Gossip

“මම ආපු ගමන්ම මගේ ඇඟ පුරාම එති එතී මුහුණ ඉඹිනවා” -පිඹුරාගෙන් බේරාගත් නිසා පොඩි සාදුට තනිරකින නාග රාජයා

බුදුන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවේදී ධාරානිපාත වර්ෂාව, හෙණ පිපිරීම් සහ සැඩ සුළං ආදී පාරිසරික වෙනස්කම් රැසක් සිදු වන්නේ හයවැනි සතියේදීයි. එම අවස්ථාවේ ඒ සියලු තාඩන පීඩනවලින් උන්වහන්සේ ආරක්ෂා කර ගැනීමට මුචලින්ද නාග රාජයා පැමිණියේය. ඒ උන්වහන්සේගේ “නොනිමි කරුණාව” හා මෛත්‍රිය නිසාය. වත්මන් සමාජයේදීද බුදු දහම ඉදිරියේ සත්වයින් පවා සංවේදී වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඉතින් එවන් විශ්මයජනක පුවතක් පසුගියදා වැලිඔය, නිකවැව දකුණ ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයෙන් වාර්තා වුනා.

එම විහාරස්ථානයේ වැඩවාසය කරන කෝකිලාවේ පියරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ සමඟ ඉතා සමීපව හැසිරෙන නාගයෙකු ගැන අසන්නට ලැබුණු මේ පුවත කෙනෙකුට විශ්වාස කිරීමට තරම් අපහසු වෙන්න පුළුවන්. කොහොම වුනත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වුනු මේ කතාව ගැන අපිට දැනගන්න ලැබුනෙ මේ විදියට.

1998 වසරේ එම්.එම්. සෝමපාල සහ ආර්.එම්. ශ්‍රියානි යන මවුපිය දෙපළට දාව උපන් එම්.එම්. කසුන් කුමාර පුතණුවන් 2008 වසරේදී පැවිදි දිවියට ඇතුලත් කර තිබෙනවා. සහෝදරියන් තුන්දෙනකු සහ සහෝදරයන් දෙදෙනකුගෙන් සමන්විත මේ පවුලේ පස්වැනි දරුවා වූ කසුන් කුමාරය පැවිදි දිවියට ඇතුළත් වුනේ කෝකිලාවේ පියරතනාලංකාර නමින්.

එතැන් පටන් වැලිඔය, නිකවැව දකුණ ශ්‍රී ධර්මවර්ධනාරාමයේ වැඩ වාසය කරමින් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට උපසම්පදා විනය කර්මය ලැබීමට නියමිතව සිටින උන්වහන්සේ එම විහාරස්ථානයේ ලොකු හාමුදුරුවෝ ලෙසද කටයුතු කරනවා. ධාර්මික සිතුවිලිවලින් පොහොමසත් උන්වහන්සේ කිසි දිනෙක මස් මාංස වළඳන්නේද නැත.

දහසක් අඩුපාඩුකම්වලින් වැසී ගිය මෙම විහාරස්ථානයේ ආවාස ගෙයද අබලන් වී ඇති අතර වැට කොටු වලින් වැටවී නැති වල්බිහිවුන ගෙවත්තක් සහිත එම විහාරස්ථානය දුටුවෙකුට ගම සහ පන්සල අතර ඇති සබැඳියාවක් නැති බව සිතෙන්නටද පුළුවන්.

කොහොම වුනත් මේ වෙද්දි ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධතාවය වැඩි වෙලා තියෙන්න‍ෙ පියරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ කුටිය තුල ඉන්න මේ නාගයා නිසා. අඩි පහක් පමණ දිග සුදු පැහැති ඉතා නිරෝගී මෙම නාගයා උන්වහන්සේගේ සිරුරෙහි දැවටෙමින් මුහුණ සිප ගනිමින් සිටින ආකාරය විහාරස්ථානයට යන ඕනෑම අයෙකුට දැකගත හැකි කරුණක්.

නාගයා විෂඝෝර සර්පයෙකු ලෙස අප හඳුනාගෙන හිටියත් පියරතනාලංකාර ස්වාමීන් වහන්සේනම් කියන්නෙ වෙනස්ම විදියෙ කතාවක්. තමන්ට මේ නාගයා හමුවුන හැටි වගේම මේ නාගයා තමන්ට බොහෝ සේ කීකරුව කටයුතු කරන බවත් උන්වහන්සේ කිවුවෙ මේ විදියට.

“දැන් සති දෙකකට විතර උඩදී මේ නයා පිඹුරකු වෙළාගෙන හිටියා මම දැක්කා. මම ගිහින් පිඹුරව ඇදලා වීසි කරලා නයා බේරාගත්තා. ඊට සතියකට විතර පස්සේ දවසක් මගේ කාමරේට ඇවිත් හිටියා. කිසිම කලබලයක් කළේ නැහැ. මට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇඟ හැම තැනම මඩ ගෑවිලා තිබුණා. මම නයා අල්ලගෙන අතගෑවා. හරිම කීකරුව හිටියා. වතුර බේසමක් අරගෙන නෑව්වා. ඊට පස්සේ බිත්තර ගෙඩි 2ක් කඩලා තේ හැන්දෙන් පෙව්වා. දැන් මේ සතා හරි හුරතල්. ඒ වගේම කීකරුයි. මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ.

මම හැමදාම මෙයාව නාවනවා. තුන් වේලටම කන්න දෙනවා. මේ සතා උදේට කාමරෙන් පිටවෙලා ගිහිල්ලා එළියේ ඇවිදලා එනවා. මම කොහේ හරි ගියොත් මම එනතුරු ඇඳට වෙලා ඉන්නවා. මම ආපු ගමන්ම මගේ ඇඟ පුරාම එති එතී මුහුණ ඉඹිනවා.”

“මේ නයා මාත් එක්ක ඉන්නේ හාස්කමකින් නොවේ. කොහොම හරි මෙයා මට ආදරෙයි. මමත් මෙයාට ආදරෙයි. මේ සිදුවීම නිසා ගමයි පන්සලයි අතර දුරස්ව තිබුණු බැඳීම නැති වුණා. මිනිසුන් යළිත් වැඩි වැඩියෙන් පන්සලට එන්න පටන් ගත්තා. මම හදපු පොකුණ ළඟ ගල් වැටියේ තමයි මෙයා ඉස්සරලා හිටියේ. මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ. වර්තමාන සමාජය දිහා බැලුවාම දරුණු භයංකර විෂඝෝර විශ්වාස කළ නොහැකි ඉතාම නින්දිත තත්ත්වයට මිනිසුන් ඇදවැටිලා. මේ නාග රාජයා අපට බොහෝ පාඩම් කියා දෙනවා.”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!