Gossip

“මගේ පඩිය මාසෙට රුපියල් හතළිස් පහයි. මම මුලින්ම ගියේ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගත්තම ඒ වෙනුවට උගන්වන්න.. මගේ මහත්තය මට හමු වෙන්නේ මගේ ගෙදරදීමයි” – ලෝකයටම ඉන්න එකම දිසිපැන්

“මගේ නම දිසිපැන්. මේ ලෝකේ මේ වගේ නමක් තියන එකම තැනැත්තිය මමයි. මගේ අම්මා මේ නම කොහෙන් අරන් තිබ්බද දන්නේ නැහැ. නමුත් මගේ නම ගැන මම අද ආඩම්බර වෙනවා. මේ නම කොහෙන් හරි අහල තියනවද?”
විජේසිංහ කන්කනාම්ගේ දිසිපැන් මුණසිංහ නම් වූ ඒ ආඩම්බරකාරිය මට හමු වුණේ කඩුවෙල පහළ බෝමිරියේදීය. දරුවන් පස්දෙනෙකුගේ මවක වූ දිසිපැන් මාතාව උපත ලබා ඇත්තේ 1916 අගෝස්තු මස තුන්වැනි දින මාතරදීය. සිය දිවි මඟෙහි 102 වන කඩ ඉමද පසුකරමින් සිටින ඇයගේ එකම අධිෂ්ධානය මනුෂ්‍ය ජීවිතයක පරම ආයුෂ භුක්ති වීඳීමයි. නිරවුල් කල්පනා ශක්තිය, කන් ඇසීම, ඇස් පෙනීම හා නිරෝගිකම ඇයගේ අධිෂ්ධානය සඵල කිරීමට හේතු වෙයි.
හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වන්නේ අපේ කතා නායිකාවයි. ඇයට බාල සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් අද ජීවත් වන්නේ එක් සහෝදරියක් පමණි. ඇයගේ පියා වන මාතර කොටුවේගොඩ ජීවත් වූ ජේ. මුණසිංහ මහතා හා මව වූ කරලයින් විජේසිංහ මහත්මියගේ එකම අධිෂ්ධානය වී ඇත්තේ තම වැඩිමහල් දියණිය ගුරුවරියක වනු දැකීමයි. ඒ හේතුවෙන්ම ඇයට එකල මාතර තිබූ ජනප්‍රියතම කාන්තා විද්‍යාලය වූ මාතර කන්‍යාරාමයේ ඉගනුම ලැබීමට ඔවුහු අවස්ථාව හිමි කර දුන්නෝය.
“මගේ අප්පොච්ච්ට තිබුණා කරත්ත කීපයක්. ගමනට වෙනම කරත්ත, බඩු අදින්න වෙනම කරත්ත තිබුණා. බිම් කරත්තේ තමයි බඩු ඇද්දේ. ලොකු කේප්ප හරක් දෙන්නෙක් මේ කරත්තයට බැන්දා. කුඩු කරත්තේ තමයි මිනිස්සු ඇද්දේ. මේකේ කතරගම ට්‍රිප් එහෙමත් ගියා. කරත්ත රස්සාවත් ඒ දවස්වල හොද අදායම් මාර්ගයක් වුණා. අපේ ගෙවල් කිට්ටුවම තමයි ඉස්කෝලේ තිබුණේ. කොච්චර කිට්ටුවද කිව්වොත් ඉන්ටවල් එකට කෑම කාල යන්නත් ගෙදර එනවා. එහෙම කෑම කාල එන්න ගිහින් මාර වැඩක් වුණා. මම ගෙදරට දුවගෙන එද්දී වාහනයකට මාව හැප්පුණා. මම හැප්පුණ තැන ඉදලා අඩි කීපයක් දුරට විසි වෙලා වැටිලා තියනවා. පස්සේ වාහනයේ රියදුරු පොලිසියට ගිහින් පොලිසියත් එක්කන් ඇවිල්ලා. ඒ අය හිතලා තියෙන්නේ මම මැරිල කියලා. නමුත් ඒ අය එද්දී මම නැගිටලා හිනා වෙවී හිටියා.
පාසල්වල ඒ කාලේ අද වගේ එක එක දේවල් කරන්න තිබුණේ නැහැ. අපිට තිබුණේ ඉගෙන ගන්න එක තමයි. මැහුම් ගෙතුම්, ඉවුම් පිහුම්, මේ දෙකත් අධ්‍යාපනයට තිබුණා. මම හැමදාම වගේ පන්තියේ පළවෙනියා. දෙවෙනියා වෙන්නේ කලාතුරකින්.
