නොහැකි නම් මූල්‍යාධාර හෝ ලබා දෙන ලෙස එම හඬපටවල සඳහන් වන බව එම ලිපියේ තිබෙනවා නේද?
සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ වූ ඉබ‍්‍රහිම් සහෝදරයන් ගැන දන්නවාද?
සාක්ෂිකරු – දන්නවා ස්වාමීනි.

කොමිසම – ඔවුන් එම මතවාදයට අනුව යමින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයට මුදල් ලබාදී ඇති බව දන්නවාද?
සාක්ෂිකරු – දන්නවා. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ඉල්ලනවා ස්වාමීනි.
ඒ කාලය වනවිට රටේ තිබුණ තත්ත්වයත් දැන් තිබෙන තත්ත්වයත් වෙනස්. දැන් පාස්කු ප‍්‍රහාරය දෙස බලන්නේ කලකිරිමකින්. ශෝකයෙන්. 2009 මැයි වෙනකම් රට තුළ තිබුණ තත්ත්වය ඉන්පසුව ක්‍රියාත්මක වූයේ වෙනස්ම ආකාරයකට.
බලධාරීන් ප‍්‍රමුඛතාවය දී තිබුණේ වෙනත් කටයුතුවලට. 2015 න් පසුව සුළු ජාතිකයන්ට අදහස් ප‍්‍රකාශ කිරීමට දී තිබූ අවස්ථාව පිළිබඳව සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මම එම ලිපියේ සටහනක් යෙදුවේ ඒ පිළිබඳව අවධානයක් යොමු කළ නිසා. ඒ වගේම අදාළ නිලධාරීන්ට වගකීම් පවරා තිබුණා. ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව නිශ්චිත අදහසක් ඇති වූවා ද කියන එක මට එකපාරට කියන්න බැහැ.

කොමිසම – එක හීනෙන් එළිවෙන්නේ නැහැ කියන කතාව ඔබ අසා තිබෙනවාද?

සාක්ෂිකරු – අසා තිබෙනවා ස්වාමීනි.
කොමිසම – 1974 දී පැවැත්වුණු වඩුත්කොඬේ සම්මේලනයේදී තමිල් නෙසම් පිළිබඳ යෝජනාවක් සම්මත වූ බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.
කොමිසම – ඔබ දන්නවාද අග්නිදිග විශ්වවිද්‍යාලයේදී සම්මත කර ගත් ඔලූවිල් ප‍්‍රකාශනය ගැන.

සාක්ෂිකරු – ඒ තරම් මතකයක් නැහැ ස්වාමීනි.
කොමිසම – පාස්කු ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමක් අවශ්‍ය වනවා නේද?

සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.
කොමිසම – සහරානුත් ඒ සඳහා මතවාදයක් ගෙන ගියා නේද?

සාක්ෂිකරු – සහරාන් ගෙන ගිය මතවාදය අනුව පාස්කු ප‍්‍රහාරය බඳු දෙයක් ක්‍රියාත්මක කළේ කොයි කාලයේ ද කියන එක ප‍්‍රශ්නයක්. අයි. එස්. සංවිධානයේ මතවාදයන් සමග එක් වූයේ කොයි කාලයේ ද? එහි දේශීය කොටස්කරුවන් වූයේ කොයි කාලයේද?

සහරාන්ලාගේ කටයුතු පිළිබඳ දිගටම නිහැඬියාවක් තිබුණා. ඉන් අනතුරුව තමයි 2019 අපේ‍්‍රල් 04 වන දින තොරතුරු ලැබෙන්නේ. අපේ‍්‍රල් 09 වැනිදා එම තොරතුරු ඉදිරිපත් කළත්, එය ස්ථිර කළේ නැහැ. අප්‍රේල් 10, 11, 12 යන දිනවල ස්ථිර දායක දෙයක් ලැබුණේ නැහැ.
සහරාන් පිළිබඳව තොරතුරක් මට මාර්තු මාසයේදී ලැබුණා. එම තොරතුරෙන් කියවුණේ ඔහු තවත් දරුවකු ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වූ බව. එහෙම තොරතුරුත් තිබුණා.
කොමිසම – මේ වනවිටත් එක්ස් – 363 ලෙස ලකුණු කර ඇති 2018 අගෝස්තු 23 වන දින රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත යොමු කළ ලිපිය බලන්න.

එහි සඳහන් වනවා ද සහරාන්ගේ අනුගාමිකයන් අන්‍යගාමිකයන්ට ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බව.

සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – එක්ස් – 366 ලිපිය බලන්න. එම ලිපිය 2018 දෙසැම්බර් 31 රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කර තිබෙනවා.

එහි සහරාන්ගේ අනුගාමිකයන් අභිපේ‍්‍රරණය වී අන්‍යගාමිකයන්ට එරෙහිව කටයුතු කළ හැකි බව සඳහන් වනවාද?

