Gossip

සූපවේදීන් නැතිව 12,000 කට කෑම උයන මහඋළුගෙදර කුස්සියේ කතාව

හිරගෙදර ගියා යැයි කියන විටෙක කවුරුත් අහන ප්‍රශ්නයකි ඒ. වසර ගණනක් තිස්සේ හිරගෙදර ගිය ද වටින් පිටින් දුටුවාට කිසි දිනෙක ඇතුළට ගොස් නැති මුළුතැන් ගෙයට අප පසුගියදා ගියෙමු.
‘මේක තමයි ලංකාවේ ලොකුම කුස්සිය‘ දිනෙක මිත්‍රයකු පැවැසුවා මතකය.
කෑම රස ද කියා බලන්නට නොව හිරගෙදර කුස්සිය කොයි වගේදැයි බලන්නට පසුගිය දිනෙක අපි එහි ගියෙමු.
දෙන්නෙක් තුන්දෙනෙකුට නොව හාරදහසකට තුන්වේලටම කෑම පිසිනවා යන්න සුළු පටු කාර්යයක් නොවේ.
ඒ කාර්යබහුල උදෑසන අප වැලිකඩ කුස්සියට ගොඩවීමු.
ඒ උදෑසනත් හිරගෙදර බෝමළුවේ රැඳවියෝ වන්දනාමාන කරමින් සිටියහ. පන්සලට මුහුණලා ඇත්තේ මුළුතැන් ගෙයයි.
ඒ වේලා­වෙත් රැඳවියෝ කඩිමුඩියේ වැඩය.
වේලාව උදෑසන නවයට පමණ ඇත. තැනෙක පොල් ගෙඩිවල මුඩු ගලවන්නෝය. තවත් තැනෙක බීට් අල සුද්ද කරන්නෝය. තවත් තැනෙක මාළු කප­න්නෝය. ඒ විශාල කුස්සියේ දහ­වල් ආහාරය සකසන්නට උදව් පදව් කරන්නෝ බොහෝය.
කුස්සියට ඇතුළු වී අපි එහි සිවුකොන බලන්නට වීමු. පිසින ලද බත් තුනී කර දැමු පෙටිට් කිහිපයකි. බත් පිස තිබුණේ නාඩු සහලෙනි. රැඳ­වියෝ පිරිසක් කුස්සියේ තම තමන්ගේ පාඩුවේ වැඩය. ඔවුන් ඒප්‍රන් හැඳ­ගත් අයය.
“කවුද මෙහෙ ප්‍රධාන සූපවේදියා? ”
නියාමක චාමර සිල්වාගෙන් ඇසීමූ.
“මෙහෙ පළපුරුදු සූපවේදියෝ නැහැ. මේ මුළුතැන් ගෙයි උයන්නේ අත් උදව් දෙන්නේ රැඳවියෝ. අවුරදු හතරක සිට කුස්සියේ උයන්නේ මෙන්න මෙයා. ”
නියාමක චාමර අපට තරුණයකු පෙන්නුවේය. කාකි පාට කලිසමක් හැද ජම්පරයෙන් සිටින ඔහු මුළුතැන් ගෙයි සියලු කටයුතු පිළිබඳ සොයා බලමින් සිටියේය.
“මම එළියේ ඉන්නකොටත් හෝටල­යක් කෙරුවා. මිනිමැරුම් නඩුවකට පැටලිලා තමයි හිරේ එන්න වුණේ.
මෙහෙ ආවට පස්සේ මාව කුස්සි පාටියට වැටුණේ. දැන් අවු­රුදු හත­රක් වෙනවා උයන්න පටන් අරගෙන. ”
ඔහු එසේ පැවැසුවද අරුමය නම් කුස්සියේ සිටින කිසිවෙකු නිවෙස්වල සිටින සමයේ කිසිවක් උයන්නට නොදැන සිටීමය. කුස්සි පාටියට තෝරා ගන්නා අය හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවිය යුතුය. එමෙන්ම ඔවුන් නියපොතු කපා හිස කෙස් කොටට කපා පිරිසුදුව සිටිය යුතුය.
එක්දහස් අටසිය හතලිස් හතර වසරේ ඇරැඹි වැලිකඩ කුස්සිය අද වන තුරුත් බෝහෝ කාර්යය බහුලය.