එදා ජ්‍යෙෂ්ඨය කියන්නේ අද උසස් පෙළ වගේ. මම ජ්‍යෙෂ්ඨය ඉහළින් සමත් වුණා. මම කළේ ගණිතය, භූගෝලය, සාහිත්‍ය හා ගෘහ විද්‍යාව කියන විෂයයන්.
දිසිපැන් සිසුවිය ජ්‍යෙෂ්ඨයෙන් පසු අධ්‍යාපනයට සමුදුන්නද, පාසල් ගමන නතර කිරීමට ඇය කැමති වූයේ නැත. ඇය කැමති වූයේ උගත් දෑ ඉගැන්වීමටය. ඇගේ කැමැත්ත, ඉහළින්ම පිළිගැනිණි. ඒ අනුව මාතර ඉංග්‍රීසි කන්‍යාරාමයේ ළමයින්ට සිංහලද, මාතර කන්‍යාරාමයේ ළමයින්ට අනෙකුත් විෂයයන්ද ඉගැන්වීමට ඇයට අවස්ථාව හිමි විය.
“මගේ පඩිය මාසෙට රුපියල් හතළිස් පහයි. මම මුලින්ම ගියේ ගුරුවරියන් ප්‍රසූත නිවාඩු ගත්තම ඒ වෙනුවට උගන්වන්න. ඒක තාවකාලික පත්වීමක්. මගේ බලාපොරොත්තුව වුණේ, විවාහයට පෙර රජයේ ස්ථිර ගුරුපත්වීමක් ගන්න. ඒත් ඒක ඉටු කර ගන්න බැරි වුණා. විවාහයෙන් පස්සේ තමයි මට රජයේ ගුරු පත්වීම ආවේ. නමුත් මගේ මහත්තයා එකට මට යන්න දුන්නේ නැහැ. මට මහත්තයා කළ ලොකුම වැරැද්ද එක තමයි. අදටත් මම පසුතැවෙනවා ඒ දේ ගැන. බලන්න ගුරුවරියක් වුණා නම් මට කී දෙනෙකුගේ ඇස් පාදන්න තිබුණද කියලා?”
දිසිපැන් මාතාව විවාහ වන්නේ 1945 වර්ෂයේ ජුනි මස 13 වැනි දිනයි. එය සිදු වූයේ කොළඹදීය. විවාහය සිදු වූ අයුරු පිළිබඳවද ඉතා රසවත් කතා කීපයක් තිබේ. ඉන් ප්‍රධාන වන්නේ ඇගේ ස්වාමියා වූ ආනන්ද වීරසූරිය මහතා විවාහය සදහා ඇයට ලබා දුන් ප්‍රශ්න දහයයි. මෙය දිසි පැන්ට දුන් දස පැන ලෙස ප්‍රසිද්ධ අතර අදටත් දිසිපැන් මාතාවගේ දරුමුනුපුරෝ මේ කතාව කිය කියා රස විඳිති.
” මගේ මහත්තය මට හමු වෙන්නේ මගේ ගෙදරදීමයි. එයා මගේ ලොකු මල්ලිගේ මිතුරෙක්. එයා නිතරම වගේ අපේ ගෙදරට අවා ගියා. එක දවසක් රාත්‍රියක ආපු වෙලාවේ එයා මගෙන් ඇහුවා ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. මම කිව්වා ඔය ඉස්සරහ ඉන්නවනේ අප්පච්චි, එයාගෙන් අහන්න කියලා. මෙයා ගිහින් අප්පච්චිගෙන් ඇහුවම එයා කිව්වා දුව කැමතිනම් මගේ අකමැත්තක් නැහැ කියලා. ඉතින් මෙයා මොකද කළේ මට ප්‍රශ්න පත්තරයක් ගෙනල්ල දුන්නා.
එකේ මුලින්ම තිබුණේ වැඩ කාරයෝ නැතිව ළමයි හදන්න පුළුවන්ද? මම කිව්වා පුළුවන් කියලා. ඊළගට තිබුණා ඇදුම් ඉල්ලලා කරදර කරනවද? මම කිව්වා නැහැ කියලා. මේ කොළ දෙකම මෑතක් වෙනකම් තිබුණා. ගංවතුරට විනාශ වුණා. නමුත් මගේ ඊළඟ සමත් වීම මම තාම පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්නවා. මොකද්ද දන්නවද? මම මහත්තයට මුලින්ම මහලා දුන්න ඇඳ ඇතිරිලි දෙක. ඒ දෙක මම මැහුවේ එම්බ්‍රෝයිඩර් කරලා. ඒ දෙක අතට අරන් හිනා වුණාට ලස්සනයි කියලා කිව්වේ නැහැ. ඒ වගේම තමයි මේ විභාගේ සමත් වෙන්න මට එයාට කන්න හදලා දෙන්නත් වුණා … පුතේ මේ දරුවට අර බෙඩ් ෂිට් දෙක පෙන්නන්න”
දිසිපැන් මාතාව වසර හැත්තෑ තුනකට ආසන්න කාලයක් රැකගත් සිය මංගල ආදර තිළිණය අදටත් ඉතා සුරක්ෂිතව රැකගනී. එය ඇගේ ජීවිතය මෙන් සුරකියි. ලෝකයේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෙය වාර්තාවක්ද විය හැක. එයට හේතුව තම ජීවිත කාලය තුළ තමන් විසින් ආදරයට තිළිණ කරන ලද්දක් වසර හැත්තෑ තුනක් සුරැකීම සැබැවින්ම දුලබ දෙයක් නිසාය.
