වසංගතය මැඬලීමට මුඛ ආවරණ පැලඳීම එදත් ලෝකය පුරා අනිවාර්ය කරලා
රෝගය මෙරටට ආවේ යුද්ධය නිම වී ආ ලාංකික සෙබළුන්ගෙන් ලෙඩ්ඩු බලන්න නෑදෑ හිතවතුන් යෑමෙන් රෝගය ළැව්ගින්නක් සේ පැතිරිලා
ලෝක ඉතිහාසයේ මෑත දී පැන නැඟුණු බිහිසුණු වසංගතය එයය. වසංගතය පැතිර යන්නේ දැනට අවුරුදු එකසිය දෙකකට පෙරය. එනම් 1918 -1919 කාලයේදීය. පළමු ලෝක යුද්ධය නිමා වීමට ආසන්න කාලයේ H1N1 වයිරසය නිසා ඇති වුණු ඒ මාරක ඉන්ෆ්ලුවන්සා වසංගතය මාස කීපයක් තුළ මුළු ලෝකයම ආක්‍රමණය කළේය.
එය ශ්වසන ප්‍රවාහය මඟින් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වුණු රෝගයකි. ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් දෙනා එම ඉන්ෆ්ලුවන්සා වසංගතයෙන් ආසාදනය වූහ. ලෝකය පුරා කෝටි දෙකහමාරක් මිනිසුන් මිය ගිය බව කියැවිණි. සමහර පුරෝකථනයන්ට අනුව ඒ මරණ සංඛ්‍යාව කෝටි හතරේ සිට පහ දක්වා ප්රමාණයකි. ඇමරිකාවේ පමණක් මිය ගිය සාමාන්‍ය මිනිසුන් ගණන හය ලක්ෂ හැත්තෑපන් දහසක් බව කියැවිණි. ඉන්දියාවේ එවකට සිට ජනගහනයෙන් අවම වශයෙන් මිලියන 12.5 ක් මිය බව බ්‍රිටනිකා විශ්වකෝෂය කියයි. හයිටි දූපතේ 14% ක් ද සැමෝවාහි 20% ක් මිය ගියහ.
වසංගතයෙන් වැඩි වශයෙන් මරණයට ගොදුරු වූයේ වයස අවුරුදු 5 ට අඩු, අවුරුදු 20-40 අතර සහ අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයෝය. වසර දෙකක් යන විට H1N1 වයිසයට ඔරොත්තු දිය නොහැකි සියලුම පුද්ගලයෝ මිහි මතින් තුරන් වි සිටියහ.
රෝගයේ පැතිරීම
පළමු ලෝක යුද්ධය නිමා වන්නේ වර්ෂ 1918 නොවැම්බර් 11 දාය. වසංගතය ආරම්භ වී බිහිසුණුව වර්ධනය වන්නේ ලෝක යුද්ධය පවතින කාලය තුළය. මුල්ම ඉන්ෆ්ලුවන්සා සිද්ධිය වාර්තා වුණේ ඇමරිකාවේ කැන්සාස්හි රයිල් කොටුවෙනි. සතියක් තුළ එහි හමුදා භටයන් 522ක් කඳවුරු රෝහලට ඇතුළත් කෙරිණි. නොබෝ දිනකින් හමුදාව වර්තා කළේ වර්ජිනියා, දකුණු කැරොලිනා, ජෝර්ජියා, ෆ්ලොරිඩා, ඇලබාමා සහ කැලිෆෝනියාවේ කඳවුරු තුළ සිදුවූ එවැනිම පිපිරීම් මාලාවකි. අනතුරුව බටහිර පෙරමුණේ අධික තදබදයක් සහිත හමුදා කඳවුරු තුළ රෝගය වේගයෙන් ව්‍යාප්ත විය. ඒ ව්‍යාකූල වටපිටාව තුළ වයිරසය ඉපදුණ තැනක් ගැන අදහසක් නොවුණු බව කියැවිණි. එහෙත් පරීක්ෂකයන් දැන් හඳුනාගන්නේ මේ ව්‍යසනයේ තිඹිරිගෙය ඇමෙරිකාව බවය.
