Gossip

“11.00ට විතර ට්‍රොලියක දාගෙන වෛද්‍ය ෂාෆි මාව ශෛල්‍යාගාරයට අරන් ගියා.” – දොස්තර ෂාෆි බලෙන් සීසර් කළ අම්මාගේ කතාව මෙන්න

කුරුණෑගල රෝහලේ සේවයේ නිරතව සිටි ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆිට එරෙහිව මේ වන විට කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත ලැබී ඇති පැමිණිලි ගණන ඇත්තේ දහසේ සීමාවට ආසන්න වෙමිනි.
කුරුණෑගල රෝහල් තොරතුරු අනුව මුල් සතිය තුළ ෂාෆිට එරෙහිව දිනකට ලැබී තිබුණු පැමිණිලි ගණන සටහන් වූයේ පනහ ඉක්මවමිනි.
එහෙත් දැන් ඒ ගණන ඇත්තේ ශීඝ්‍ර ලෙස අඩු වෙමිනි.
මේ අතර කුරුණෑගල රෝහල් බලධාරීන් තීරණය කර ඇත්තේ වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් කළ මවුවරුන්ගෙන් ලැබෙන පැමිණිලිවලට අමතරව පැමිණිලි නොකරන මවුවරුන් සොයා ගොස්, ඒ අයගේ පැමිණිලිද සටහන් කරගන්නටය.
ඒ අනුව මේ වන විටත් රෝහල් බලධාරීන් සිටින්නේ අදාළ මවුවරුන් පිළිබඳ කරුණු රැස් කිරීමට රෝහල් ලේඛනාගාරය පිරික්සමිනි.
මේ අතර සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම්ව සිටි තිස්හත් වියැති මවක් බලහත්කාරයෙන් ශෛල්‍යගාරයට රැගෙන ගොස් සිසේරියන් සැත්කමකට ලක් කළ බවට වෛද්‍ය ෂාෆිට එරෙහිව 37 වියැති මවක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇත.
මේ පැමිණිල්ලට අනුව ඒ මව සිසේරියන් සැත්කමට ලක් කර ඇත්තේ 2010 වසරේ ජූලි 19 දාය. ඒ ඇයගේ දෙවැනි දරු ප්‍රසූතියයි.
පළමු දරුවා බිහි කර ඇත්තේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් ලෙසිනි. ඇය පවසන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා සූතිකාගාරයේ සිටි තමා රාත්‍රී 11.00ට පමණ ට්‍රොලියක දමාගත් වෛද්‍ය ෂාෆි තමන්ව ශෛල්‍යාගාරයට රැගෙන ගොස් තනිවම සිසේරියන් සැත්කමකට ලක් කළ බවයි.
ඒ අවස්ථාවේ වෙන කිසිවකු ශෛල්‍යාගාරයේද සිට නැති බව පවසන ඇය සිසේරියන් සැත්කමින් පසු තමාට දරුවන් පිළිසිඳගත්තේ නැති බව කියා සිටියි.
මේ පැමිණිල්ල සුවිශේෂ එකක් වූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් ඊට වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ.
ඒ සම්බන්ධයෙන් රෝහල් ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ වෛද්‍ය ෂාෆි ඒ සිසේරියන් සැත්කම කළේ තනිවම නොවන බවයි. සිසේරියන් සැත්කමක් සිදු කිරීමේදී සිටිය යුතු සෑම වෛද්‍යවරයකු මෙන්ම සෙසු කාර්යමණ්ඩල සාමාජිකයන්ද මෙකී සැත්කම සිදු වන විට ශෛල්‍යාගාරයේ සිට ඇත.
එදා ඒ සිසේරියන් සැත්කමට සම්බන්ධ වූ නිර්වින්දන වෛද්‍යවරයාගේත්, සහායක වෛද්‍යවරයාගේත්, හෙද නිලධාරීන් සහ සෙසු කාර්ය මණ්ඩලයේත් ප්‍රකාශ මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් සටහන් කරගෙන හමාරය. එහිදී හෙළිව ඇත්තේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානමින් සිටි ඇයගේ තත්ත්වය තරමක් අයහපත් වූ බැවින් වෛද්‍ය නිර්දේශ මත ඇය සිසේරියන් සැත්කමකට ලක් කර ඇති බවයි.
එහිදී ඇය ට්‍රොලියකට දමාගෙන ඉතා ඉක්මනින් ශෛල්‍යාගාරයට රැගෙන ගොස් ඇත්තේයැයි පැවසෙන්නේ වෛද්‍ය ෂාෆි විසිනි.
වෛද්‍ය ෂාෆි තමා බලහත්කාරයෙන් ශල්‍යාගාරයට රැගෙන ගොස් තනිවම සිසේරියන් සැත්කමකට ලක් කළ බවට ඇය මේ චෝදනා නඟන්නේ වසර 9කට පසුවය.
