කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී දැඩි සත්කාර ඒකකයේ දින 2 ක් ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට යොමු කර තිබෙනවා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරනවා.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති රට වන ඉතාලියේ මේ වන විට වෛද්‍යවරුන් සිය දෙනෙකු සහ හෙද හෙදියන් 30 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.
ඉතාලියෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් එක් ලක්ෂ 43,626 ක සංඛ්‍යාවෙන් සියයට 10 ක්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් වන බව අනාවරණය වී තිබෙනවා.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව දහසය ලක්ෂය ඉක්මවා තිබේ.
අද උදෑසන වන විට පුද්ගලයින් 16 ලක්ෂ 2619 දෙනෙකු වෛරසයට ගොඳුරු වී සිටි අතර ඉන් 95,657 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව වාර්තා වනවා.
මෙතෙක් සුවය ලැබූ පිරිස තුන් ලක්ෂ 55,671 ක්.
ගතවූ පැය 24 තුළ අමෙරිකානුවන් 1872 දෙනෙකු සහ ප්‍රංශ ජාතිකයින් 1341 දෙනෙකු මියගොස් තිබෙනවා.
බ්‍රිතාන්‍යයෙන් මරණ 881 ක් වාර්තා වන අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 600 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වනවා.
නව ආසාදිතයින් වැඩිම පිරිසක් ඊයේ දිනය තුළ දී ද හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම සංඛ්‍යාව 33,256 ක්.
දැනට අමෙරිකාවේ පුද්ගලයින් හාර ලක්ෂ 68,000 ක පමණ පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර මිලියන දෙකයි දශම තුනක පමණ පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර රෝහල්වලට ලබාදී ඇති ප්‍රතිපාදන ඊළඟ අදියරට මුහුණ දීම සඳහා ඉතිරි කර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