වසංගතය මතු වූයේ රැලි තුනකිනි. මුල් අවස්ථාවේ රෝගය මතු වූයේ සාපේක්ෂව මෘදු ලෙසය. වැලඳී වැඩි හානියක් නොවී සුව විය. දෙවන රැල්ල මතු වූයේ ඊට හාත්පසින් වෙනස් ලෙසිනි. වර්ෂ 1918 අගෝස්තු වන විට තත්ත්වය බෙහෙවින්ම දරුණු අතට හැරිණි. මිලිටරි බැරැක්ක ඇතුළු පිරිමින් සමීපව සිටි ස්ථානවල වසංගතය මාරාන්තිකව ඇති වී පැතිරිණි. උණ වැලඳී දෙදිනකින් හිතාගත නොහැකි සේ රෝගියා මරණයට පත් විය. රෝගය ව්‍යාප්ත වූයේ හමුදා සෙබළුන් අතරය. හමුදා පුද්ගලයන්ගේ මරණය පිළිබඳ දහස් ගණන් පණිවුඩ හමුදා කඳවුරුවල සිට ගලාගෙන ආවේය. එහෙත් ලේ වැකුණු යුද්ධය නිසා වසංගතයේ සැබෑ මරණ ප්‍රමාණය සටන්කාමී රටවල් විසින් සඟවනු ලැබුවේය. ඒ අවධිය වන විට යුද්ධයේ මධ්‍යස්ථව සිටි ස්පාඤ්ඤයට ද රෝගය පැතිර ගියේය. එහි තත්ත්වය පුවත්පත් මගින් නිරන්තරව වාර්තා වූ අතර ඒ වන විට ස්පාඤ්ඤයේ පාලකයා වූ VIII අල්පොන්සෝ රජු ද රෝගයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූයේය. මේ උණ රෝගයට ස්පාඤඤ උණ නම පටබැඳිණි.
ලෝක යුද්ධය නිමා වන නොවැම්බරයෙන් අනතුරුව පැමිණි ශීත ඍතුව ලෝකයම ඔත්පළ කළේය. ලොව සිසාරා එක පැහැර වසංගතය පැතිර ගියේය. ඊට ප්‍රධානම හේතුව යුද්ධය නිමා කළ සොල්දාදුවන් මෙතෙක් තමන් පෙළූ H1N1 වෛරසය සිය ගම් බිම් කරා ගෙන යෑමය. සිවිල් සමාජයට මේ මාරකය විවර විණි. ලෝකයේ සෑම ජනාවාසයකම පාහේ රෝගය පැතිරිණි. පළමුව වරායවලටද, පසුව ප්‍රධාන ප්‍රවාහන මාර්ග ඔස්සේ නගරයෙන් නගරයට ද රෝගය ව්‍යාප්ත විය.
වසංගත පාලන ක්‍රමවේදය
මේ මොහොතේ සිදු වෙමින් ඇති දේ වසර 102කට පෙර ඒ අයුරින්ම සිදු වෙමින් තිබිණි. ආසාදිතයෙකුගේ ශ්වසන ප්‍රවාහය හරහාය පැතිරෙන වෛරසය සම්බන්ධයෙන් කළ හැකි එකම දෙය වූයේ එකිනෙකාගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය සම්බන්ධව විශ්වාසය තැබීම පමණි. රෝගය සඳහා එන්නතක් හෝ වෙනත් නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් නොතිබුණ වටපිටාවක මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ප්රමුඛව මතු විය. එකම විසඳුම වූයේ සමාජ දූරස්ථකරණය ය. ලෝකයම එම ක්‍රමවේදයට යොමු කෙරිණි. දැඩි නිරෝධායන ප්රතිපත්තියකට ලෝකයේ බොහෝ රටවල් ගමන් කළේය.