මෙතරම් කාලයක් මේ ගැන පැමිණිල්ලක් නොකළේ ඇයිදැයි ඇයගෙන් විමසීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට ඇය පවසා ඇත්තේ රෝහල් බලධාරීන්ට තමා ඒ ගැන එකලම දැනුම් දුන් බවයි.
ඇය එසේ පැමිණිලි කළා නම් ඊට රෝහල් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග මෙතෙක් සොයාගැනීමට නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ට හැකියාවක් ලැබී නැත. කෙසේ වෙතත් මේ පැමිණිල්ල වටා ඇති සැබෑ කතාව වැඩි දිනක් යන්නට පෙර හෙළි වනු නියතය.
මේ අතරතුර අපරාධ විමර්ශකයන්ට පෙනී-ගිය කාරණයක් වූයේ ෂාෆිට එරෙහිව මේ ආකාරයට පැමිණිලි විශාල වශයෙන් ලැබීමට සැලකිය යුතු බලපෑමක් කර ඇත්තේ ෂාෆිගේ සැත්කම්වලින් වඳ භාවයට පත් වූ මවුවරුන්ට රුපියල් කෝටියක වන්දියක් දෙන බවට පැතිර ගොස් ඇති කටකතාවක් බවයි.
එහෙත් පැමිණිලි කිරීමට කුරුණෑගල හෝ දඹුල්ල රෝහල් වෙත ගිය සැම මවක්ම ඒ කටකතාවට රැවටුණු අයද නොවේ. තමන් වඳ භාවයට පත් වී තිබේදැයි සැබෑ ලෙසම දැනගැනීමේ වුවමනාවෙන්ම රෝහල් කරා පැමිණි මවුවරු රැසක් සිටිති.
සිසේරියන් සැත්කම් අතරතුර තමන් වඳභාවයට පත් කළ බවට ෂාෆිට එරෙහිව මේ මවුවරුන් කර ඇති සෑම පැමිණිල්ලක්ම ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණයකට ලක් වෙමිනි. ඊට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මුල පුරන්නේ මෙරට සිටින දක්ෂතම මෙන්ම නම ගිය ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුගේ දැනුමෙන්ද සන්නද්ධවය.
මවුවරුන්ගෙන් පමණක් නොව, ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් කුරුණෑගල රෝහලේ මෙතෙක් සේවයේ නිරතව සිටි සහ සේවයෙන් විශ්‍රාම ගොස් සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කුරුණෑගල රෝහලේ මේ වන විට සේවයේ නිරතව සිටින සහ වෙනත් රෝහල්වල සේවයේ නිරතව සිටින සිසේරියන් සැත්කම්වලට සම්බන්ධ වූ සෙසු වෛද්‍යවරුන් 26 දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගැනිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීම් ඊට සීමා වූයේ නැත. සිසේරියන් සැත්කම්වලට සම්බන්ධ වන හෙදියන් 69 දෙනකුගෙන් සහ සෙසු කාර්ය මණ්ඩලයේ 18 දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
ෂාෆිට එරෙහිව ඇති චෝදනාවල සත්‍යාසත්‍යතාව සනාථ කිරීමට ඒ අයගේ ප්‍රකාශ ප්‍රබල සාධක වනවාට සැකයක් නැත. මේ සියල්ල අතරතුර බැහැර කළ නොහැකි සත්‍යය නම්: සිසේරියන් සැත්කම්වලින් පසු දීර්ඝ කාලයක් තිස්සේ දරුපල අහිමිව සිටින්නේත් කොන්දේ අමාරුව, මූත්‍ර ආසාදන ඇතුළු වෙනත් සංකුලතාවලට ලක්ව සිටින්නේත් වෛද්‍ය ෂාෆි විසින් සිසේරියන් සැත්කම් කළ මවුවරුන් පමණක් නොවන බවයි. වෙනත් වෛද්‍යවරුන් විසින් සිසේරියන් සැත්කම් කරන ලදුව විවිධ සංකුලතාවලට ලක් වූ මවුවරුන්ද කොතෙකුත් සිටිනු විය හැකිය.
ඒ අයටද පැමිණිලි කිරීමට කුරුණෑගල රෝහල් බලධාරීන් අවස්ථාව උදා කර දෙන්නේ නම් වරද කොතනදැයි පැහැදිලිවම විද්‍යාත්මක පදනමකින් හෙළි කරගැනීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත් වෛද්‍ය ෂාෆිට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ විමර්ශනවලින් හෙළි වන තොරතුරු අපට දැනගන්නට අවස්ථාව උදා වන්නේ 27 වැනිදාටය. ඒ කුරුණෑගල අධිකරණයේදීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!