සාක්ෂිකරු – එම ලිපියේ මාතෘකාව ලෙස යොදා තිබෙන්නෙත් එම කාරණය. ලිපියෙන් ඒ පිළිබඳව සඳහන් වනවා.

කොමිසම – දැන් ඔබගේ අවධානය 369 ලේඛනය වෙත යොමු කරන්න. එම ලිපිය 2018 සැප්තැම්බර් 20 වන දින රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කර තිබෙනවා.

එම ලිපියේ සඳහන් වනවා නේද සහරාන් අත්අඩංගුවට ගත යුතු බවත්, එසේ නොවුණහොත් ඔහු ජිහාඞ් කරලා අන්‍යාගමිකයන්ගේ ලේ වැගිරීමක් කළ හැකි බව.

සාක්ෂිකරු – එහෙම සඳහන් වනවා.

කොමිසම – කෆීර්වරුන්ගේ ලේ සෙලවීමක් ගැන පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා නේද?

සාක්ෂිකරු – සඳහන් වෙලා තිබෙනවා.

කොමිසම – ඔබ එම ලිපිය විෂය භාර නිලධාරියාට බැහැර කරන්න ඇති. ඒ පිළිබඳව පසු විපරම් කරාද? ඒ සම්බන්ධයෙන් ගත් සාධනීය පියවරක් ගැන සඳහන් කරන්න පුළුවන්ද?

සාක්ෂිකරු – ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය අයි. එස්. සංවිධානය පිළිබඳව ලිපි ගොනු පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව මට දැනුම් දීමක් කළ යුතු අවස්ථාවලදී දැනුම් දෙනවා. කාර්ය බහුලත්වය නිසා පෞද්ගලිකව අවධානය යොමු කළ අවස්ථා අඩු වෙන්න පුළුවන්.

කොමිසම – ඇෆ්ගනිස්තානයේ තිබූ බාමියන් බුද්ධ ප‍්‍රතිමා විනාශ කළ බව ඔබ දන්නවාද?

සාක්ෂිකරු – මට මතකයි.

කොමිසම – මාවනැල්ල, මහනුවර, වෙලම්බඩ ආදී ප‍්‍රදේශවල ආගමික ප‍්‍රතිමා විනාශ කළ බව ඔබට මතකද?

සාක්ෂිකරු – මතකයි ස්වාමීනි.

කොමිසම – 2018 ජනවාරි 10 රාජ්‍ය බුද්ධි සේවය ඔබ වෙත යොමු කළ ලිපියේ අයි. එස්. සංවිධානය විසින් නිකුත් කළ ඔවුන්ගේ පළමු වීඩියෝ පටයේම ඔවුන්ගේ ඉලක්ක පිළිබඳව සඳහන් කර තිබෙන බව දැනුම් දී තිබෙනවා නේද?

සාක්ෂිකරු – සඳහන් කර තිබෙනවා.

කොමිසම – ශ්‍රී ලංකාවේ සිට සිරියාවට ගිය ඉෂාක් අහමඞ් 2018 ජනවාරි 02 වන දින සිරියාවේ සිට මෙරට සිටින ඔවුන්ගේ නෑදෑයින් දැනුවත් කර ඇති බවත්, ඔහු රැුඳී සිටින ප‍්‍රදේශයේ යුද ගැටුම් නැති බවත් එම නෑදෑයින්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සිරියාවේ සිට ඔවුන් මෙරට සිටින පුද්ගලයන් සමග සම්බන්ධ වන බව සඳහන් කර තිබෙනවා නේද?
සාක්ෂිකරු – එහෙමයි ස්වාමීනි.

කොමිසම – ඒ අනුව පැහැදිලි වනවා නේද ඔවුන්ට මෙරට සිටින ජනතාවට අදහස් ප‍්‍රකාශ කරන්න පුළුවන්කම තිබුණ බව.

සාක්ෂිකරු – පුළුවන්. නමුත් එය කෙතරම් විශ්වාස කරනවාද? තියන එක ගැන මට බාහිරව සිට කියන්න බැහැ.

කොමිසම – එම මතවාදයන් පිළිගත් නිසා නේද පොස්කු දින ප‍්‍රහාරය එල්ල වූයේ.

සාක්ෂිකරු – මෙය හුදෙකලා සිද්ධියක් නොවෙයි. බලපෑමක් නිසා වෙන්නත් පුළුවන්. මෙම සිද්ධිය නිසා වැඩියෙන්ම පීඩාවට පත් වූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු මම. එම නිසා මම ඉල්ලා සිටිනවා එම සිද්ධියට පෙර සහ පසු තත්ත්වයන් සලකා බලන්න කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!