ඇමෙරිකාවේ සෙන්ට් ලුවිස්, කැනඩාවේ කෙලොව්නා වැනි නගර මුළුමනින්ම වසා දැමීමට නගර බලධාරීහු කටයුතු කළහ. එම නගරවල සියලුම රජයේ හා පෞද්ගලික පාසල් වසා දැමිණි. චිත්‍රපට ශාලා, සමාජ ශාලා, සමාජ හමු නැවත දැනුම් දෙන තුරු තහනම් කෙරිණි. කණ්ඩායම් ලෙස හමුවීම වැළැක්වීමට නීති පැනවිණි. පල්ලි යෑමත් තහනම් විය. පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ගෘහස්ථව රැඳී සිටින ලෙසය. ජනාකීර්ණ ප්‍රදේශවලට යෑමෙන් වළකින ලෙසය. මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් නිලධාරීහු වීදිවල මුර සංචාරයේ යෙදුණාහ. ප්‍රසිද්ධ රැස්වීම් අවලංගු කෙරිණි. රෝගය පැතිරී යද්දී නිවෙස්වල සිටියදීත් මුහුණු ආවරණ පැලඳීමට ආණ්ඩු උපදෙස් දුන්නේය. රෝගී වූවෝ නිවාස තුළම නිරෝධායනය කරනු ලැබූහ.
ලංකාවට බලපෑ හැටි
එවකට ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූයේය. බ්‍රිතාන්‍යය හා වෙනත් යුරෝපා රටවල් සමඟ නාවික ගමනාගමනය නිරන්තරව සිදු විය. එමෙන්ම ලාංකිකයෝ පළමු ලෝක යුද්ධය සඳහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් යුද වදින්නට යුරෝපයට ගියහ. බ්‍රිතාන්‍ය හමුදා ලංකාවේ කඳවුරුගත වූහ. ලෝක යුද්ධය අවසානයේ ලංකාවට පැමිණි මේ කණ්ඩායම් සමඟ මාරාන්තික H1N1 වෛරසය රට තුළට පැමිණි බව පෙනිණි. අසල්වැසි ඉන්දියාවට අත්වූ ඉරණමට අපටත් මුහුණ දෙන්නට සිදු විය. ප්‍රතිඵලය වූයේ අතෝරක් නැති මරණය.
ලෝකයම ඉන්ෆ්ලුවන්සාවෙන් බැට කෑ වර්ෂ 1918 සිට 1920 දක්වා වූ කාලය තුළ ලංකාව ද මේ බිහිසුණු වසංගතයේ ගොදුරු බිමක් විය. එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූයේ ජී. ජේ. රදර්ෆර්ඩ්ය. ඔහුගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් ආකාරයට එම ඉන්ෆ්ලුවන්සාව වැලඳුණු මෙරට පළමු රෝගීයා හඳුනාගනු ලබන්නේ 1918 ජුනි මාසයේදීය.
මේ වකවානුවේ ගුවන් ප්‍රවාහනය නොතිබිණි. විදේශ සංචරණ සිදු වූයේ මුහුදු මාර්ගයෙනි. මුල්ම ඉන්ෆ්ලුවන්සා රෝගියා සමඟ හඳුනාගත් රෝගීන් සියලු දෙනාම වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නෝ වූහ. ඒ සමඟම රෝගය නිරීක්ෂණය වන අයුරින් පැතිර ගියේ කොළඹ කොටුව ආශ්‍රිතවය. ලෝකයේ මේ වසංගතය පැතිරී ගිය රිද්මයම මේ කුඩා දිවයින තුළත් රූපණය වන බව පෙනිණි.
වසංගතය ඉතා හදිසියෙන් ඇති වී වේගයෙන් ව්‍යාප්ත වූ බව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා කීවේය. මාතර දිස්ත්‍රික් වැසියන්ගෙන් අඩකට පමණ රෝගය වැලඳුණු බව මාතර උප ඒජන්ත පැවසුවේය. රට පුරාම වසංගතය පැතිර යමින් තිබිණි.
ජානක ලියනආරච්චි