අප එහි යන දින වැලිකඩ සිරගෙදර රැඳවියන් පිරිස තුන්දහස් අටසිය ගණනකි. ඒ රැඳවියන් පිරිස සඳහා එක් දිනකට සහල් කිලෝ එක්දහස් හයසියක බත් පිසිනු ලබන අතර වෑංජන ඉවීම සඳහා පොල් ගෙඩි එක්දහස් හාරසිය පන­හක් භාවිතා කරනු ලැබේ. මැල්ලුම් කිලෝ සියයක් ද, එළවළු කිලෝ දෙසිය හැටක ප්‍රමාණයක් ද භාවිතයට ගැනෙනු ලැබේ. එමෙන්ම එක් වේල­කට මාළු කිලෝ එකසිය හැටක ප්‍රමාණයක් භාවිතයට ගනු ලැබේ. සැපයුම් කරුවන් ගෙනෙන මාළුවල ඔළු-වරල් ආදිය කපා සුද්ද කරගෙන ආ යූතුය. මෙය බන්ධනාගාර නිත්‍ය නියෝගවල සඳහන් වන්නකි. අද ද එය ඒ යුරින්ම ඉටු කැරේ.
සතියකට දවස් තුනක් උදේ ආහාරය සඳහා සිරකරුවන්ට පාන් ලබාදෙන අතර උදෑසනට තේ ලබාදෙනු ලැබේ. මේ හැරුණ විට සිරකරුවන් සඳහා ආහාර ලබාදීමේ වට්ටෝරුවක් තිබේ. සියල්ල සිදුවන්නේ මේ වට්ටෝරුවට අනුවය.
“ උදේ හයට වාට්ටු අරිනවා. ඉන් පස්සේ තමයි උදේ ආහාර ලබාදෙන්නේ. ඉන් පස්සේ සිරකරුවො වැඩ පාටිවලට යනවා. දහවල් දොළ හාමාර එක වනවිට දවල් ආහාරය ලබාදෙනවා. අයෙම රාත්‍රි ආහාරය සවස තුන විට ලබාදෙනවා. සාමාන්‍යයෙන් සිරකරුවෙකුට උදේට බත් අවුන්ස එකසිය විසිපහක ප්‍රමාණයක්, රාත්‍රියට බත් අවුන්ස එකසිය හැත්තෑපහක ප්‍රමාණයක් හා දවල්ට බත් අවුන්ස දෙසිය විසිපහක ප්‍රමාණයක් ලබා දෙනවා. ඒ හැරුණම හැමදාම බන්ධනාගාර රෝහලේ ඉන්න රෝගීන්ට උදේ ආහාරය ලබාදෙන්නේ වැලිකඩින්.
දියවැඩියා රෝගීන් දෙසිය විසිපහක් සිටිනවා.
වෛද්‍ය උපදෙස් අනුව ඒ අයට ලබාදෙන ආහාර වට්ටෝරුව වෙනස්. තව මෙහෙ ඉන්නවා බත් ඇලජික් අය හැටක් ඉන්නවා.
ඒ ගොල්ලන්ට තුන්වේලටම පාන් තමයි දෙන්නේ. උසස් ජීව පදාර්ථ ලැබිය යුතු රෝගී රැඳවියන්ට පරිප්පු, මස්, මැල්ලුම්, බිත්තර. කිරි හදාගන්න පිටිකිරි 20g විස්සක් ලබාදෙනවා.
විදේශිය සිරකරුවෝ හැත්තෑ හතක් ඉන්නවා. මේ අයට වෙනම ආහාර වට්ටෝරුවක් තියෙන්නේ. ඔවුන්ට දෙන්නේ පාන් , අර්තාපල් තම්බපුවා, එළවළු තම්බපුවා හා මස් බිත්තර. දියවැඩියා රෝගීන් සදහා මසකට නන්ෆැට් කිරි පැකට් එකක් ලබාදෙනවා. කුස්සියේ වැඩවලට රැඳවියෝ දෙසිය­යක් පමණ ඉන්නවා. ඒ අය ඉන්නේ වෙනම වාට්ටු­වක. ”
හිරගෙදර කෑම ගැන එසේ පැවැසුවේ ආහාර වට්ටෝරු අංශයේ කාර්යයභාර නිලධාරි සැරයන් චානක ප්‍රසාද් මලවීරය.