අද කාලයේ ආදරවන්තයෝ තම ආදරවන්තිය හෝ ආදරවන්තයා පුදුම කිරීමට නොයෙකුත් දේ කරති. එසේ පුදුම කිරීමට ගොස් ජීවිතය නැති වූ අවස්ථා කීපයක්ද ඉතිහාසයට එක්ව තිබේ. ආනන්ද මහතා තම ආදරවන්තිය වූ දිසිපැන් මහත්මිය පුදුම කර ඇත්තේ සංවිධානය නොකළ විවාහයක් පවත්වමිනි.
“එදා 1945 ජුනි 13. මට අද වගේ මතකයි… මහත්තයා මාව කොළඹ එක්කන් ගියා. මේ ගමනට මගේ දෙමාපියෝ කවුරුත් සහභාගී වුණේ නැහැ. රෙජිස්ටාර් කන්තෝරුවට ගියාම තමයි මට වැඩේ අවබෝධ වුණේ. මම ටිකක් දැනගෙන හිටියා. නමුත් මට පැහැදිලිව කියලා තිබුණේ නැහැ. මහත්තයා රෙජිස්ටාර් මහත්තයා හම්බවෙලා කිව්වා කසාද බන්දන්න කියලා. රෙජිස්ටාර් මහත්තයා බැහැ කිව්වා. ඒ කාලේ නීතියක් තිබුණා දෙමාපියන් දෙන්නගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම ඉන්න ඕනෑ කසාදයට කියලා. ඒ අනුව අප්පච්චි එක්කන් එන්න කියලා රෙජිස්ටාර් මහත්තයා කිව්වා. දැන් ඉතින් මොනවා කරන්නද? ආපහු හැරෙන්න තමයි වෙන්නේ කියලා මට හිතුණා. නමුත් ටිකක් වෙලා ගිහින් රෙජිස්ටාර් අපි දෙන්නව කසාද බැන්දුවා. බලද්දී රෙජිස්ටාර් මහත්තයා අපේ හිතවතෙක්. ඊට පස්සේ මහත්තයා මාව පුදුමයෙන් පුදුමයට පත් කළා. එයා මට නොකියාම ගෙයක් අරන් ඒ ගෙට සියලු බඩු මුට්ටුත් ගෙනල්ල තමයි මාව කසාද බැඳලා තියෙන්නේ.”
ආනන්ද වීරසූරිය මහතාගේ ප්‍රථම රැකියාව වී ඇත්තේ රුහුණු බස් සමාගමේ කළමනාකාර ධුරයයි. පසුව ඉන් ඉවත්ව ගමනාගමන මණ්ඩලයට සම්බන්ධ වී රැකියාව කර තිබේ. වීරසුරිය මහතා දක්ෂ ලේඛකයෙකු ලෙසද ප්‍රසිද්ධව ඇති අතර මහජන ගමනාගමන සේවය නමින් පොතක්ද ලියා තිබේ. ඊට අමතරව පුවත් පත් රැසකට ලිපි සපයා ඇති අතර ඒ ලිපි වැඩි ප්‍රමාණයක් සංස්කරණය වී ඇත්තේ දිසිපැන් මාතාවගේ අතිනි. එහෙයින් අපේ කතානායිකාව සංස්කාරකවරියකි!
