Gossip

එන් – 95 මාස්ක් නැතිව වැඩ කරන්න බැහැ කියූ හෙදියන් දස දෙනකුගේ සේවය අත්හිටුවයි

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට අයත් සැන්ට මොනිකා හි ශාන්ත ජෝන් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිහිටි කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන කාමරවලට එන් -95  වර්ගයේ  මුහුණු ආවරණ නොමැතිව යාම ප්‍රතික්ෂේප කළ  හෙද හෙදියන් 10 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට එම රෝහල් පාලනාධිකාරය විසින් පියවර ගෙන ඇති බව ඇමරිකානු මාධ්‍ය පවසයි .

සේවය අත්හිටුවනු ලැබූ හෙද හෙදියන් එසේ කොරෝනා වෛරස් ආසාදිතයින් ප්‍රතිකාර ලබන කාමරවලට ඇතුළු වී ඔවුනට සත්කාර කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔවුන් සේවය කරන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ  සේවය කරනු ලබන හෙදියක් නිසි ආරක්ෂිත ආවරණ නොමැතිව කොරෝනා ආසාදිතයින්ට සත්කාර කිරීමට යාමෙන් එම වෛරසය ශරීරගත වීමෙන් අනතුරුව බව ඇමරිකාවේ ජාතික හෙද සංගමය උපුටා දක්වමින් ඒ බී සී පුවත් සේවය පවසයි .

මෙම හෙද පිරිසට   ඔවුන් සේවය කරන වාට්ටුවේම  වෛද්‍යවරුන් එවැනි ආවරණ භාවිත කිරීමට පියවර ගන්නා ලෙස  දැනුම් දී තිබු බවද  හෙද සංගමය ප්‍රකාශ කර තිබේ .

සේවය අත්හිටවනු ලැබූ හෙද පිරිසට වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත් රෝහල් පාලනාධිකාරය විසින් ඔවුනට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබීම නිසා සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා දී නොමැත .

දියුණු සෞඛ්‍ය පහසුකම් සහිත රටක් සේ සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයේ  කොරෝනා වෛරස් ආසාදනය ශීඝ්‍රයෙන් පැතිරෙන මෙම අවස්ථාවේ රට පුරා වෛද්‍යවරු ,හෙදියන් ඇතුළු    රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විශාල පිරිසක් තමනට මුහුණු ආවරණ ඇතුළු ප්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැතිව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන ලෙසට  ප්‍රධානින් විසින් දැනුම් දී ඇති බවට බළධාරීන් වෙත පැමිණිලි කර තිබෙන බව වාර්තා වී තිබේ .මෙම ඇතැම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල එම  තත්ත්වයට එරෙහිව  උද්ඝෝෂණවල නිරත වී ඇති අතර අනික් සාමාජිකයින් සිය පුද්ගලික වියදමින්  එම සෞඛ්‍ය ආවරණ මිල දී  ගෙන සේවය කිරීමට පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි .

ඒමන්ති මාරඹේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!