කුස්සියට ඇතුළු වන තැනම ඇත්තේ බොයිලේරුවයි. අතීතයේදි මෙතැන තිබුණේ දර බොයිලේරුවකි. මීට වසර විස්සකට පමණ පෙර දැවිතෙල්වලින් ක්‍රියාත්මක වන බොයිලේරුවක් සකස් කර ඇත. කෑම පිසින්නේ මේ බොයිලේරුයෙන් එන වාෂ්පයෙනි. කුස්සි පාටියේ වැඩ කරන රැඳවියන් හැරුණ විට වෙත් කිසිවෙකුට එහි ඇතුළුවීමට අවසර නැත.
තුන්වේල කන්න දුන් පමණින් රැඳවියන් සැනසීම පහසු නැත. කුස්සියෙන් ලැබෙන හොදි එළවළු රස නැති වූවිට ඒවාට පහේ මිශ්‍රකරගෙන යළිත් රත් කරගෙන කෑමට ඇතැමෙක් හුරු වී සිටියහ. ඔවුන් ලිප් හදාගෙන සිටියේ ගඩොල් කැටයකට විදුලි කම්බි අටවාගෙනය.
කාලයාගේ අවෑමෙන් ඒ ක්‍රම දැන් නැතැයි යන්න බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. තවත් කලෙක ගුල්ලෝ ගැසු සහල් කුස්සියට ගෙන තිබිණි.
“නැහැ දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් මෙහෙට ගන්නේ දේශිය නාඩු සහල්. ඒ වගේම සැපයුම්කරුවා ඒ හාල් ගෙනාවාම අපි ඒකෙන් බත් උයලා කාලා බලලා තමයි ගන්නේ.
මිරිස් තුනපහ ගෙනාවාම ඒවා කොටලා උයලා බලලා තමයි කුස්සියට දෙන්නේ. දෙසීයකට තුන්සීයකට උයනවා වගෙ නෙමෙයිනේ තුන් හාරදහකට එකට උයන කොට රස පොඩ්ඩක් අඩු වෙනවා තමයි. එහෙම කියලා කවදාවත් මේ කුස්සියේ කෑම කාටවත් විස වෙලා නැහැ. ”

බන්ධනාගාර අධිකාරි ටී. අයි. උඩුවර මහතා පවසන්නේ එවැනි කතාවකි.
කුමන වැරැද්දක් කර හෝ බන්ධනාගාර ගතවූවාට පසු ඔවුන්ගේ දුක සැප සොයා බලන්නට සිටින්නේ බන්ධනාගාරයයි.
රිමාන්ඩ් රැඳවියන්ට නිවෙසින් ගෙනෙන ආහාර ගැනීමේ අවස්ථාව තබුණ ද අච්චු සිරකරුවන්ට නිවෙසින් ගෙනෙන ආහාර ගැනීමට අයිතියක් නැත.
කොහොම වුණත් සිරකරුවන් සදහා තුන්සිය හැටපස් දවසේම කෑම උයන මහඋළුගෙදර කුස්සිය තවමත් ඇත්තේ පැරණි තාලයටමය. පොල් ගාන්නට මැෂීන් භාවිතා කළ ද සිරකරුවෝ හත් අට දෙනෙක් පොල් මුඩු ගලවා පොල් ගෙඩිය පිරි­සුදු කරති. (කුස්සියේ පොල් මුඩු­ව­ලින් ගන්නා පොල් කෙන්දෙන් ලොන්ඩරි පාටියේ රැදවියෝ කඹ අඹ­රති.) කුස්සි පාටියේ වැඩ එකිනෙකා අතර බෙදි ඇත. ඒ හැම කණ්ඩායමකටම කණ්ඩායම් නායකයෙක් සිටි. කුස්සියේ වැඩ පටන් ගන්නේ රාත්‍රි දොළහටය. කුස්සියේ වැඩ අවසන් වෙන්නේ සවස තුනෙන් පසුවය.