දිසිපැන් මාතාව දරුවන් පස්දෙනෙකුගේ මවකි. රට මෙන්ම ලෝකයද හෙල්ලූ පුතුන් දෙදෙනෙක් හා දියණියන් තිදෙනෙක් ඇයට සිටිති. මින් වැඩිමලා වන්නේ මේ වන විට මාතර ප්‍රදේශයේ ජීවත් වන මානෙල් සුනන්දා වීරසූරිය මහත්මියයි. හැත්තෑ එක්වන වියේ පසු වන ඇය මවට අහිමි වී ගිය රජයේ ගුරු වෘත්තීය තෝරා ගත් පවුලේ ප්‍රථමයායි. ඇයට දරුවන් තිදෙනෙකි. දෙවැන්නා කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කර ඇති රෝහණ තිලක වීරසූරිය මහතායි. දියණියන් තිදෙනෙකු සිටින ඔහු මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවෙයි. තෙවැන්නිය නන්දා කුමුදුනි වීරසූරිය මහත්මිය මේ වන විට 66 වන වියේ පසුවන අතර ඇයද ගුරුවරියකි. සිව්වැන්නා ලෝක වාර්තා තැබූවෙකි. කොළඹ මහා නගර සභාවේ සේවය කළ සුමතිපාල වීරසූරිය මහතා විශ්‍රාම ලබන විට විහාර මහා දෙවි උද්‍යානයේ භාරකරු ලෙස සේවය කර ඇත. ඔහු 1980 වර්ෂයේදී ලෝක වාර්තාවක් තබා තිබේ. ඒ නැටුම් සම්බන්ධයෙන් වූ ලෝක වාර්තාවකි. නොනවත්වා පැය 154 මිනිත්තු දහයක් දඟර නැටුමෙහි යෙදී ඔහු තැබූ වාර්තාව අදටත් ඉතිහාස ගතවෙයි. මේ පවුලේ බඩපිස්සිය වන්නේ එරන්දතී කුමාරි මහත්මියයි. ඇය විදේශගතව සිට පැමිණ ඇති අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.
වැඩිහිටි පරපුරේ නොමියෙන මතකයක් වන හාල් පොල්ල, මිරිස් පොල්ල පිළිබදවද ඇගේ මතකය අපූරුය. ඇය හාල් පොල්ල පැවති සමයේදී හාල් කොළඹට ගෙනවිත් ඇත්තේ හාල් සේරු පහක් පෙට්ටියක අසුරා ඊට උඩින් කැවුම් තබා ගනිමිනි. කැවුම් සුවඳ හේතුවෙන් ඇයට අවශ්‍ය ස්ථානයට හාල් රැගෙන යෑමට හැකිව තිබේ.
“ඒ දවස්වල ප්‍රචාරයක් ගියා වැඩිපුර හාල් ගෙවල් වල තියාගන්නත් බැහැ කියල. මම කළේ ඉක්මනට කොට්ට උර ටිකක් මහලා, ඒ ඇතුළට හාල් පුරවලා, අල්මාරියේ හංගපු එක. මේ කොට්ට උරවලට මම ලස්සන මල් මැහුවා. මොකද ගේ පරීක්ෂා කරන්න ආවත් අල්මාරිය බැලුවොත් කොට්ට උර දැකලා එකේ තියෙන මල් නිසා කොට්ට උර බලන එකක් නැති වෙන්න.”
දිසිපැන් මාතාව අද ගෙවන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඒ පිළිබදව ඇයට ඇත්තේ ඉමහත් සතුටකි. ඇයගේ ජිවිතයේ තවත් අසීමිත සතුටක් තිබේ. ඒ ඇගේ මිනිපිරියක වන අන්ජලී නිරෝෂනිගේ උපතයි. ඇය උපත ලබා ඇත්තේ 1997 අගෝස්තුමස තුන්වැනි දිනයි. වසර පමණක් වෙනස් වුවත් දිසිපැන් මාතාවගේ හා අන්ජලී මිනිපිරියගේ උපන් මාසය දිනය හා වෙලාව සමාන වීම පුදුමයට කරුණකි. ලග්නයද එක හා සමාන වන අතර මේ කතාව ඇය මා හා සමග පැවසුවේද ඉතා ආඩම්බරයෙනි.
“මට මගේ දරුවන් ගැන තියෙන්නේ ලොකු ආඩම්බරයක‍්. ඒ වගේම පවුලට සම්බන්ධ වුණ දරුවනුත් එහෙමයි. මට සලකන්න මගේ දරුවෝ පොරකනවා. මම අද එක දරුවෙකුගේ ගෙදර ඉන්නවා හෙට තව තැනක. උපරිම එක තැනක් ඉන්න දෙන්නේ මාස තුන හතරක් තමයි…”
දිසිපැන් මාතාවගේ අවසන් අපේක්ෂාව මනුෂ්‍ය ජීවිතයක සම්පුර්ණ ආයු කාලය වැලදීම බව ඇගේ ලේලියක පැවසුවාය. ඇය ගැන කියවූ සැමගේ පැතුමද එය වනු ඇති බවට කවර සැකයක්ද?

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!