සුද්දාගේ කාලේ ඇල්ලු ගල් සහිත කුස්සියේ බිම වාඩි වී ඇන තියාගෙන රැඳවියෝ තම තමන්ගේ කාර්යයේ නිරත වී සිටිති. කුස්සියේ පසෙකින් ඇත්තේ කුණු වතුර ගලාගෙන යන කානුවයි. එක් පසෙක ඇත්තේ මිරිස් , තුනපහ ආදිය කොටන කාමරයයි. තවත් තැනෙක ඇත්තේ විදේශිකයන්ගේ කෑම බෙදන ස්ථානයයි. එහි මේසයක් තම බාස්කට්වල බෙදූ ආහාරය. විදේශිකයන් ගේ ආහාර බෙදී ම බාරව සිටින්නේ පබළුය.
පබළු යනු පාකිස්ථාන ජාතිකයෙකි.
“වැලි­කඩට එන්න කලින් මං හිටියේ මීගමුවේ. හිරේ ඇවිල්ලා අවුරුදු එකොළහක් වෙනවා. කුඩු අරගෙන එද්දි තමයි එයාර්පෝට් එකේදි අහු වුණේ.
මට හුගක් මුදල් ප්‍රශ්න තිබුණා. ඒකයි ඒ වගේ දෙයක් කරන්න පෙලඹුණේ. මට දුවලා ඉන්නවා.
බිරිද ඒ අයව බලා ගන්නවා ඇති. අපේ රටේ හිරගෙවල්වලට වඩා මෙහෙ හිරගෙදර හොඳයි. කෑම හොඳයි. මට තාම මතකයි එක එක්කෙනාගේ කෑම ගන්න පිළිවෙළ. ”
පබළු ට දැන් හොදින් සිංහල කතා කරන්නට පුළුවන්ය.
අපත් සමග කතා කරන අතරේම කුස්සියේ සිටින රැඳවියෝ සිය කටයුතු නිමා කරන්නට වූයේය. උයා පිහා අවසන් වීමෙන් පසු ඔවුන් ඒ ඒ වාට්ටුවලට යවන කෑම කල්දේලරම්වලට බෙදන ලදි. පන්සල ඉදරි­යෙන්ම ඇති ශාලාවේ ඒ වන විටත් බත්පෝලිමේ ආ අය සිටියහ. අවුන්ස ගණ­නින් බත් බෙදන්නට කියා එදා සිටි සුද්දා නියම කළ ද අවුන්ස ගණනට වඩා වැඩියෙන් රැඳවියන්ට බත් බෙදාදෙනු ලැබේ.
“ මේ කුස්සියේ ලුණු, කරපිංචා, මිරිස්, තුනපහ, ගම්මිරිස් යෙදුවට පොල්තෙල්, විනාකිරි ආදි දේවල් කෑමවලට දාන්න දෙන්නේ නැහැ.
ඒත් සියඹලා දෙහි ගොරකා ආදිය කෑම උයන්න පාවිච්චි කරනවා. කාන්තා බන්ධනාගාරයටත් ආහාර සැපයෙන්නේ වැලිකඩ කුස්සියෙන්. එක් රැඳවියෙකු සඳහා දිනකට ආහාරවලට රුපියල් එකසිය හතලිහක් වැය කරනවා.”
අතිරේක බන්ධනාගාර අධිකාරී එස්. කේ. පල්ලේතැන්න මහතා පවස­න්නට විය.
සවස දෙක දෙකහාමර වන විට දිවා කෑම සකස් කර බෙදා අවසන්ය. ඒ සමඟම ඔවුන් සුදානම් වෙමන් සිටියේ රාත්‍රි ආහාර සකසන්නටය. මෙය ද එක්තරා චක්‍රයකි.
දිනකට තුන් හාර දහසකට ආහාර පිසන කුස්සියෙන් අප එළියට ආවෙමු. කෑම පෝලිම්වල සිට බත් පිඟාන අතැතිව හුන් ඇතැමෙක් තැන් තැන් වල ඇන තියාගෙන දිවා ආහාරය ගනිති. කෙනෙකු ආණ්ඩුවේ මහ බෝඩිම යැයි හඳුන්වන වැලිකඩ හිරගෙදර කුස්සියේ ඉදෙන බත් මාළු පිනි ආදියේ රස හඳුනන්නේ ඔවුන්ම පමණි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!